ජීවිතය සතුටින් තබන රසකාරක
විවාහයෙන් සතියකට පසු යුවළක් මනෝ උපදේශන සේවාව ලබා ගැනීමට පැමිණෙනවා. ඔවුන්ගේ ප්‍රථම රාත්‍රිය ගතකොට ඇත්තේ නිස්කලංක හෝටලයක. ඔවුන් ඔවුන්ගේ මධු සමය දින දෙකක් පුරා එම හෝටලයේ ගතකොට තිබෙනවා. ඉන් අනතුරුව එම නව යුවළ සැමියාගේ මහ ගෙදර පදිංචියට පැමිණ තිබුණා. නමුත් පළමු රාත්‍රී දෙක තරම් ඔවුන්ගේ ඉදිරි රාත්‍රී සුන්දර වී නැත. දෙදෙනාට ලිංගිකව එකතුවීමට නම් සැමියාගේ මව පියා නින්දට යනතෙක් බලා සිටීමට සිදුව ඇත. සැමියාගේ පියා රූපවාහිනිය නරඹා නින්දට යන්නේ රාත්‍රී දෙගොඩහ හරියේය. ඒ වනවිටත ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු නින්දට ගොස්ය. මව පියා කලින් නින්දට ගියත් ඔවුන්ට ලිංගික ක්‍රියාවේ නියැළීමට අපහසු වී ඇත.
සැමියාගේ ලිංගය ප්‍රාණවත් නොවීම
බිරිඳගේ කලවාබන්දනය
යනාදී තත්ත්ව එයට හේතු සාධකු ඊට බලපා තිබිණ. මේ හේතු මත ඔවුන් පවුල් උපදේශනය සඳහා මා වෙත යොමු වී තිබුණා.
ඔවුන් දෙදෙනා විවාහයට පෙර විවාහ පූර්ව උපදේශනයට යොමු වූවා නම් අද ඔවුන් මෙම තත්ත්වයට මුහුණපාන්නේ නැත. පූර්ව විවාහ උපදේශනයේදී සිදුවන්නේ විවාහ අපේක්ෂිත යුවළගේ අදහස්, මානසික මට්ටම්, සැලසුම් සඳහා මනා මඟ පෙන්වීමක් ලබදීමයි.
මෙම යුවළ විවාහ වී මහගෙදර පදිංචියට යාම මොවුන් දෙදෙනා තුළ ඇති වූ මානසික පීඩනය ඔවුන් දෙදෙනාගේ ලිංගික තෘප්තියට බාධාවක් වී ඇත. අම්මා ඇවිත් කතා කරාවි ද? තාත්තා අවද වී සිටී ද? යනාදී සැක මත ඔවුන්ට මානසික සුවයකින් ලිංගික ක්‍රියාවේ යෙදීමට අපහසුය.
ඉතින් විවාහ ජීවිතයට පා තබද්දීම ඔවුන් ඔවුන්ගේ ජීවිතයේ කටුක දේ විඳිනවා. ඔවුන්ට කලක් යන විට විවාහ ජීවිතය එපාවෙනවා. පවුල් ජීවිතයක් ගෙනයෑම අභියෝගයක්. නමුත් ඒ අභියෝගය දෙදෙනා එකතු වෙලා කළමනාකරණය කරගන්න ඕනෑ.
විවාහයට පෙර ගත කළ ජීවිතයට වඩා හාත්පසින්ම වෙනස් ජිවිතයක් විවාහයෙන් පසුව ලැබෙන්නෙ. තනිකඩව සිටි දෙදෙනෙක් විවාහයෙන් පසු එක වහලක් යට එකට ජීවත් වෙනවා. ඒවගේම ඔවුන් විරුද්ධ ලිංගිකයන්. ඉතින් විවාහයට පෙර ඔවුන්ගේ මානසික මට්ටම්, අදහස්, රුචි අරුචිකම්, පිළිබඳව අවබෝධයක් තිබීම එහිදී ඔවුන්ට වැදගත් වෙනවා.
එක් වුණු දාට උක් දණ්ඩේ
පැණී සේම
වෙන් වුණු දාට සක් දෙඹරේ
වද සේම
ගොසි ගොසින් කටු අත්තේ අග සේම
ඉතින් ළඳේ කරවිල
තිබ්බටු සේම
අපි දන්නවා උක් දණ්ඩේ රස තියෙන්නේ දණ්ඩේ මුල. අවසාන දල්ලට එද්දි තිත්තයි. අපි පෙලඹිලා ඉන්නේ රස පැත්තෙන් කාගෙන ගිහින් අවසානයේ තිත්ත පැත්ත කන්න. එතකොට කාලයක් යද්දි ජීවිතය එපා වෙනවා. නමුත් හුඟක් රටවල මිනිස්සු තිත්ත පැත්තෙන් පටන් ගෙන අවුරුදු 40 වෙද්දී රස පැත්ත විඳිනවා. ඒ කියන්නේ මුලින් කටුක අත්දැකීම් සමග ජීවිතය විඳලා දරුවන් ලැබීමෙන් ඉදිරියට දියුණු වෙමින් යමින් ඔවුන් සතුටක් ලබනවා
විවාහ ජීවිතය එපා වෙන්න තවත් හේතුවක් නම් ‘වෙන් වුණුදාට යක් දෙඹරේ වද සේම” මුල් කාලයේදී දොර ජනෙල් වහගෙන ආදරය කරනවා. නමුත් රණ්ඩු වෙද්දි මුළු ලෝකයටම පේන්න දොර ජනෙල් ඇරලා රණ්ඩු වෙනවා. ඉතින් එතැන කොහොමද ආදරයක් රැඳෙන්නෙ?
කරවිල කොච්චර තිත්ත වුණත් අපි එයට තක්කාලි, කොස් ඇට, එහෙම දාල එය රස කර ගන්නවා. ඒ වගේ අපිත් අපේ ජීවිතය කොතෙක් තිත්ත වුණත් එයට එක් එක් රසකාරක යොදා එම තිත්ත නැති කර ගන්න ඕනෑ.
ඔබත් මෙම වසරේ විවාහවීටට ඉන්න යුවළක් ද නැතිනම් අලුතින් විවාහ දිවියට පා තැබූ දෙදෙනෙක් ද එසේනම් ඔබ පූර්ව විවාහ උපදේශකවරයක් හෝ පවුල් උපදේශකවරයකු හමුවී ඔබේ විවාහ ජීවිතයට රස කරගන්නා ආකාරයත් දැනගත හැකිනම් කදිමය.
Leave a comment