දික්කසාදය ගෞරවනීයද?

 

දික්කසාදයකදී යම් ගෞරවනීය බවක් ලැබෙන්නේ පැමිණිලිකාරිය හෝ පැමිණිලිකරු විත්තියට කරන ලද සියලු චෝදනා නිසි ලෙස ඔප්පු කර විත්ති පාර්ශ්වය වැරදිකරු හෝ වැරදිකාරිය කර දික්කසාදය ලබාගැනීමෙනි. එහිදී පැමිණිලිකරු හෝ පැමිණිලිකාරිය නිවැරදිවීම තුළින් යම් ගෞරවනීය බවක් ඇයට හෝ ඔහුට ලැබේ. 

 

“පවුල කඩා ඉහිරුවාගෙන නම් උඹ ආයෙ මේ ගෙදරට එන්න හිතන්න එපා”

අදහස් දැක්වීම - 
නීතිඥ 
උදේනි සුබසිංහ


අතීතයේ යුවතියක් විවාපත් වන විට මවුපියන්ගේ මුවින් මේ උපදේශය නම් අනිවාර්යයෙන් ම ලැබෙන බව බොහෝ දෙනකු දන්නා කාරණාවකි. ඒ දික්කසාදය යන වචනය එදවස කතා කිරීමටවත් අකමැති වචනයක් වූ බැවිනි. පවුලක් කඩා ඉහිරුවාගෙන එන ගැහැනියක් ගමට, සමාජයට බරක් ලෙසත් පවුලට කොඩිවිනයක් ලෙසත් අතීත ජනතාව හැඳින්වූයේ ගහමරාගෙන හෝ දීග කෑ යුතු යැයි කියාදෙමිනි.


අතීත ජන සමාජය තුළ දික්කසාදය තහනම් වචනයක් වූවද අද වන විට එය සමාජය තුළ බොහෝවිට කතා කරන සුලබ මාතෘකාවක් වී ඇත. එකට⁣ජීවත්වීමට නොහැකි තැන වෙන්වීම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත. විශේෂයෙන් සමාජයේ  ජනප්‍රිය පාර්ශ්ව අතර දික්කසාදය සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත්තේ මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය තුළින් ද ඔවුන්ට ලබාදෙන ජනප්‍රියත්වය නිසාය.
බොහෝවිට මෙලෙස දික්කසාද වන පිරිස් “අපි ගෞරවනීය ලෙස වෙන්වුණා” යැයි මාධ්‍යයට පවසන අවස්ථා අනන්තවත් දැක ඇති අතර ගෞරවනීය ලෙස කසාදයක් අවසන් කරන්නේ කෙසේදැයි පොදු සමාජයට ගැටලුවක්  ඇත.

 


දික්කසාදයකට හේතු
ලංකාවේ පවතින නීතිය අනුව දික්කසාද නඩුවක් ගොනු කිරීමට කරුණු ඇත. එනම් එක් පාර්ශ්වයක් අනාචාරයේ හැසිරීම, විවාහයට පෙර  සිට පවතින ලිංගික බෙලහීනතාව සහ ද්වේශ සහගත ලෙස හැරයාමයි.


දෙදෙනකු ⁣නීතියෙන් වෙන්වන්නේ නම් මෙම කරුණු තුනෙන් එකක් හෝ අනිවාර්යයෙන් ඔප්පු කළ යුතුය. එය අධිකරණයේ දික්කසාද නඩුවක් ගොනුකර  දෙපාර්ශ්වයේම කරුණු විමසා විභාග කර සිදුකරන ක්‍රියාවලියකි. ඇතැම් දික්කසාද නඩු හබ කරන කරුණු අනුව  වසර කීපයක්ම ඉදිරියට ඇදෙන අවස්ථා ඇත.

