ඔබේ ලග්නයට කොහොමද?

ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද රටට සුබදායී වසරක් වේවි ද?  දැනට පවතින්නා වූ ග්‍රහචාරයන් සහ නව ග්‍රහමාරුවීම් තමන්ගේ ලග්නයට අනුව සුබ අසුබවන්නේ කෙසේද? යන කරුණු කල් තියා දැන ගැනීම වඩාත් සුදුසු වන්නේ ඒ අනුව වසරේ කටයුතු නිසි පිළිවෙළකින් කළමනාකරණය කරගත හැකි නිසාය. මේ සටහන ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද රටට සහ ඔබේ ලග්නයට බලපාන ආකාරය පිළිබඳවය. 

 

මේෂ  

විදෙස් ගතවෙන්න හොඳ කාලයක් 
මේ වසරේ අප්‍රේල් මාසයේ 22 සිට මේෂ ලග්නයට මීට පෙර පැවති වසර හත හමාරක කාලයට වඩා සෑම අතින්ම සුබදායී කාලයක් උදා වේ. පසුගිය වසර කිහිපය තුළ රාහු, මේෂ ලග්න හිමියාගේ කේන්දරයේ ගමන් කළේ අස්ථාවර භාවයක් සහ අනියත බියක් ඇති කරමිනි. සන්සුන් මනසක් පැවතියේ නැත. එහෙත් මේ සියලුම අවස්ථා අප්‍රේල් මාසයේ සිට වෙනස්වීමට පටන් ගනී. මේ මොහොතේ සෙනසුරු ගමන් කරන්නේ එකොළොස් වැන්නේය. එය කේන්දරයක පිහිටිය හැකි බලවත්ම ස්ථානයයි. අප කරන ඕනෑම කටයුත්තක සුබපල ලැබෙන්නේ එකොළොස්වන ස්ථානය බලවත්වීම නිසයි. ඒ නිසා රැකියාවේ හෝ අධ්‍යාපනයේ, විවාහ කටයුතුවලදී මෙන්ම අලුතින් ආරම්භ කරන සියලු දේට සුබපල ගෙන දෙන වසරක් වේවි. රැකියාවේ උසස්වීම් ලබයි. ගුරුගේ පිහිටීමද හොඳ තැනක තිබෙන නිසා මානසික නිදහස සමග වෙනදාට වඩා බුද්ධිමත් ලෙස කටයුතු කිරීමට පෙලඹේ. උසස් අධ්‍යාපනයට සහ තරග විභාගවලින් ජය හිමිවීමට ඉතා යෝග්‍ය කාලයකි. තව දුරටත් ගැටලු පවතින්නේ රාහුගෙන් සහ කේතුගෙන් පමණක් නිසා එය මඟහරවා ගැනීමට අභිසම්භිදාන පිරිත කීමෙන් තරමක හෝ සහනයක් උදාකරගත හැකි වේ. විදේශගතවීමට යහපත් කාලයක් වන අතර තමන්ට උරුම වූ දෙය සොයා ගැනීම සඳහා වාසනාවන්ත ආරම්භයක් ගත හැකි යහපත් කාලයක් වේ.     
ජය අංකය  : 1 සහ 2, 
සුබ වර්ණය : තද රතු 
 
 

