රාවණාගෙන් ඇරඹුණු චෙස් ගැන චෙස් ශූරී සචිනිගෙන්

 

චෙස් ක්‍රීඩාවෙන් ජීවිතය ජයගත්ත කාන්තාවන් අතරින් සචිනි රණසිංහ කියන්නෙ විශේෂිත කෙනෙක්. ඇය සමඟ කළ සාකච්ඡාවකි මේ.
 

 

චෙස් ක්‍රීඩාවට  කැමැත්ත ඇති වෙන්නේ කොහොමද ?
අම්මගේ උවමනාවට තමයි මම මුලින්ම චෙස් ක්‍රීඩාවට යොමුවෙන්නෙ. මගේ අයියත් චෙස් ක්‍රීඩාවේ නිරත වුණ කෙනෙක්. නිතර  ඒ දේවල් දැකීමත් එක්ක ආසාවක් ඇති වුණා.

 

මෙතෙක් ලැබූ ජයග්‍රහණ ගැන මතක් කළොත්?
පොදුරාජ්‍ය මණ්ඩලයේ  තරඟාවලියෙන් කාන්තා අංශයේ ලෝකඩ පදක්කම වගේම ඔලිම්පික් තරගාවලිය නියෝජනය කරමින් ලෝකඩ පදක්කමක් ද  දිනා ගැනීමට හැකිවුණා.

 

චෙස් ක්‍රීඩාවට පුහුණුකරුවෙක් අවශ්‍යම ද?
අන්තර්ජාලය වගේ සම්පත් බොහෝමයක් මේ වෙනකොට චෙස් ක්‍රීඩාව සම්බන්ධව තියෙනවා. බොහෝ දෙනෙක් ස්වයංව චෙස් ක්‍රීඩාවේ නිරත වෙනවා දැක ගන්න පුළුවන්. කොහොම වුණත් පුහුණුකරුවෙක් හරහා  අවශ්‍ය මගපෙන්වීම සිද්ධ වෙනව නම් ඒක ඉදිරියට  යන්න ලොකු පිටිවහලක්.

 

චෙස් ක්‍රීඩාව පැවත එන්නෙ කොහොමද?
ඒ ගැන නම් විවිධ කතා තියෙනවා. එක මුලින්ම ආරම්භ වෙන්නේ ඉන්දියාව ඇසුරු කොටගෙන. චතුරංග ක්‍රීඩා විදියට තමයි හඳුන්වලා තියෙන්නේ. රාවණාගෙන් චෙස් ක්‍රීඩාව ඇරඹුණා කියලත් මතයක් තියෙනවා.

 

ලංකාවේ මේ වෙනකොට චෙස් ක්‍රීඩාවට තියෙන තැන මොනවගේ ද?
චෙස් ක්‍රීඩාව සම්බන්ධයෙන් ගොඩක් හොඳ තැනක් තියෙනවා. ඒ සම්බන්ධව අතිදක්ෂයෝ  බිහිවෙමින් ඉන්නවා. හොඳ වර්ධනයක් දකින්න පුළුවන්.

 

චෙස් ක්‍රීඩාවෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද?
නිර්මාණශීලීත්වය, ගණනය  කිරීමේ හැකියාව ,මතක ශක්තිය වර්ධනය, වගේම නිවැරදි තීරණ ගැනීම වගේ දේවල්වලදී චෙස් ක්‍රීඩාව  ගොඩක් උපකාරී වෙනවා.වෙනත්  ක්‍රීඩාවන් එක්ක  බලද්දී ඉගෙනීමට උපකාරී වෙන ක්‍රීඩාවක් විදියට චෙස් ක්‍රීඩාව හඳුන්වන්න පුළුවන්.

 

 

ක්‍රීඩාවකදී ජය පරාජය කොහොමද දරා ගන්නෙ?
ජයග්‍රහණය වගේම පරාජයටත් අපි මුහුණ දෙන්න ඕන. විශේෂයෙන්ම චෙස් ක්‍රීඩාව ගත්තොත් එක දවසකදී තරඟ දෙකක් තියෙන්න  පුළුවන්. එතකොට මුලින්ම තියෙන තරගය පරාජය වුණා කියලා අනෙක් තරගයට සහභාගි නොවී ඉන්න බැහැ. ඒ වෙලාවට මම කරන්නෙ විනාඩි කිහිපයක් නිහඬව ඉඳලා ඊළඟ තරගයට මුහුණදෙන එක.

 

චෙස් ක්‍රීඩාවේ නිරතවෙන ගොඩක් අය අතරමගදි නතර වෙන්නේ ඇයි?
ලංකාවයි, ඉන්දියාවයි  සංසන්දනය කරලා බලද්දී ලංකාව වගේ රටක තරඟ විභාග වලට මුල් තැනක් දීලා තියෙනවා. එතකොට ඒවට මූලික තැන දීලා  බාහිර ක්‍රියාකාරකම් වලින් ඉවත් වෙනවා.ඉන්දියාවේ එහෙම නැහැ. එයාලා ක්‍රීඩාවට තමයි මූලික තැන දෙන්නේ. විභාග පස්සෙ වුණත් කරන්න පුළුවන්.ලංකාවේ අධ්‍යාපන පද්ධතියෙත් ඒ වගේ වෙනසක් කරන්න පුළුවන් නම් ගොඩක් අය අතරමගදී චෙස් ක්‍රීඩාව නතර කරන එකක් නැහැ.

 

ක්‍රීඩාව තුළ ඔබේ පූර්වාදර්ශය කවුද ?
ක්‍රීඩාවෙදී මම නිතරම ආදර්ශයට ගන්න පුද්ගලයා තමයි මගේ උපදේශකවරයා විදියට කටයුතු කරන රන්සිත් ප්‍රනාන්දු සර්ව.

 

වෙස් නිසා ඔබට ලැබුණු දේවල් මොනවද?
ක්‍රීඩාව නිසා මට ලැබුණ දෙයක් තමයි ඉවසීම කියන දේ.ඊට අමතරව දුරදිග හිතලා තීරණ ගන්නත් මට මේ ක්‍රීඩාවෙන් ලැබණේ ලොකු පිටිවහලක්.

 

ගෙදරින් ලැබෙන සහයෝගය ගැනත් යමක් කිව්වොත්?
අම්මා තාත්තා වගේම අයියත් මම මේ ආපු ගමනට ලොකු සහයෝගයක් දැක්වූවා. ඒවගේම මගේ සැමියත්, ඔහුගේ දෙමව්පියනුත් මට ලොකු ශක්තියක්. 

 

චෙස් ක්‍රීඩාවෙන් ඔබේ අනාගත බලාපොරොත්තුවත් කිවුවොත් ?
චෙස් ක්‍රීඩාව සම්බන්ධයෙන් උපදේශකවරියක් වීම තමයි මගේ  එකම බලාපොරොත්තුව. ඊට අමතරව චෙස් ක්‍රීඩාවේ නිරතවෙන නවකයින්ට මගේ උපරිම සහයෝගය ලබාදෙන්නත් කටයුතු කරනවා.

සටහන - නෙත්මි තෂාරා
(ලංකාදීප online පිටිය වැඩසටහන ඇසුරෙන්)

ඔබත් PRP කරන්න ඉන්නවා නම් මුලින්ම මේක බලන්න Read Previous

ඔබත් PRP කරන්න ඉන්නවා නම් මුලින්ම මේක බලන්න

හිතටත් ගතටත් වද දෙන නඟන Read Next

හිතටත් ගතටත් වද දෙන නඟන

Realted Post

Leave a comment