වඳුරු මෑ කෑවම විස වෙනවද? නිවැරදිව පිසින්නේ මෙහෙමයි

 

වඳුරු මෑ ලංකාවට ආවේණික එළවළු වර්ගයක් නොවේ. අප්‍රිකාව, ආසියාව, කැරිබියන් සහ ශාන්තිකර දූපත්වල බහුලව වැවෙන වඳුරු මෑ ඒ රටවල්වල නම් බොහොම ජනප්‍රිය ආහාරයකි. වඳුරෙකුගේ  රෝම වැනි කළුපාට දිග බූව කරල්වල පිට පොත්තෙහි තිබෙන නිසා  වඳුරු මෑ ලෙස බොහෝ දෙනා මෙය හඳුන්වති. මෙය ඉතා රසවත් ආහාරයක් වගේම ඉතා හොඳ ඖෂධයකි. 

 

 

 

මෑ වගේමයි 
බැලූ බැල්මට මෑ කොළවලට සමාන, මෑ කොළවලට වඩා විශාල කොළ සහිතව විශාල ප්‍රදේශයක් පුරා පැතිරී වැඩෙන වැලකි. කරල් හටගැනීම පොකුරු වශයෙන් සිදුවන අතර බෝංචි කරලක හැඩයට සමාන වුවත් බෝංචි කරල් තරම් වඳුරු මෑ කරල් දිග නැත. කරලේ ඇති බූව නිසා රළු ගතියෙන් යුක්තය. සිරුරේ ගෑවුණු විට කැසීමට ගන්නා නිසා  බොහෝ අය වඳුරු මෑ වැලට බියක් දක්වති. මේ නිසාම වඳුරු මෑ වැලක් දුටු විගස ගලවන සිරිතක් ගම්වල තවම ඇත. බොහෝ පිරිස් වඳුරු මෑ කෑමට බියක් දක්වති. එය සිදුවූයේ වඳුරු මෑ විස යැයි සමාජයේ මතයක් ගොඩනැගී තිබූ බැවිනි. ඊට හේතුව බොහෝ අය මෙය ආහාරයට ගැනීමේ නිවැරදි ක්‍රමය සහ එහි ගුණය නොදන්නා බැවිනි. නිවැරදිව පිසගත්තේ නැතිනම් වඳුරු මෑ ආහාරයට ගැනීමෙන් වමනය, හිසරදය, උණ වැනි රෝග ඇතිවිය හැකි ය. එසේ සිදුවන්නේ මෙහි ඇති අධි පෝෂණ ගුණය නිසා මිස වසක් විසක් නිසා නොවේ. 

 


වර්ග දෙකක්
ජනවාරි - මාර්තු මාසවල ගෙවතුවල වඳුරු මෑ දක්නට හැකි ය. කළු සහ සුදු වශයෙන් විශේෂ දෙකක් ලංකාවේ ඇති අතර. කළුපාට වර්ගයේ බීජ වේළුණු පසුව කළු පැහැයෙන් යුතු අතර කළු වඳුරු මෑ වැලේ මල් දම් පැහැයෙන් යුතුය. සුදු වර්ගයේ බීජ වේළුණු පසු සුදු පැහැයක් ගනී. සුදු වඳුරු මෑ මල් සුදු පාටය. හොඳ ඔසුවකි. ස්නායු පද්ධතිය සම්බන්ධයෙන් විශිෂ්ට බලපෑමක් කළ හැකි ඖෂධයක් ලෙසත් මෙය සලකයි. ලිංගික දුබලතා දුරුකර සාර්ථක විවාහ ජීවිතයකට වඳුරු මෑ බොහොම හොඳ ඖෂධයකි. දියවැඩියාව, පාකින්සන් රෝගය වගේම ශරීර ශක්තිය වඩවන රුධිර සංසරණ පද්ධතියේ රෝගවලටද වඳුරු මෑ බෙහෙවින් ගුණදායකය. ස්නායු ආබාධ ඇති බොහෝ දෙනා  ඖෂධයක් විදියට ලබාගන්නා පෙති හා කරල් නිෂ්පාදනය සඳහා යොදාගන්නේත් වඳුරු මෑ ඇටය. බූව ගෑවීමෙන් කසන්න ගතහොත් දෙහි දලු ටිකක් අඹරා කසන ස්ථානවල ආලේප කරන්න. දෙහි වෙනුවට දොඩං කොළ වුවත් සුදුසුය. 

