ගැබිනියක් වුනාම ඇය ජීවිතය අත්හරින්න ඕනෑද?

 

තරුෂි කාර්යාලයේ කැපී පෙනෙන චරිතයක්. ඇය දැන් මවක් වීමට සූදානම්ව සිටී. ඇය ඇගේ පෞරුෂත්වයට ගැළපෙන පරිදිි ඇඳුම් පැලඳුම් තෝරා ගනියි. ඇය තමා පිළිබඳව ඉතා විශ්වාසයෙන් කටයුතු කරයි. ඇය තමාටම ආදරය කරයි. තරුෂි තමාගේ වටිනාකම් පිළිබඳව අවබෝධයෙන් සිටියි. නිතරම කණ්ණාඩිය තුළින් ඇය ප්‍රියමනාපව සතුටින් සිටිනු දැකීමට කැමැත්තක් දක්වයි. කාර්යාලය තුළ මෙන්ම නිවෙසේ තමාට පැවරෙන රාජකාරී කටයුතු වඩාත් සාර්ථකව නිම කිරීමට ඇය නිතරම කැපවීමෙන් සහ වගකීමෙන් කටයුතු කරයි. ඒ නිසා කාර්යාලයේ සැවොම අතර ඇය ජනප්‍රිය චරිතයකි. 


එදත් තරුෂි කාර්යාලයට යාමට සුදුසු ඇඳුමක් තෝරා ගැනීමට ඇගේ ඇඳුම් අල්මාරිය විවෘත කළාය. ඇයට ලස්සන ලස්සන විවිධ මෝස්තරවලින් ඇඳුම් අල්මාරිය පිරී තිබේ. ඇය ඒවා ආසාවෙන් එකින් එක අත ගා බලයි. ඉන් එකක් ගෙන කණ්ණාඩිය වෙත ගොස් ඇඟට තබා ලස්සන බලා නැවත එය අල්මාරියටම දමා සුසුමක් හෙලයි. ඉන්පසු ඇයට පහසු සැහැල්ලු කමිසයකින් හා කලිසමකින් සැරසෙයි. කණ්ණාඩිය ළඟට ගොස් තමා දෙස බැලූ ඇයට නිය ආලේපන ගැල්වීමට සිතෙයි. ඇය ආසම පාට නියපොතුවල පරිස්සමින් ආලේප කරගත් පසු තම දෑත් වඩාත් ලස්සන වුණි යැයි ඇයට මහත් සතුටක් දැනුණි. තරුෂි නිවසින් පිටත්වීමට සපත්තු පලඳිද්දී පසෙකින් තිබූ තමා කලින් පාවිච්චි කළ අඩි උස සපත්තු පේළිය නෙත ගැටුණි. ඇයට විවිධ මෝස්තරයේ සපත්තු එකතුවක්ම තිබුණි. දැන් නම් ඇය කකුල්වලට පහසු, අඩිය උස නැති ලිස්සා නොයන සපත්තු තෝරා ගැනීමට පරිස්සම් වෙයි.


නිවසින් පිටවී බසයට ගොඩ වූ ඇයට ඉදිරිපසින්ම අසුනක් ලැබුණු නමුදු පිටුපසින් සිටි කාන්තාවක් ‘පුදුම විසයක් තියෙන්නේ. පේන්නෙ නැද්ද නියපොතු පාට කරලා...කොණ්ඩෙ පාට කරලා...හෙට අනිද්දට අම්මා කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් නේද?....බලන්න ඇඳුමේ හැටි...’ කියනවා ඇසුණි. 


ඇයට දෑසට කඳුළු ආවේ ඉබේටමය. බසයේ සැවොම තමා දෙස ඉස්සි ඉස්සී බලනවා සේ ඇයට දැනුණි. එවෙලෙහිම බසයෙන් බැස ආපසු නිවසට යාමට ඇයට සිතුණි. තමා නරක චරිතයකින් යුත් ගැහැනියක නොවන බව කෑ ගසා කියන්නට ඇයට සිතුණි. කාර්යාලයට යාමට තරම් හොඳ මානසිකත්වයක් ඇයට දැන් නැත. ඇය ඊළඟ බස් නැවතුමෙන් බැස ගත්තේ හඬමින් ආපසු නිවසට යාමට සිතාගෙනය.