වෘෂභ 

රැකියාවේ ජයග්‍රහණ
වෘෂභ ලග්න හිමියාගේ කේන්දරයේ දැනට රාහු ගමන් කරමින් සිටින්නේ දොළොස් වැන්නේයි. මෙය වෘෂභ ලග්න හිමියාගේ කේන්දරයේ තාවකාලිකව බලපාන අවාසිදායක තත්ත්වයක් වුවද මේ වසරේ ඔක්තෝබර් මාසය පසුවනවාත් සමගම එම අහිතකර තත්ත්වය වෙනස් වී එකොළොස් වැන්නේ රාහු ග්‍රහයා ගමන් කිරීමට පටන් ගනී. එවිට එකොළොස්වැන්න බලවත් වීම සිදු වේ. මේ එකොළොස්වැන්න බලවත්වීම සමග රැකියාවක් සොයමින් සිටී කෙනෙක් හෝ තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිටින ආයකු නම් තමන්ගේ රැකියාවේ පැහැදිලි ජයග්‍රහණයක් හිමිකර ගැනීමට අවස්ථාව යෙදේ. තමන්ගේ ජීවිතයේ මෙතෙක් හොඳ මානසිකත්වයක් තිබුණේ නැතිනම් හොඳ මානසිකත්වයකින් වැඩකටයුතු කිරීමට අවස්ථාව උදා වේ. විශේෂයෙන් වෘත්තීය ජීවිතයේ ජයග්‍රහණ හිමි වේ. ඒ වගේම ඉඩම්, නිවාස දේපළ සම්බන්ධයෙන් හෝ ව්‍යාපාර ආදියෙන් වුවත් කරන ආයෝජන වලින් සාර්ථක ප්‍රතිඵල නෙළා ගනී. ඔක්තෝබර් මාසයේ සිට සියලු කටයුතු සාර්ථකවීම සිදු වේ. දැනට වෘෂභ ලග්න හිමියාගේ කේන්දරයේ දහවැන්න වූ සෙනසුරු ග්‍රහයාගේ බලපෑම ඉතා බලවත් නිසා වෘෂභ ලග්න හිමියා රැකියාව තුළ කාර්යක්ෂමව වැඩ කරයි. අප්‍රේල් මාසයේ සිට ඉදිරියට වෘත්තීය ජීවිතයේ පැහැදිලි වෙනසක් ආරම්භවීම සිදු වේ. හවුලේ කටයුතු සාර්ථක වේ.    
  ජය අංකය  : 7 සහ 2, 
සුබ වර්ණය : සුදු සහ නිල් 
 
 

මිථුන 

අරමුණු ඉටුවෙන කාලයක් 

ඉදිරිපත් කිරීම : - 
කේ.සී.ජේ. රත්නායක 

 

වසර උදාවන විට මිථුනයේ කේතු ග්‍රහයා පස් වැන්නත්, රාහු එකොළොස් වැන්නෙත්, සෙනසුරු නවවැන්නෙත්, ගුරු එකොළහෙත් පිහිටයි. 
බොහොම කාලයකට පසු මිථුන ලග්නයට බලවත් කාලයක් උදා වී ඇත. සෙනසුරුගේ නව වැන්නේ ගමනත් සමග මෙතෙක් කරමින් සිටී රැකියාවේ ස්වභාවය වෙනස් වීමටත් ඒ සම්බන්ධව තිබූ බොහෝ අවහිර සහ අස්ථාවර භාවයන් දුරුකරගෙන තමාගේම කැමැත්ත පරිදි රැකියාව හසුරුවා ගැනීමට මාර්ගයක් ගොඩනැගේ. ඒ වගේම විදේශගතව අධ්‍යාපනය හැදෑරීමටත්, රැකියාවකට යෑමටත් සුදුසු කාලයකි. අරමුණු ඉටු වේ. එකොළොස්වන ස්ථානයේ රාහු බලවත් නිසා කුමන බාධක ආවත් දෛවය අනුව උරුම දේ බාධක මැඬගෙන ලබා ගැනීමට අවස්ථා සැලසෙයි. විවාහයට තිබූ බාධක ඉවත් වේ. තමන්ගේම ව්‍යාපාරයකට ආයෝජන කිරීම වාසිදායක වේ. සමාජයෙන් සහ ආයතනික වශයෙන් අන් අයගෙන් ලැබෙන සහයෝගය වඩාත් යහපත් වේ. නමුත් තරමක් බුද්ධිමත්ව කටයුතු කළ යුතු වේ. ලැබෙන සම්පත් සීමිත නිසාත් හැමදාම එය එකම ලෙස නොලැබෙන නිසාත් ඉවක් බවක් නොමැතිව වියදම් නොකිරීමට වගබලාගත යුතුව ඇත. එය රැකගතහොත් පමණක් මිථුන ලග්න හිමියාට දුර ගමනක් යාමට අවස්ථාව සැලසෙයි.     
ජය අංකය  : 3 සහ 5 
සුබ වර්ණය : කොළ පාට 
 
   