 

නිවැරදිව පිසින හැටි
ගම්වල නම් වඳුරු මෑ පිසීමට පෙර විස මැරීම කර ඇත. ඒ ළපටි කරල්වලින් නොමේරූ ඇට වෙන්කරගෙන  නටන උණු වතුරේ පියන නොවසා පැයක් පමණ තැම්බෙන්නට හැර වතුර පෙරා ඉවත් කිරීමෙනි. ඇතැම් අය පොල් වතුර දමා තැම්බීම සිදු කරයි. මෙසේ සිදුකිරීම අවශ්‍ය නොවේ. වඳුරු මෑ කරල් ටික සෝදා භාජනයකට දමා පැයක් පමණ පියන ඇර තම්බාගෙන වතුර පෙරා කරල් ටික නිවුණු පසු කරලේ බූවා තිබෙන කොටස ඉවත් කරගන්න. ඉතා පහසුවෙන් එය කරගැනීමට ඔබට පුළුවන. ඉන්පසු හරිමැදින් කරල දෙකට වෙන්කරගන්න. බීජ සම්බන්ධ වන ගන තීරුවක් ඇති අතර එය තද ගතිය නිසා කෑමට ගන්නෙ නැත. ඒ කොටස සමග බීජයේ පිට පොත්ත ඉවත් කළ යුතුය. බොහෝදෙනා වඳුරු මෑ කෑමෙන් පසු මත්වෙනවා යැයි පවසන්නේ මේ කොටස ඉවත් නොකරන නිසාය. ඉන්පසු සාමාන්‍ය ආකාරයට වෑංජනය පිසගන්න.

 

අදහස් දැක්වීම - 
ගෙවතු වගා නිර්මාණ ශිල්පිී 
ප්‍රියන්ත කුමාර 

 

පහසුවෙන් වවන්න 
වඳුරු මෑ වැලක් පහසුවෙන් සාදා ගැනීමට හැකිය. විශේෂ සාත්තුවක් වඳුරු මෑවලට අවශ්‍ය නොවේ. වැටකට එහෙමත් නැතිනම් නිවසට ටිකක් ඈතට වෙන්න ගසකට යැවීමට ද හැකිය. පොළොව බුරුල් කර වඳුරු මෑ බීජ යටකර වතුර ටිකක් දැමීම පමණක් කරන්න. පොහොර අවශ්‍ය නොවේ. වඳුරු මෑ වැලට දිරායන කුණුරොඩු ටිකක් එකතුකිරීම ප්‍රමාණවත්ය. කිසිදු තෙලක්, පොහොරක් භාවිත නොකර කෘමි හානියක් චද නොමැතිව ඕනෑම ප්‍රදේශයක පහසුවෙන් වගා කළ හැකිය.

 

දරුවන්ට දෙන්න එපා 
කුඩා  ළමයින් සිටින නිවෙසක නම් මඳක් ඈතට වෙන්න වඳුරු මෑ වැලක් සාදා ගැනීම නුවණට හුරුය. කුමන ආකාරයට වඳුරු මෑ හැදුවත් අධික පෝෂණ ගුණයක් තිබෙන නිසා එක ළඟ දෙවේලක් කෑමට සුදුසු නොවේ. වඳුරු මෑ දීම කුඩා දරුවන්ට සුදුසු නොවේ. 

සුජිත් ප්‍රසංග


 

රජකාලේ ජිම් එක - අංගම්  මඩුව Read Previous

රජකාලේ ජිම් එක - අංගම් මඩුව

Sex චරිත මට මාර දෙයක් නෙමෙයි  Dasun pathirana Read Next

Sex චරිත මට මාර දෙයක් නෙමෙයි Dasun pathirana

Realted Post

Leave a comment