ඔබේ ගෙවත්තටත් රොසෙල්ලා රට බිලිං මොඩ් වෙලා

 

රොසෙල්ලා නම අලුත් වූවද මීට අවුරුදු පනහකට පමණ පෙර ඉපදුණු  අයකුගෙන් රොසෙල්ලා පෙන්වා  මෙය හඳුනනවාදැයි  ඇසුවොත් එයට ලැබෙන පිළිතුර වන්නේ ‘රට බිලිං’ කියාය. මෙහි ඇති ඇඹුල් රසය නිසා අපේ රටේ බොහෝ දෙනා රට බිලිං ලෙස හැඳින්වූ මෙම පලතුර කැලෑබදව ඉබේ වැවෙන ශාකයක් ලෙස බොහෝ පළාත්වල  දකින්නට තිබුණි.

 

ස්ථීර නිජබිමක් නෑ
මෙම පලතුරේ නිජබිම ලෙස බටහිර අප්‍රිකාව හැඳින්වුවද ඉන්දියාව සහ මැලේසියාව ද නිජබිම ලෙස ඇතැම්හු හඳුන්වති. ඉන්දුනීසියානු ධීවරයකු විසින් ඕස්ටේ්‍රලියාවට හඳුන්වා දුන් බවත් පවසන අතර අපේ රට නිජබිම බව බොහෝ විදේශීය ලිපි ලේබනවල සඳහන් වේ. කෙසේ නමුත් 16 වන සහ 17 වන සියවසේ මුල් වකවානුවේදී  පිළිවෙළින් බටහිර ඉන්දීය කොදෙව් සහ ආසියාව පුරා ව්‍යාප්ත වී එතැන් සිට ලෝකයේ බොහෝ ස්ථානවල ව්‍යාප්ත වූ බවටත් එයටත් පෙර ඕස්ටේ්‍රලියාව සහ බොහෝ නිවර්තන සහ උප නිවර්තන රටවල ව්‍යාප්තව තිබූ බවටත් බොහෝ ලිපි පරීක්ෂා කිරීමේදී පෙනී යයි. ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රදේශයේ මේවා අම්බාලි යන නමින් හඳුන්වයි.

 

විටමින් සී බහුලයි
රොසෙල්ලා විටමින් සී බහුල පලතුරකි. මීටර් එකත් දෙකත් අතර උසකට වැඩෙන මෙම ශාකයේ ළපටි කොළ අමුවෙන් සලාදවලටත්, වෑංජනවලට එළවළුවක් ලෙසත් භාවිතා කරයි.  සලාද, ජෙලි,  සෝස්, ජෑම්, කෝඩියල්, සිරප්, පාන වර්ගයක් සහ වයින් සෑදීම සඳහා රොසෙල්ලා යොදා ගනී. ඇතැම් රටවල බීජ පුලුස්සා පිටිවලට ඇඹරීමත් සිදු කෙරේ.

 


ඔබේ නිවෙසටත් පැළයක්
රොසෙල්ලා පැළයක් ඔබේ නිවසේ හදාගන්න අවශ්‍ය නම් පාත්තියක හෝ තරමක් විශාල  බඳුනක වුවත් පහසුවෙන් සිටුවාගත හැකිය.
රොසෙල්ලා  බීජ කෙළින්ම පොළොවේ සිටුවනවා නම් අනිවාර්යයෙන් ජලය තැන්පත් නොවන හොඳින් ජලය බැසයන ස්ථානයක සිටුවිය යුතුය. පොලිතින් උරයක බීජ සිටුවා පැළය අඟල් දෙක තුනක් පමණ උසට වැඩුණු පසු පොළොවේ සිටුවා ගැනීමටත් පුළුවන. පෝච්චියක, ප්ලාස්ටික් බඳුනක වුවද සිටුවාගත හැකිය.

 

ජලය යොදන හැටි
මෙම ශාකයට නිතර නිතර ජලය යෙදීම අවශ්‍ය නොවේ. දිය මලං කෑම, දිලීර රෝග  ඉතා ඉක්මනින් ඇතිවන නිසා දින දෙකකට වරක් ජලය යෙදුවත් ප්‍රමාණවත්ය.

 

පොහොර
පැළ සිටුවීමේදී කොම්පෝස්ට් සමග දිරාගිය කොළ පොහොර ටිකක් පස් සමග මිශ්‍ර කර බීජ තැන්පත් කරන්න. රොසෙල්ලා සඳහා වෙනත් විශේෂ පොහොර වර්ගයක් අවශ්‍ය නැත. පැළය අඩියක් පමණ උස් වූ පසු වියළි ගොම ටිකක් හෝ වෙනත් කාබනික පොහොර වර්ගයක් එකතු කිරීමට හැකි නම් අස්වැන්න ලබාගන්නා මොහොත දක්වාම එය ප්‍රමාණවත්ය.

 

 


අස්වැන්න 
මල් පිපීමෙන් පසු පළමු අස්වැන්න අඩුවුවද දෙවනවර මල් පිපීමෙන් පසු සාර්ථක අස්වැන්නක් ලබාගත හැකි ය.

 


රොසෙල්ලා ජෑම්
රොසෙල්ලා යොදාගෙන රසම රස ජෑම් ඉතා පහසුවෙන්ම නිවසේදීම සදාගත හැකිය.
මේ සඳහා අවශ්‍ය රොසෙල්ලා ගෙඩි කිහිපයක් හා සීනි සහ ලුණු පමණි. 


පළමුවෙන්ම රොසෙල්ලා ගෙඩියේ රතු පැහැති කොටස් කඩා හොඳින් සෝදා  බ්ලෙන්ඩර් එකක දමාගන්න.


එය ලිප මත තබා  දිය වී වතුර සිඳෙනතුරු හැඳි ගාන්න. ගන වීගෙන එන විට පදමට සීනි, ලුණු දමා නැවතත් හැඳිගාන්න. ඉන්පසු අවශ්‍ය පදමට පැමිණි පසු ලිපෙන් ඉවතට ගෙන නිවුණු පසුව වියළි බෝතලයකට දමා ශීතකරණයේ දින ගණනාවක් වුවත් තබාගැනීමට හැකිය.
උණුවතුර, සීනි සහ ලුණු යොදාගෙන රොසෙල්ලා බීම හදාගත හැකිය .

සුජිත් ප්‍රසංග


 

සුදු කබර හැදෙන්නේ මීයෝ සපා කෑවාම ද? Read Previous

සුදු කබර හැදෙන්නේ මීයෝ සපා කෑවාම ද?

සුදු කබර හැදෙන්නේ මීයෝ සපා කෑවාම ද? Read Next

සුදු කබර හැදෙන්නේ මීයෝ සපා කෑවාම ද?

Realted Post

Leave a comment