කටක

ව්‍යාපාරයක් අරඹන්න 
වසර 2023 ලබනවාත් සමගම අනෙක් සෑම ලග්න හිමියකුටම වඩා කටක ලග්න හිමියා අතර තිබෙන චකිතය, තැතිගැන්ම, කැපී පෙනෙයි. එයට හේතුව වන්නේ සමාජය විසින් කා වැද්දූ වැරදි මතයකි. නැතිනම් වැරදි ලෙස ජ්‍යෝතිෂය පරිහරණය කිරීමෙන් ඇති වූ  ප්‍රතිඵලයකි. සෙනසුරු ග්‍රහයා අටවැන්නේ සිටින විට බොහෝ දුරට හදිසියෙන් ජීවිතය අවසන් කරයි සහ කකුල් අතපය බිඳ ගැනීමක් සිදුවේවි යැයි යන අනියත බියක් කටක ලග්න හිමියා තුළ මවා තිබේ. එහෙත් මුලින්ම ඒ ගැන කිවයුතු වන්නේ එසේ ඇතිව තිබෙන බියකරු චිත්‍රය සම්පූර්ණයෙන්ම මනසෙන් ඉවත් කර, නව වසරට සූදානම් වීමට කාලය එළැඹ ඇති බවයි. මූලික මානසික සුදානම සහිතව කටයුතු කිරීම වැදගත් වේ. තරමක් පරෙස්සම් විය යුතු කාරණා කිහිපයක් තිබේ. එනම් අක්මාව, වකුගඩු සහිත පවුලේ රෝග ඉතිහාසයක් තිබේ නම්, කොඳු ඇට පෙළ හා රෝගී තත්ත්ව ඇත්නම් ඒ අය ඒ ගැන සැලකිලිමත් විය යුතුය. වැරදි ආහාර රටාවෙන් දුරස් විය යුතුය. පසුගිය කාලය තුළ නොලැබී තිබෙන දෙයක් උරුම වේ නම් එය ලැබීමේ අවස්ථාව ඇත. හදිසි ආයෝජන කිරීමෙන් සුබපල ලබාගත හැකි වේ. තමන්ගේම දෙයක් ආරම්භ කිරීමට සිටියේ නම් ඒවා චිත්ත ධෛර්යයෙන් යුතුව ආරම්භ කිරීමෙන් ජයග්‍රහණ හිමිකරගත හැකිය. 
ජය අංකය  : 1 සහ 4  
සුබ වර්ණය : සුදු සහ රිදී පැහැය 
 

 

සිංහ

මෙතෙක් නොලැබුණු අවධානයක් ලැබෙයි 
මේ වසරේ සිංහල අලුත් අවුරුද්ද ලබනවාත් සමගම සිංහ ලග්න හිමියෝ සැලකිය යුතු මට්ටමේ සහනශීලී බලවත් තත්ත්වයකට පත්වී වසර ආරම්භ කරයි. අප්‍රේල් 22 දා සිංහ ලග්න හිමියෝ සියලුදෙනාටම සතුටු විය හැකි බලවත් ග්‍රහමාරුවක් සිදු වේ. එතෙක් 8 වැන්නේ පීඩාකාරී තත්ත්වයෙන් සිටි ගුරු ග්‍රහයා කේන්දරයේ නව වැන්නට පිවිසෙයි. එයින් සිංහ ලග්න හිමියා ශාරීරික සහ මානසික අතින් සිටි විශාල පීඩනයකින් නිදහස් වේ. ඒ වගේම මෙතෙක් තමාට සමාජයෙන් නොලැබුණු අවධානය, ගෞරවය රැකියාව අතින්, අධ්‍යාපනික වශයෙන් හිමිවීමට පටන් ගනී. එය මෙරටින් මෙන්ම විදේශීය රටකදී වුවද සිදුවිය හැකිය. විශේෂයෙන් අධ්‍යාපනයට ජයග්‍රාහී කාලයක් වන අතර මේ සුබ කාලය ඉදිරියට වසර පහක් පමණ පවතිනු ඇත. එය වසර ආරම්භයේම සුබ වේ. දැනට කිසියම් වෘත්තියක නියැළී සිටිනවා නම් එම ක්ෂේත්‍ර තුළින් ලැබෙන ලාභ ප්‍රමාණවත් මදි වුවත්, පීඩනය කෙතරම් වැඩි වුවත් නිතර නිතර රැවටීම්වලට හසුවීමටත් ඉඩ ඇති නිසා ඔක්තෝබර් මාසයෙන් පසුවද තමන් ගමන් කරන මාර්ගයේම අඛණ්ඩව ගමන් කිරීම නුවණට හුරු වේ. මාර්ගය වෙනස් කරනවාට වඩා මේ මොහොතේ තිබෙන දෙය රැක ගැනීම වඩාත් සුබදායී වේ. විවාහය අපේක්ෂා කළ අයෙක් නම් ස්ථිර විවාහ ජීවිතයකට ඇතුළත් වීමට ඉඩකඩ සැලසේ. 
ජය අංකය   : 1
සුබ වර්ණය  : තැඹිලි පාට 

