ගේ පුරාම කුණු එකතු කරන්න හිතෙන Hoarding disorder

වයස අවුරුදු හැට පහක් වූ විශ්‍රාමික කාන්තාවක් මනෝ වෛද්‍ය සායනයට යොමු කෙරුණේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගේ දැනුම් දීමකට අනුවය. ඇය කලකට පෙර බොහොම සැප පහසු ජීවිතයක් ගත කළ තැනැත්තියක් වූ අතර නිවස සහ වටපිටාව ඉතා පිරිසුදු සහ පිළිවෙළ සහිතව තබා ගැනීමට පුරුදු වී සිටියාය. නමුත් පසුගිය කාලයේ ඇය නිවසේ සිටියේ තනිවමය.

ඇයගේ අසල්වාසීන් විසින් කරන ලද දැනුම්දීමකට අනුව ඇයගේ දරුවන් සොයා බලන විට දැනගන්නට ලැබී තිබුණේ ඇය ජීවත් වන නිවස සහ වටපිටාව සම්පූර්ණයෙන්ම සනීපාරක්ෂාවෙන් තොර තත්ත්වයකට පත් වී ඇති බවයි. කිසිදු ප්‍රයෝජනයකට නැති අනවශ්‍ය කුණු කසළ ඉවත දමන  තත්ත්වයේ ඇති විවිධාකාර දේ විශාල වශයෙන් නිවස පුරා ගොඩ ගැසී ඇති බව දැනගන්නට ලැබී තිබුණි.
නිවසේ සාලය සහ කාමර මෙන්ම මුළුතැන්ගේ පවා භාවිතයකට ගත නොහැකි තරම්ම විවිධාකාර දේවල්වලින් පිරී ඇති බව ඇයව කැඳවාගෙන පැමිණි පවුලේ සාමාජිකයන් පවසා සිටියහ. නිදාගන්නා ඇඳ මත පවා විවිධ දේවල් ගොඩ ගසා තිබුණි. මේ නිසා දුහුවිල්ලෙන් ඇතිවන ගැටලු මෙන්ම සතුන් සහ මීයන් නිසා ඇතිවෙන සෞඛ්‍යමය ගැටලුද ඇති වී තිබුණි.
නමුත් මෙම නිවසේ තත්ත්වය පිළිබඳව නිවසේ පදිංචිකාරියට කිසිදු ගැටලුවක් තිබූ බවක් පෙනෙන්නට තිබුණේ නැත. ඇයගෙන් පෙනෙන්නට තිබුණේ ගොඩ ගැසී ඇති දේවල් පිළිබඳව සතුටට පත්වනබව සහ ඒ කිසිම දෙයක් අනවශ්‍ය ලෙස පෙනීයන්නේ නැති බවයි. එමෙන්ම එකතු කරගෙන ඇති දේවල් ඉවත් කිරීම සිදුවේ යැයි තදින්ම බයට සහ කලබලයට පත්ව තිබුණි.  
ඇය පවසා සිටියේ විවිධ දේවල් කොයි වෙලාවේ හෝ වුවමනා වේ යැයි සිතා එකතු කිරීමට පටන් ගත් බවත් කාලයත් සමග ඉවත් කිරීමට අපහසු බව සහ ඒවාට තමන්ගේ ඇලීමක් ඇතිවී ඇති බව තමන්ටම දැනුණු බවයි.
මෙම තත්ත්වය  භාණ්ඩ අනවශ්‍ය ලෙස රැස්කිරීම පිළිබඳ ගැටලුවක් වන Hoarding disorder  නම් තත්ත්වයයි. මෙය Compulsive Disorder නැතහොත් ග්‍රස්ථිය හා සම්බන්ධ රෝග තත්ත්ව වලින් එකකි.  මෙහිදී කිසිදු පිළිවෙළක් හෝ නිශ්චිත අරමුණක් නොමැතිව විවිධාකාර දේවල් එකතු කරමින් ගොඩ ගසා ගැනීම සිදුවේ. මෙය සාමාන්‍යයෙන් සිදු කරන විවිධ දේ එකතු කර රැස්කිරීමට වඩා වෙනස් වන්නේ කිසිම පිළිවෙළක් හෝ තේමාවක් නොමැතිව සිදු කරන එකතු කිරීමක් නිසා වේ.

මෙය වයස්ගත කෙනෙකුට ඇතිවුවහොත් එයට සමගාමීව කල්පනා ශක්තිය දුර්වල වීම හෝ විෂාදය හෝ ආතතිය  වැනි තත්ත්වද ඇති වී තිබිය හැකිය. මෙම තත්ත්වය ඇති පුද්ගලයන් තමන් සතු දෙයින් වෙන්වීම ඉතා අපහසු දෙයක් ලෙස අත්විඳින අතර  යම් දෙයක් වීසි කිරීමට හෝ දීමට සිදුවුවහොත් එය ඉතාමත් දැඩි ලෙස ආතතිය දනවන කාරණයක් බවට පත් වේ. තමන් එකතු කරගෙන ඇති දේවල් අන් අය ඇල්ලීම හෝ ඔවුන්ට දරා ගත නොහැකි විය හැකිය.
මෙසේ එකතු කිරීමට හේතු ලෙස ද්‍රව්‍ය කවදා හෝ උවමනා වීමට  සම්භාවිතාවක් තිබීම, ඒවායේ යම් මතක සටහනක් හෝ වැදගත් සිදුවීමකට ඇති සම්බන්ධය, ඒවා ඉවත දැමීමට නුසුදුසු තරම් වටිනා දේවල් ලෙස සිතීම වැනි විවිධ කාරණා රෝගීන් විසින් ඉදිරිපත් කරනු ලබයි. මෙම තත්ත්වය ඇති රෝගියකුගේ ඉතිහාසය විමසා බැලූ විට ඇතැම් විට මීට පෙරද  පවුලේ සාමාජිකයන්ට මෙම තත්ත්වය තිබී ඇති බව දැන ගන්නට ලැබේ.

එමෙන්ම වෙනස් මානසික රෝග තිබීම මීට පෙර හිසට අනතුරු වී තිබීම වැනි කාරණා ද  දායකවිය හැකිය. ඇතැම් විට බඩු භාණ්ඩ වෙනුවට සතුන් විශාල ප්‍රමාණයක් සනීපාරක්ෂාවකින් තොරව ඇති කිරීමද මෙම රෝගයේ දී දකින්නට හැකිය.
මෙම රෝගීන්ට වෙනත් මානසික රෝග තත්ත්වයක් තිබුණහොත් ඒ සඳහා ප්‍රතිකාර කළ යුතු අතර  ඔවුන්ට ආතතිය පාලනය කර ගනිමින් තමන් සතු දේවල් සෙමින් සෙමින් ඉවත් කිරීමට සහය දීම මගින් මනෝචිතික්සක ප්‍රතිකාර ඔස්සේ මෙම තත්ත්වය මගහරවා ගැනීමට උපකාර කරනු ලබයි.

 

 

 

 

හරිත ලෝකයක කඳවුරු බඳින්න -  ONE TREE HILL Read Previous

හරිත ලෝකයක කඳවුරු බඳින්න - ONE TREE HILL

ලංකාවට ළඟම තියෙන ඉන්දියාවේ හොල්මන් නගරය  ගැන ඔයාලා දන්නවද? Read Next

ලංකාවට ළඟම තියෙන ඉන්දියාවේ හොල්මන් නගරය ගැන ඔයාලා දන්නවද?

Realted Post

Leave a comment