 


ගෞරවනීය ලෙස වෙන්වෙන්න පුළුවන් ද?
ගෞරවනීය වචනය මෙතැනට සම්බන්ධ වූයේ එක් එක් පාර්ශ්ව දික්කසාදය තුළදී දරන මතවලිනි. එය දික්කසාදයට අදාළ නොවේ. දික්කසාදයක් ලබා ගැනීමේදී ඉහත සඳහන් කරුණු ඔප්පු කළ යුතුය. එහෙත් ඇතැම් පාර්ශ්ව දික්කසාද නඩු ඉතා කඩිනමින් අවසන් කර ගැනීමට 72 වගන්තිය යටතේ නඩුව හබ නොකිරීම තුළ එය ඉතා ඉක්මනින් අවසන් කර ගනී. එයට පැමිණිල්ලේ පාර්ශ්වය සම්පූර්ණයෙන්ම එකඟ විය යුතුය .විත්තියේ වාසියට තීන්දුව ලබා දීමට ඉල්ලීමක් කරයි. එවැනි අවස්ථාවකදී දික්කසාදය කඩිනමින් ලබාගත හැකිය. නඩුව හබ කිරීමක් සිදු නොවන අතර දෙපාර්ශ්වයම ඇති යම් යමි චෝදනා කිරීම් හබ කිරීමක් නොවේ.


දික්කසාදයකදී යම් ගෞරවනීය බවක් ලැබෙන්නේ පැමිණිලිකාරිය හෝ පැමිණිලිකරු විත්තියට කරන ලද සියලු චෝදනා නිසි ලෙස ඔප්පු කර විත්ති පාර්ශ්වය වැරදිකරු හෝ වැරදිකාරිය කර දික්කසාදය ලබාගැනීමෙනි. එහිදී පැමිණිලිකරු හෝ පැමිණිලිකාරිය නිවැරදිවීම තුළින් යම් ගෞරවනීය බවක් ඇයට හෝ ඔහුට ලැබේ. බොහෝවිට මෙම කාරණාව සමාජය දකින්නේ රටේ ජනප්‍රිය චරිතයක් දික්කසාදයට පත්වූ අවස්ථාවකදී වීම විශේෂයකි. එනම් ඔවුන් තම ජනප්‍රියත්වය මත ඉදිරි අනාගතය ගැන සිතා ඉතා ඉක්මනින් දික්කසාදය ලබාගැනීම පිණිස මෙම ක්‍රමවේදය අනුගමනය කරනවායැයි සිතිය හැකිය. 


එහෙත් 72 වගන්තිය යටතේ නඩු හබ නොකර දික්කසාදය අවසන් කිරීම මේ වන විට සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත. ජනප්‍රිය පිරිස් පමණක් නොව බොහෝ අය ඉතා ඉක්මනින් දික්කසාද නඩුව අවසන් කරගැනීමට කැමැත්තක් දක්වති. දරුවන් නොමැති බොහෝ දෙනා මෙම ක්‍රමවේදය තුළින් ඉතා ඉක්මනින් දික්කසාදය ලබාගැනීමට කටයුතු කරති.

 


72 වගන්තිය ගැන දන්නවාද?
72 වගන්තියට අනුව පැමිණිල්ලේ නඩුවට හා පැමිණිල්ලට හබ නොකරන බව ලිඛිතව දී නඩුවෙන් ඉවත්වීමට හැකිය. ඇතැම් වෙලාවට දිවුරුම් ප්‍රකාශයකින් ලබාදිය හැකිය. මෙම ක්‍රමයට දික්කසාදය ඉතා ඉක්මනින් ලබාගත හැකිය. ඇතැම් උසාවිවල පළමු දිනයේම ලබාගැනීමට හැකියාව ඇත. එවිට මාස 3කට පසු දික්කසාදය නියතය.

 


නෛතික වෙන්වීම
ලිංගික සම්ප්‍රේෂණ රෝග, බීමත්කම, රණ්ඩු සරුවල් හෝ වෙනත් එවැනි හේතු මත විවාහක යුවළක් වෙන්ව සිටීම සුදුසු යැයි අධිකරණයට හැඟුණොත් ඒ සඳහා ඉල්ලීමක් කර ඇතිවිට ලබාදෙයි. මෙයින් අවුරුදු 5කට පසු ලඝු ක්‍රමයට දික්කසාද පදනමක් මත දික්කසාදය ලබාගත හැකිය. එය දෙදෙනාම කැමති නම් සුදුසු ක්‍රමයකි. අවශ්‍ය නම් නැවත එක්විය හැකිය.

