ගෙවත්තට හිඟුරල පාත්තියක්

 

අපේ රටේ ප්‍රධාන ලෙස වගා කරන අල බෝග ලෙස අර්තාපල්, මඤ්ඤොක්කා, බතල හඳුන්වා දිය හැකි අතර ගෙවතු ආශ්‍රිතව ඉන්නල, ගහල, වැල් අල, දෙහි අල ආදී අල වර්ග රාශියක් දැකගත හැකිය. කිසිම සාත්තුවකින් තොරව වගා කරගෙන ආහාරයට එකතු කර ගත හැකි පෝෂණ ගුණයෙන් ඉහළ වැල් අල ප්‍රභේද ගණනාවක් මෙරට තිබේ. මේ අතර උඩල, කොඩොල්, කුකුලල, කටුඅල, දංඳිල, හිඟුරල, රාජ අල වැනි අල වර්ග හඳුන්වා දිය හැකිය. මෙම අල වර්ග අතර අපේ ශරීරයට ඉතා ගුණදායක වන අල වර්ග වගේ විෂ සහිත අල වර්ගද තිබූබවට ඉතිහාසයේ සාක්ෂි ඇත. ඇතැම් වර්ග ආහාර වශයෙන් ලබාගැනීමේදී අනෙකා හඳුනා ගැනීමට නොහැකි වන තරමට සිහිය විකල් වන අල වර්ගද තිබී ඇත.  මේ හේතුව නිසාම බොහෝ නිවෙස්වල අදටත් මෙම අල වර්ග කුඩා ළමුන්ට දීමේදී ඇතැම් වැඩිහිටියෝ පරෙස්සම් වෙති. එහෙත් සොබාදහමින් අපිට ලැබුණු ඉතා අගනා දායාදයක් වන අතර වස විසෙන් තොර වටිනා අල වර්ග ගණනාවක්ම ලෝකය පුරාම විවිධ දේශගුණික තත්ත්ව යටතේ දැකගත හැකිය.

 


ඇඟලි වගේ හිඟුරල 
රසවත්, ගුණවත් අල බෝගයක් වන හිඟුරල විශේෂයෙන් තෙත් කලාපයේ වැවෙන වැල් අල බෝගයකි. ඇඟිලි අල නමින් හැඳින්වෙන්නේ අලයේ කෙළවර අතක, පාදයක මෙන් ස්වාභාවිකව බෙදී වර්ධනය වීම නිසාය. පොකුරු වශයෙන් හටගනී.

 


වවන්නේ මෙහෙමයි
බීජ සඳහා හිඟුරල තෝරා ගැනීමේදී සීරීම් කැඩීම් නැති අල වෙන්කර තබාගත යුතුය. අංකුර වර්ධනය කර පසුව සිටුවිය යුතුය. අංකුර වර්ධනය සඳහා තෝරාගන්නා අල කැබලි නොගැඹුරු කානුවක තැන්පත් කර මතුපිට පස්වලින් වසා මොරෙයියන් වර්ධනය වීම සඳහා තැබිය යුතුය. මාසයක් පමණ වූ පසු මොරෙයියන් වර්ධනය වීම සිදු වේ.  බීජ අල  හිරු එළිය තදින් නොවැටෙන සිසිල්  ස්ථානයක මාස එකහමාරක් පමණ කාලයක් පොලිතින් නොවන ආවරණයකින් වසා තබා මොරෙයියන් වර්ධනය කර ගැනීමද සිදු කරගත හැකිය. මාර්තු, අප්‍රේල්  මාස සිටුවීම සඳහා සුදුසුය.
පාත්ති ආකාරයටත්, අඩි 1ං1 ප්‍රමාණයේ වළක ද, පෝර උරයක වුවත් සිටුවා ගැනීමට හැකිය. 

 


පොහොර යොදන හැටි
සිටුවීමට පෙර කුකුළු පොහොර, දහයියා, දිරාගිය කුණුරොඩු පසට කවලම් කර සති දෙකක් පමණ තබන්න. කුකුළු පොහොරවල ඇති සැර ගතිය ඉවත් වූ පසු මොරෙයියන් ටික වෙන් වෙන්ව සිටුවා ගන්න. පාත්ති ආකාරයට සිටුවන්නේ නම් අඩි තුනක පරතරයකින් පමණ සිටුවිය යුතුය. අල ගලවන කාලය දක්වා අමතර පොහොර වර්ග  අවශ්‍ය නොවේ. වල් පැළෑටි ඉවත් කර අතුගා දමන කුණුරොඩු ටික වැල් මුලට එකතු කිරීම ප්‍රමාණවත්ය.  වැල් මැරීම සිදු වූ පසු දෙසැම්බර් සහ ජනවාරි මාසවල අල ගලවන්න.

 


ලෙඩ රෝග රැසකට ඔසුවක්
පිළිකා මර්දනයට, කාන්තාවන්ගේ ගර්භාශය ශක්තිමත් කිරීමට හිඟුරල උපකාරී වේ. දරුඵල පමාවන කාන්තාවන්ට  ඉතාම ගුණදායකය. ඩිම්බ මේරීම පමාවන සහ ඒ සඳහා ඖෂධ ලබාගන්නා කාන්තාවන්ට කැඳ වශයෙන් සකසාගෙන පානය ඉතා සුදුසුය. ශරීරය සිසිල් කිරීමට, උෂ්ණාධික රෝග දුරු කිරීමට, දියවැඩියා රෝගීන්ට එකසේ ගුණදායකය. අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කර ශරීරයේ අනවශ්‍ය බර අඩුකිරීමටත්, ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීමටත් හිඟුරල උපකාරී වේ. තන්තු බහුල, පිෂ්ටය බහුල ආහාරයකි.  අඩු මේද ප්‍රමාණයක්  අන්තර්ගත වන මෙය මල බද්ධය අඩුකිරීම, ආහාරවල ඇති විෂ සමනය කිරීම, මහ බඩවැලේ හටගන්නා පිළිකා මර්දනයටත් උපකාරීවන බව වෛද්‍ය මතයයි. රුධිරයේ සීනි මට්ටම පාලනයටත්, කොලෙස්ටරෝල් මට්ටම අඩුවෙන් තබා ගැනීමටත් මේ අලයේ විශේෂ ගුණ මහෝපකාරී වේ.
රෝග බොහොමයක් සුවකර කරගන්නට උපකාරී වන හෙළ ඔසුවක් ලෙස මෙය හඳුන්වා දිය හැකි ය.  

 


අර්තාපල්වලට ආදේශකයක්
හිඟුරල අර්තාපල්වලට ඉතා හොඳ ආදේශකයකි. දේශීය අල වර්ග ආහාරයට එකතු කර ගැනීමෙන් සිරුරේ ශක්තියද වර්ධනය වේ. හිඟුරල සුද්ධ කිරීමේදී සෙවල ගතියකින් යුක්තය. තම්බා පොල් සහ සම්බෝල ආදිය සමගත්, වෑංජන වශයෙනුත් ආහාරයට ගත හැකිය.  කැඳ වශයෙනුත් සකසාගෙන පානය කිරීම ගුණදායකය.

සුජිත් ප්‍රසංග


 

Lapidary Art Exhibition Read Previous

Lapidary Art Exhibition

සතියෙන් ලස්සන වෙන සහල් වතුර සත්කාර Read Next

සතියෙන් ලස්සන වෙන සහල් වතුර සත්කාර

Realted Post

Leave a comment