 

 

කන්‍යා  

ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න 
වසර 2023 කන්‍යා ලග්න හිමියන්ට විශේෂ වසරක්. එයට තිබෙන ප්‍රධාන හේතුව වන්නේ ගුරු ග්‍රහයා කන්‍යා ලග්න හිමියන්ගේ කේන්දරයේ අට වැන්නේ ගමන් කිරීම ය. 
මෙය හොඳ පිහිටීමක් නොවේ. විශේෂයෙන් අක්මාව, වකුගඩු සම්බන්ධයෙන් එසේත් නැතිනම් ෆැටිලිවර් සම්බන්ධ රෝගාබාධ, දියවැඩියා සහ කොලෙස්ටරෝල් වැනි රෝගී තත්ත්ව සඳහා ප්‍රතිකාර ලබන අයෙක් නම් මේ කාලය උපරිම පරිස්සමෙන් යා යුතු කාලයකි. තමන්ගේ කෑම බීම, ඇවතුම් පැවතුම්, ශාරීරික සහ මානසික පාලනය කරගැනීම අතිශයින් වැදගත් වේ. සු`ඵ හෝ වැරදි අවස්ථාවක් ලබාදුන්නොත් ජීවිතයේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ ලෙස පිරිහීමකට ලක්විය හැකිය. මෙය සියලු කන්‍යා ලග්න හිමියන් මතක තබාගෙන කටයුතු කිරීම වැදගත් වේ. ඒ වගේම අභූත චෝදනා එල්ලවීමට පවතින ඉඩකඩ වැඩි නිසා හැකි තරම් හවුලේ කටයුතුවලට සහභාගී නොවී තමන්ගේ වෘත්තියක් කරගන්නට හැකි නම් දෝෂාරෝපණවලට ලක්නොවීමට එය උපක්‍රමයක් වේ. නීති කටයුතුවලට තරමක් යහපත් වේ. ස්ථාවර ගමනකට මුල පිරීමට යහපත් කාලයක් වන නිසා ඒ ගැන සිතීම අවාසිදායක නැත.  
ජය අංකය  : 3   
සුබ වර්ණය : කොළ 
 

 

තුලා 

ඉවසුවොත් ජයග්‍රහණ රැසක් 
තුලා ලග්න හිමියන්ගේ කේන්දරයේ 2023 වසර ලබන මොහොතේදී ලග්නයේ කේතු සහ ලග්නයේ හත්වැන්නෙන් රාහු සහ යුරේනස් ගමන් කරමින් සිටින අවස්ථාවකි. 
මේ වසරේ ඔක්තෝබර් මාසය දක්වාම කායික වශයෙනුත්, මානසික වශයෙනුත් සමාජ සම්බන්ධතා පැවැත්වීමේදී මීට පෙර පැවති අස්ථාවරභාවය ක්‍රම ක්‍රමයෙන් අඩුවෙන තැනට කටයුතු සැලසෙමින් තිබේ. මේ තත්ත්වය ඔක්තෝබර් මාසය දක්වා තිබෙන අතර එය දැන් පවතින්නේ වැඩිවෙන පැත්තට නොව අඩුවන පැත්තටය. එහෙත් ඔක්තෝබර් දක්වා කාලය තෙක් මේ පීඩනය පවතින නිසා මෙතෙක් ඉවසුවා සේ තව දුරටත් ඉවසීමෙන් උපේක්ෂා සහගතව කටයුතු කළ යුතුය. ප්‍රේමය හා විවාහය ආදියේදී වෘත්තීය හා ව්‍යාපාරික කටයුතුවලදී විශේෂයෙන් සමාජ ආශ්‍රිතව පවත්වන කටයුතුවලදී තරමක් ඉවසීමෙන් කටයුතු කිරීමෙන් ජයග්‍රහණ හිමිකරගත හැකි වේ. පසුගිය වසර පුරාම ගුරු ග්‍රහයා සිටියේ නරක ස්ථානයක වන අතර දැන් එයින් මිදී ඇත. අනිවාර්යයෙන් තමන්ගේ සේවා ස්ථානයේ ප්‍රධානීන්ගෙන් හෝ පවුලෙන් හෝ අනවශ්‍ය ලෙස දෝෂාරෝපණයට ලක්වී සිටියේ නම් එයින් මිදී අනෙකා සමග සමාජශීලී ලෙස කටයුතු කිරීමට ලැබෙන යහපත් කාලයකි. සෙනසුරුගේ ගමන් මඟ ඉතාම යහපත් බැවින් ස්ථීර රැකියා හිමිවීම හෝ උසස් වැටුප් ලැබීම නිලතල ලැබීම සිදු වේ. දිගුකාලීන ගමනක ආරම්භයක් සනිටුහන් කරයි.
ජය අංකය  : 7  
සුබ වර්ණය : සුදු සහ නිල් 
 

