UN එකෙන් අපේ කාන්තාවන්ට සහන ගොඩක්

 

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව අතින් අපේ රටේ කාන්තාවන් පසුගිය දශක කිහිපය පුරාම සැලකිය යුතු ජයග්‍රහණ රාශියක් අත්පත් කර ගැනීමට සමත් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය නවතම වාර්තාවකින් පෙන්වා දෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍ර වෙත පිවිසීමේ හා ප්‍රතිලාභ ලබා ගැනීමේදීත් ආසියා කලාපයේ වෙනත් රටවලට වඩා ලාංකීය කාන්තාවන්ට අවස්ථාව උදා වී තිබෙන බව එම වාර්තාව සඳහන් කරනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පවත්නා සමාජයීය හා සංස්කෘතික ව්‍යූහාත්මක බාධක අභිබවා යමින් රටේ ආර්ථික, දේශපාලනික හා සමාජයීය ස්ථරයන්හි සමාන අවස්ථා හිමි කර ගැනීමට කාන්තාවන් අසමත්ව සිටින බවත් එම වාර්තාව පෙන්වා දෙනවා.


අපේ රටේ කාන්තා ශ්‍රම බලකාය 32.5% ක් වන අතර පිරිමි ශ්‍රම බලකාය 72.4% ක්.  එමෙන්ම රැකියා අහිමි තරුණ කාන්තාවන්ගේ ප්‍රතිශතය රටේ තරුණ ශ්‍රම බලකායෙන් 36.3% ක් වන අතර රැකියා අහිමි තරුණ පිරිමින්ගේ ප්‍රතිශතය 21.1% ක්. 


අපේ රටේ කාන්තාවන්ට ශ්‍රම බලකායට එක්වීමට නොහැකිවීමට බලපා ඇති ප්‍රධාන ගැටලුවක් වන්නේ ප්‍රමාණවත් මෙන්ම ගුණාත්මක තත්ත්වයෙන් සිය දරුවන් රැකබලා ගැනීමේ ක්‍රමවේදයක් නොපැවතීමයි. එමෙන්ම නිවෙසේ වැඩ පිරිමින් හා සමානව බෙදා හදා ගැනීමත් ශ්‍රී ලාංකික සමාජයේ බොහෝ පවුල් අතර තවමත් දක්නට නොලැබේ. රැකියාවට යන කාන්තාවන්ට රැකියාවෙන් පසු නිවෙසට පැමිණ නිවසේ වැඩපල සියල්ල තනිවම කිරීමට සිදු වේ. ගෙදරදොර වැඩපල, දරුවන් රැකබලා ගැනීම පමණක් නොව දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ වගකීමද බොහෝවිට පවුලේ මව පිට පැටවෙයි. 


එමෙන්ම ඇතැම් අවස්ථාවල රැකියා ස්ථානවල ඇති අයහපත් සංස්කෘතියද කාන්තාවන් රැකියාවලින් ඉවත්වීමට හෝ රැකියා වෙත යොමු නොවීමට බලපාන බවද එම වාර්තාවේ සඳහන් වෙයි. කොවිඩ් 19 උවදුර වැනි අනපේක්ෂිත අර්බුද ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ ආර්ථිකයට දැඩිව බලපා ඇතැයිද එම වාර්තාව පෙන්වා දෙයි. සෘජු රැකියා අවස්ථා නොලත් කාන්තාවන්ගෙන් වැඩි දෙනෙක් සිය පවුලේ ආර්ථිකයට ශක්තියක් වනු පිණිස කුමක් හෝ වක්‍ර රැකියාවක ස්වයං රැකියාවක හෝ අවිධිමත් රැකියාවක නියුතුව සිටියෝය. කොවිඩ් උවදුර මෙන්ම රටේ ඇති වූ ආර්ථික අහේනිය ද හේතුවෙන් එවැනි සුළු අවිධිමත් රැකියාවල නිරත වූ කාන්තාවන් වැඩි දෙනෙකුගේ රැකියා අහිමි වී ගියේය. සුළු ව්‍යාපාර, අත්කම්, මල්, පලතුරු, එළවළු වගා කිරීම, ආහාර පාර්සල් අලෙවිය, රස කැවිලි හෝ වෙනත් ආහාරපාන අලෙවිය, රෙදි පිළි, ඇඟලුම් මැසීම වැනි සුළු සුළු කර්මාන්තවල නියැළෙමින් සිය පවුලේ ආර්ථිකයට අත්වැලක් සැපයූ බොහෝ කාන්තාවෝ අද එකී ආදායම් මාර්ග අහිමිව දරද්‍රතාවයෙන් පීඩා විඳිති. මේ තත්ත්වය පවුලේ අයහපත් සෞඛ්‍යය මෙන්ම දරුවන්ගේ පෝෂණය කෙරෙහිද අයහපත් ලෙස බලපා තිබේ.