මෙය එක් සිදුවීමකි. මා මුණගැසීමට පැමිණි තරුෂි මගෙන් විමසුවේ එකම එක ප්‍රශ්නයකි. එනම් “ඇයි මා දිහා බලලා සමාජයේ මිනිස්සු, අම්මා කෙනෙක් වෙන්න මං සුදුසු නැහැ කියලා හිතන්නේ...” කියාය.


සුරතල් පුංචි දියණියකගේ භූමිකාවෙන් පසු සුන්දර තරුණියක වන ඇය, සෙනෙහෙබර බිරිඳක වී අම්මා කෙනෙකු වීමට පෙරුම් පුරද්දී ඇයට කිසිම මොහොතක අනවශ්‍ය ආකාරයෙන් අපහාස නොකර සිටීමට අප සැවොම වගබලා ගත යුතුය. ස්වභාවයෙන්ම කාන්තාවෝ සුන්දරව සිටීමට කැමැත්තක් දක්වති. විලාසිතාවලට වැඩි නැඹුරුතාවක් දක්වති. මවක්වීමට සූදානම් වන ඇය ඇගේ ආසාවන් විලාසිතාවන් දරුවාට තිබෙන සෙනෙහස නිසාම සීමා කරයි. ඇගේත් දරුවාගේත් ආරක්ෂාව, සුව පහසුව ගැන පළමුකොට සිතයි. ඇගේ ඇඳුම් පැලඳුම් ඇයටත් දරුවාටත් සුවපහසු නම් සමාජය විසින් ඇයට අපහාස කිරීම කොතරම් අසාධාරණද? සමාජය තුළ බොහෝ පිරිස් අදටත් ස්ත්‍රී පුරුෂ සමාජභාවය තුළින් ආ ආකල්ප මත යම්කිසි රාමුවක සිර වී සිටිති. ඔවුන් සිතන ආකාරයට මවක් මෙසේ විය යුතුයි. මෙවැනි ඇඳුම් ඇඳිය යුතුයි. කොණ්ඩය මේ පරිදි විය යුතුයි. යනුවෙන් සීමා රාශියකි. එය වෙනස්ව දකිද්දී මවකට අපහාස කිරීමට ඔවුන් නොදැනුවත්වම පෙලඹේ.


වයසින් වැඩි කාන්තාවක් ගැබ් ගැනීම පිළිබඳ උපහාසයෙන් කතා කිරීම, දරුවන් කිහිපදෙනෙකු සිටින කාන්තාවක් නැවත ගැබ් ගැනීම පිළිබඳව සෘණාත්මක අදහස් දැක්වීම, සිරුරේ පච්චා (ඕඑඑද) කොටාගැනීම සහ අමතර කරාබු දැමීම පිළිබඳ උපහාසයෙන් අදහස් දැක්වීම ඔබත් මේ සමාජය තුළ කොතෙකුත් අත්දැක ඇත. එහෙත් මඳක් සිතා බලන්න. අපි ඇගේ අදහස්වලට රුචි අරුචිකම්වලට කොතරම් ගරු කළාද? නිවෙස තුළ, කාර්යාලය තුළ, රෝහල තුළ, සමාජය තුළ ඇයට හිමි ගෞරවය ඇයට ලබා දුන්නාද? ඇය ඔබේම දියණියයි. ඇය ඔබේම සහෝදරියයි. ඇය ඔබේම ආදරණීය බිරිඳයි. ඇය ඔබේම මවයි. මේ කවර භූමිකාවකින් වුවද ඇය ඔබේ ජීවිතයට සමීප වෙයි. ඇයට නිසි ගෞරවය ලබා දී රැකබලා ගැනීම අප සියලු දෙනාගේම වගකීමකි.

උපදෙස්- මනෝ උපදේශිකා, 
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී ඉනෝකා සේනාධීර 
කාසල් වීදියේ කාන්තා රෝහල 

වැටෙන හිසකෙස්  නවත්තන විදිහ Read Previous

වැටෙන හිසකෙස් නවත්තන විදිහ

තන්තිරිමලයට යන පාරේ  මල් විකුණන ළියන්ගේ  ආයාචනය ... Read Next

තන්තිරිමලයට යන පාරේ මල් විකුණන ළියන්ගේ ආයාචනය ...

Realted Post

Leave a comment