 

වෘශ්චික 

නිවාස සහ දේපළ මිලදී ගැනීම් 
වෘශ්චික ලග්න හිමියන්ගේ කේන්දරය තවදුරටත් බලවත්ව පවතී. වසර ආරම්භයත් සමග රාහු ග්‍රහයා හය වැන්නේත් කේතු ග්‍රහයා දොළොස්වැන්නෙත් ගමන් කරයි. ජ්‍යෝතිෂ අනුව කේන්දරයක දොළොස්වැන්න ඊසාන දිශාවයි. 
කේතු ග්‍රහයා එහි සිටීම වෘශ්චික ලග්න හිමියාගේ මානසික පිබිදීමට හේතුවක් වෙයි. ඔවුන් පෞරුෂීය, කායික හා ආර්ථික අතිනුත් වෙනදාට වඩා බලවත් වෙයි. සංචාරක කර්මාන්තයෙන් හෝ විදේශ රැකියාවලට යොමුවන අයට සුබ කාලයකි. තමාගේම තනි ව්‍යාපාර ආරම්භ කිරීමටත් යහපත් අතර, උසස්වීම් ලැබීමටත් සුදුසු කාල පරිච්ඡේදයකි. කාලයක් තිස්සේ පැවති රෝගාබාධ සුව අතට හැරේ. 
සෙනසුරු බලවත් නිසා නිවාස හා දේපළ මිලදී ගැනීමට යොමුවන වෘශ්චික ලග්න හිමියන්ටද මේ සමස්ත කාලපරිච්ඡේදයම යහපත් වේ. ස්ථිරසාර තීරණ ගැනීමට වගේම ඒවා ක්‍රියාත්මක කරවීමටත් ශක්තිය අවකාශය ලැබේ. අධ්‍යාපනය ලබන අයටත් සුබ ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකිය. අද්විතීය නිර්මාණ කිරීමට යහපත් කාලයකි. මේ වසරේ ඔක්තෝබර් මාසය දක්වාම වෘශ්චික ලග්න හිමියාට යහපත් කාලයක් ඇති අතර ඔක්තෝබර් මාසයෙන් පසුව මේ තත්ත්වය තරමක් වෙනස් වීමකට ලක් වේ. රාහු ග්‍රහයා කේන්දරයේ පස්වැන්නට යනවිට පැවති රටාව වෙනස්වීමට ලක්වන නිසා යම් යම් පීඩාකාරී තත්ත්ව ඇති වුවත් මෙතෙක් කරගෙන ආ රැකියාව හෝ ව්‍යාපාරය දිගටම රැඳී සිටීම නුවණට හුරු වේ.
ජය අංකය  : 3 සහ 5  
සුබ වර්ණය : තද රතු පැහැය     

 

 

