සාත්තුවක් නැතිව හැදෙන සෝගම්

අග්ගලා, කැඳ, රොටී, පිට්ටු කදිම රහයි 

 

 

සෝගම් හි නිජබිම වන්නේ අප්‍රිකාව යි. අපේ රටේ ඉදල් ඉරිඟු ලෙස හඳුන්වන්නේ ද සෝගම්ය. 1930 දී පමණ අපේ රටේ හේන් ගොවිතැනට හඳුන්වා දුන් බෝග වර්ගයක් ලෙස මෙය හඳුන්වාදීමට හැකි අතර ඕනෑම දේශගුණයක පහසුවෙන් වගා කළ හැකිය. ඒ වගේම වියළි කලාපයට හොඳින් ඔරොත්තුදීමේ හැකියාවක් ද මෙම බෝග වර්ගයට ඇත. වෙනත් බෝග වර්ගවලට මෙන් ලොකු  සාත්තුවක් සෝගම්වලට අවශ්‍ය නොවේ. ඕනෑම දේශගුණයක හැදෙන නිසා හේන් ගොවිතැන් කරන බොහෝ ගොවීහු සෝගම් වගා කිරීමට උනන්දුවක් දක්වති.

 

 


ගුණයෙන් ඉහළයි
මිනිසෙකුට එදිනෙදා ජීවිතයේදී  අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ සෝගම් තුළ  ඇත. රුධිරයේ සීනි මට්ටම පාලනයට සේම කොලෙස්ටරෝල් මට්ටම පාලනයටත් සෝගම් විශේෂය. ශරීරයේ රතු රුධිරාණු වර්ධනය කරන අතර අස්ථි ශක්තිමත් කරයි. සෝගම්වල ප්‍රති ඔක්සිකාරක ගුණ බහුල නිසා පිළිකා වැනි බෝ නොවන රෝග අවදානම අඩුකර ගැනීමට සෝගම් ආහාරයට ගැනීමෙන් හැකිය. තවද පියයුරු පිළිකා සෛල සියයට 90කින් සහ අක්මා පිළිකා සෛල සියයට 78කින් වර්ධනයවීම අඩපණ කිරීමට සෝගම්වලට හැකි බව ද සඳහන්ය.

 


ආහාර රැසක්ම හදන්න පුළුවන්
රොටී, පිට්ටු වැනි ආහාර සකසා ගැනීමට වගේම  කැඳ ලෙසත් සෝගම් ආහාරයට ගත හැකිය. කරල්වලින් වෙන්කරන බීජ හොඳින් සෝදා වියළා බ්ලෙන්ඩර් කර පිටිකර තබාගත යුතුය. අස්වැන්න වැඩිපුර තිබේ නම්  එම ආකාරයට  සකස් කර වෙළෙඳපොළට ලබාදීමත් කළ හැකිය.

 

 

ගෙවත්තට සෝගම් පැළයක් 
පාත්තියක වගේම පොලිතින් උරයක වුවත්  වගා කළ හැකිය. කොම්පෝස්ට්වලට අමතරව පරණ කරන ලද කුකුළු පොහොර සහ වියළි ගොම පසට එකතු කර මිශ්‍ර කර බීජ සිටුවා ගැනීම සුදුසුය. මුලින් ලබාදෙන පෝෂණ ගුණයට අමතරව අතර මැද විශේෂ පොහොර වර්ග යෙදීම සෝගම්වලට අවශ්‍ය නැත. පළමු අස්වැන්න නෙළාගත් පසු ගස මැදින් කපා දමා නැවත වතාවක් පොහොර වර්ග ටිකක් ගස මුලට එකතු කිරීම  මගින් නැවත වතාවක් අස්වැන්නක් ලබා ගැනීමට හැකිවීමත් මෙහි ඇති විශේෂත්වයකි.

 

 

සෝගම් අග්ගලා, කැඳ හදන විදිය
පිටි කරන ලද සෝගම්වලට හීනියට ගාගත් පොල්, සීනි, ලුණු, උණුවතුර එකතු කර ගැනීමෙන් අග්ගලා සදාගත හැකි අතර මේ සඳහා හොදින් සෝදා වියළා ගත් සෝගම් ඇට භාජනයකට දමා බැදගත යුතුය. එමෙන්ම පිටිකරගත් සෝගම්  හැඳි කීපයක් පොල්කිරි සමග දියකර ලිපේ තබාගන්න. ඉන්පසු අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ සීනි දමා පැසෙන තෙක් හොඳින් කවලම් කරන්න. කුඩුකරගත් එනසාල් සහ වියළි මිදි එයට එක් කරන්න.

සුජිත් ප්‍රසංග


 

International Mother’s Day Read Previous

International Mother’s Day

සතියෙන් ලස්සන වෙන සහල් වතුර සත්කාර Read Next

සතියෙන් ලස්සන වෙන සහල් වතුර සත්කාර

Realted Post

Leave a comment