දේශපාලන ක්ෂේත්‍රයෙහිලා ලාංකීය කාන්තා නියෝජනයද බෙහෙවින් පහත මට්ටමක පවතී. අපේ පාර්ලිමේන්තු නියෝජිතයින් 225 අතර කාන්තා නියෝජිතයින් සිටින්නේ 12 ක් පමණි. ලෝක අන්තර් පාර්ලිමේන්තු සංගමය නියෝජනය කරන රටවල් 193 අතරින් අපේ රටට හිමිවන්නේ 182 වැනි ස්ථානය යි.


කාන්තාවන් පිරිමින්ගේ හිංසනයට බඳුන්වන අවස්ථා සමාජයේ උසස් පහත් භේදයකින් තොරව වාර්තා වෙයි. අපේ රටේ කාන්තා යහපැවැත්ම පිළිබඳව 2019 වසරේදී පවත්වන ලද සමීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ ලාංකීය කාන්තාවන් අතරින් 35.3% ක්ම පවසා ඇත්තේ කාන්තාවන්ට පහරදීම සඳහා පිරිමින්ට කුමක් හෝ හොඳ හේතුවක් හොයා ගත හැකි බවයි. සමීක්ෂණයට සහභාගි වූ සෑම කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු සිය යුග ජීවිතයේදී කායික හෝ ලිංගික හිංසනයන්ට බඳුන් වී තිබේ. කොවිඩ් වසංගතය පැවැති කාල වකවානුවේදී මෙම තත්ත්වය රට තුළ වඩාත් උග්‍ර වූ බවද මෙමගින් හෙළි වී තිබේ.


එක්සත් ජාතීන්ගේ සංවිධානය වර්ෂ 2014 පටන් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ සමාජයීය ආර්ථික හා සාමයික වර්ධනය උදෙසා කටයුතු කරමින් සිටී. ස්ත්‍රීන් හා ගැහැනු දරුවන්ට සිදුවන ලිංගික ප්‍රචණ්ඩත්වය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා ඇති වෙන වෙනස් කොට සැලකීම අවම කිරීම සඳහා අඩු ආදායම්  හා වරප්‍රසාදලාභී කාන්තාවන් සඳහා ශ්‍රී ලංකා රජය සමග එක්ව වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා තිබේ. ගැහැනු දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීම සඳහා අවශ්‍ය පහසුකම් සකසා දීමට කටයුතු සපයනු ලැබේ. කාන්තාවන්ට මෙන්ම ගැහැනු දරුවන් ගේ පෝෂණ තත්ත්වය නංවාලීම මෙන්ම සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා පහසුකම් වර්ධනය කිරීමද තවත් එක් පිළියමක් වෙයි. තම පවුලේ ආර්ථිකය වර්ධනය කර ගැනීමට දායකවීමෙන් කාන්තාවට සිය පවුල මෙන්ම සමාජයේද වැඩි පිළිගැනීමක් මෙන්ම ස්වාධීනත්වයක් ද හිමි වේ. ඒ සඳහා කාන්තාවන් දැනුවත් කිරීම අවිධිමත් අධ්‍යාපනය හා ස්වයං රැකියා පුහුණු වැඩසටහන් ක්‍රියාවට නැංවීම, පෞද්ගලික සෞඛ්‍ය මෙන්ම පවුලේ සෞඛ්‍ය රක්ෂණය පිළිබඳ දැනුවත් කිරීම ආදී කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන් රැසක් මේ යටතේ ක්‍රියාත්මක කෙරෙයි.

සාගරිකා දිසානායක

 

අම්මා නැත්නම් අමරදේව කෙනෙක් නැහැ... Read Previous

අම්මා නැත්නම් අමරදේව කෙනෙක් නැහැ...

තංගල්ල කාල්ටන් නිවසෙ   අවුරුදු Read Next

තංගල්ල කාල්ටන් නිවසෙ අවුරුදු

Realted Post

Leave a comment