ධනු  

සමාජයෙන් කීර්ති ප්‍රශංසා 
ධනු ලග්න හිමියාගේ කේන්දරයේ සෙනසුරු ග්‍රහයා දැනට ක්‍රියාත්මකව සිටින්නේ තුන්වැන්නේ ය. තුන් වැන්න සෙනසුරු බලවත්වන ස්ථානයකි. තමන්ගේම සහජ හැකියාවෙන් වෘත්තීයන්වල යෙදෙන සහ අධ්‍යාපනය ලබන අයට පැහැදිලි සාර්ථකත්වයක් ලබයි. දේපළ සම්බන්ධයෙනුත් ධනය අතිනුත් ධනු ලග්න හිමියා පෙරට වඩා බලවත් වෙයි. එමෙන්ම දැනට මෙම කේන්දරයේ නෙප්චූන් ග්‍රහයා පිහිටන්නේ හතරවැන්නේ ය. එය වඩාත් හොඳ ස්ථානයකි. විශේෂයෙන්ම ඒ නිසා නිර්මාණශීලී ලෙස තමන්ගේ සිතිවිලි ඇතිකර ගැනීමට වගේම සමාජයෙන් කීර්ති ප්‍රශංසා හිමිකර ගැනීමට ඇගයීමට ලක්වීමට වාසනාව ලැබේ. රාමුවෙන් පිටත එනම් තව කෙනකුට හිතන්නට බැරි විවිධ පැති නිර්මාණශීලී ලෙස දකී. පරිස්සම් විය යුතු කාරණාවක් ඇත. එනම් පෙණහලු හා හදවත් ආශ්‍රිත රෝගාබාධ ඇතිවිය හැකි නිසා කෑම බීම පිළිබඳව සැලකිලිමත්විය යුතු වේ. විවාහ කටයුතුවලට මෙන්ම අධ්‍යාපනික කටයුතුවලින් ජය ලබයි. ව්‍යාපාර ආරම්භ කිරීමට සුබ කාලයක් වන අතර එවැනි බලාපොරොත්තුවක් ඇත්නම් ඔක්තෝබර් මාසයෙන් පසුව ඒ සඳහා සූදානම්වීම වඩාත් යහපත් වේ.     
ජය අංකය  : 9  
සුබ වර්ණය : නිල් 
      

 

මකර  - 

නිවෙසක සිහිනය සැබෑවෙයි 
මකර ලග්නය 2023 වසර ආරම්භයේදීම ජයග්‍රාහී ලග්නයකි. ඉතා බලවත් ග්‍රහචාරයක් පවතී. පවතින ග්‍රහචාරය අනුව ඒරාෂ්ටකයක් පිළිබඳ මතයක් ඇතිවිය හැකි අතර එය සම්පූර්ණ වැරදි වැටහීමකි. තමන් යම් අරමුණකට ගියා නම් ඒ අරමුණ මතම පිහිටමින් දිගුකාලීන ස්ථාවරභාවයක් ලැබීමට මේ කාලය සුබ වේ. 
විවාහ ජීවිත ගත කරන මකර ලග්න හිමියන්ට තමන් ගෙවන ජීවිතය සතුටින් භුක්තිවිඳීමටත් ස්ථිරසාර ජීවිතයක් ගත කිරීමටත් ලැබෙන කාලපරිච්ඡේදයකි. එහෙත් උගුර, කන, නාසය සම්බන්ධයෙන් හෝ පාරම්පරිකව එවැනි ආබාධ තිබෙන අයෙකු නම්, මේ ඉදිරි කාලය තුළ තමන් ගන්නා ආහාරපාන පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. නිදන්ගත රෝග ඇවිස්සීමට ඉඩකඩ ඇති නිසා පරෙස්සම් විය යුතුය. ඉදිකිරීම් සහ නව්‍යකිරීම් සඳහා යොමුවීමට සුබ කාලයකි. තමන්මට කියා නිවසක් සාදා ගැනීමේ සිහිනයක් ඇත්නම් මේ කාලය ඊට වඩාත් සුබ කාලයක් වේ. ඒවා ඉතා ඉක්මනින් නිම කරගැනීමට හැකියාව ලැබේ. ඔක්තෝබර් මාසයෙන් පසුව ලංකාව තුළදී සහ පිටතදීත් වෘත්තීමය ලෙස සහ අධ්‍යාපනික අතින් දියුණුවක් ඇතිකර ගනී. කලාවේ යෙදෙන මකර ලග්න හිමියන්ට ජීවිතයේ යහපත්ම කාලයකි.      
ජය අංකය   :  1 සහ 3  
සුබ වර්ණය  :  සුදු සහ නිල්  
  

 

කුම්භ   

ඉතා වාසනාවන්ත කාලයක් 
මේ වසරේ වඩාත් සුබම ලග්නය ලෙස කුම්භ ලග්නය හැඳින්විය හැකිය. බොහෝ කාලයක් තිස්සේ තිබුණු මානසික, කායික, ආර්ථික, වශයෙන් තිබුණු තදබල පීඩාකාරී තත්ත්වයක් හමාර කර ඇත. එය පළමු ජයග්‍රහණයයි. දෙවැන්න වන්නේ නැවත උපන්නා හා සමානව නැවත නැගී සිටීමක් සිදු වේ. 
මානසික වශයෙන්ද තීරණ ගැනීමේදී ඉතා ප්‍රබල වේ. ගත් තීරණ ක්‍රියාත්මක කරවීමේදී දූරදර්ශී ලෙස ක්‍රියා කරයි. මානසිත පීඩනය වැඩි රැකියාවල නිරත වි සිටී නම් ඒ ගැන තරමක් කල්පනාකාරී වී තමන්ගේ මානසික සුවය ඇතිකර ගැනීමට කටයුතු කරගැනීම වැදගත් වේ. කෙසේ නමුත් දිගුකාලීන සුබ ගමනකට ආරම්භයත් සමග කුම්භ ලග්න හිමියා වසර පටන් ගනී. තුන් වැන්නේ පිහිටන්නේ ගුරු ග්‍රහයායි. අධ්‍යාපනය සහ පර්යේෂණ කටයුතුවලට සුබ කාලයකි. එහෙත් අස්ථි සම්බන්ධ රෝග ඇති අයට එතරම්ම යහපත් නැත. එම නිසා සෑමවිටම තමන්ගේ දෛනික කටයුතුවලදී නිසි ඉරියව් පවත්වා ගැනීම වැදගත් වේ. තමන්ගේ ව්‍යාපාර කරන අයටත් වෙනත් රැකියාවක නියැළෙන කෙනකුටත් ප්‍රධානත්වය ගැනීමට, සාර්ථකවීමට ඉඩකඩ සැලසෙයි. රැකියා මාරු කිරීමට සුබම කාලයකි. විදේශ ධනය උපයාගත හැකිය. දිගුකාලීන ජය ගමනක ආරම්භක කාලයකි.   
ජය අංකය 7 සහ 8 
සුබ වර්ණය  සුදු සහ නිල්  
    

 

මීන

විශිෂ්ට නිර්මාණ බිහි කරයි 
මීන ලග්න හිමියාගේ කේන්දරයේ නෙප්චූන් ග්‍රහයාගේ පිහිටීමට අනුව මේ මොහොතේ ඉතා කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත් වේ. එසේ වුවහොත් ඉතාම විශිෂ්ට සාමකාමී නිර්මාණකරුවකු බිහිවනු ඇති අතර එය නරක පැත්තකට හැරුණොත් තමන්ටවත් සිතා ගැනීමට බැරි තරමින් තමන් ධනය සහ කාලය නාස්ති කරන පුද්ගලයකු බවට පත් වේ. 
හැමෝටම වඩා වෙනස් විදියට නිර්මාණශීලී ලෙස හිතන්න සහ අනෙක් අය අතර ජනකාන්තභාවයක් ලැබීමට වාසනාවන්ත කාලයකි. ප්‍රේමය සහ විවාහයේදීත් සමාජ කටයුතුවලදීත්, තමන් වඩාත් අගය කොට සලකන පුද්ගලයකු බවට පත් වේ. ආධ්‍යාත්මික සහ මානසික වශයෙන්, යම් ගවේෂණයක් කරන අයකුට මේ කාලය ඔහුගේ ජීවිතයට වැදගත්ම කාලයකි. වෘත්තීමය සහ අධ්‍යාපනය අතින් දියුණුවක් ඇති වේ. අවිවේකී කාලයක් උදාවීම සිදුවිය හැකිය. එහිදී සියල්ල සුබවාදී ලෙස හිතන්නට හැකි නම් සියලු කාර්යයන් තමන්ගේ ජයග්‍රහණයට හේතුවනු ඇත. ශ්වසන රෝග සම්බන්ධයෙන් පරෙස්සම් විය යුතුව ඇත. වචන භාවිතයේදී සහ පොරොන්දු අත්සන් තැබීමේදී ඉතා කල්පනාකාරී විය යුතු වේ. ශරීර සෞඛ්‍ය තත්ත්වය රැකගැනීම සඳහා ආහාර පාන රටාව මධ්‍යස්ථව රැගෙන යාමද වැදගත් වේ. 
ජය අංකය  :  2 සහ 5  
සුබ වර්ණය : කහ   
 
සටහන :- නයනා උදයංගනී 
 

සෝමසිරි මැදගෙදර Read Previous

සෝමසිරි මැදගෙදර

හිසකෙස් පාට කළාම හැමෝම ලස්සනයිද? Read Next

හිසකෙස් පාට කළාම හැමෝම ලස්සනයිද?

Realted Post

Leave a comment