 


ලිංගික බෙලහීනත්වය
විවාහයට පෙර පැවැති බලවත් වූ ලිංගික බෙලහීනතාව මෙහිදී අදහස් කෙරේ. මෙය ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම අදාළය. සංවාසය කිරීමට ඇති නොහැකියාව මෙයට බලපායි. තෘප්තිය නොලැබීම හෝ වෙනත් ලිංගික කාරණා මෙයට අදාළ නැත. පිරිමියකුට නම් ලිංගික ප්‍රවේශය කිරීමට නොහැකිවීම වැදගත්ය. එය වෛද්‍ය විද්‍යාවට අනුව ඔප්පු කළ යුතුය. විවාහයෙන් පසු ඇතිවන විවිධ රෝගාබාධ අදාළ නැත.


දික්කසාද නඩුවකදී අදාළ වන්නේ සුව කළ නොහැකි ⁣ලිංගික බෙලහීනත්වයකි. අද වනවිට බොහෝ රෝග සුව කළ හැකිය .බොහෝවිට සමලිංගිකත්වයට කැමති අයද විවාහ වේ. එය සාර්ථක නොවුණද බෙලහීනතාවක් නොවේ. නමුත් ඇය හෝ ඔහු වෙනත් සමලිංගිකයකු සමග සිදුකරන අනාචාරය හසුකර ගැනීමෙන් හෝ ද්වේශ සහගත හෝ අනුමිත ද්වේශ සහගත හැරයාමකට පදනම් කරගත යුතු වේ..


එමෙන්ම සංක්‍රාන්ති ලිංගිකයෙකු නම් නඩුවක් ගොනු කළ හැකිය. අකමැත්ත පිට බලෙන් විවාහ කරවීම, වයස 18ට අඩුවීම, දික්කසාද නොවී විවාහ වීම, සිහිවිකලත්වය හා වෙනත් හෙළි කළ යුතු දේ හෙළි නොකර විවාහවීම නඩුවකට නිමිත්ත වේ.

 


වසර 7ක් වෙනම හිටියොත් 
අවුරුදු 100ක් වෙන් වී සිටියද දික්කසාදය නිකම්ම හිමිවන්නේ නැත. උසාවි යා යුතුමය. අවුරුදු 7ක් වෙන් වී සිටියොත් ලඝු ක්‍රමයට දික්කසාදය ගත හැකිය. එහෙත් දික්කසාද පදනමක් තිබිය යුතුය.

 


සැබෑ මුහුණු එළියට
අපේ රටේ විවාහවන යුවළක් පුහුණු පුරුදු කරගත යුතු කාරණා බොහෝ ඇත. විවාහයේදී දෙදෙනකු එක් අයකු වූවා යැයි කට වචනයට පැවසුවද අවබෝධ කරගත යුත්තේ විවාහ වන්නේ අවුරුදු 20ක් 30ක් වෙනස් සමාජ, අධ්‍යාපන පරිසරයක ජීවත් වූ දෙදෙනකු බවය. ආදරය කරන කාලයේදී අනුගත වී සිටියද විවාහ දිවියට පත්වූ පසු සැබෑ චරිත මතුවෙයි. ගැටුම් ඇතිවන්නේ එවිටය. එකිනෙකාගේ හැඟීම්, හීන හඳුනාගන්නවා නම්, ස්වාධීනත්වයට ගරු කරනවා නම් අන් මත පිළිගන්නවා නම් සැමියා බිරිඳගේත්, බිරිඳ සැමියාගේත් වෙනස්වීම් හඳුනනවා නම් එකට දිවි ගෙවීම පහසුය.


වර්තමානයේ ඇතැම් විවාහ සිදුවන්නේ ධනය, බලය, ජනප්‍රියත්වය පදනම් කරගනිමිනි. එම විවාහ ඉතා කෙටි කලකින් අවසන් වන්නේ එක වහලක් යටට ගිය පසු ඇතිවන විවිධ නොගැළපීම් මතය.

 


බඳින්නේ වෙන්වෙන්න බලාගෙන ද?
බොහෝ රටවල කසඩසබට එදටැඑයැර සංකල්පය ඇති අතර ඔවුන් විවාහ ජීවිතයට එළඹෙන්නේ දෙදෙනා අතර යම් අවබෝධයකින් පසුවය. එසේ විවාහවන පිරිස් අතරද දික්කසාද සිදු වේ. අතීත ලංකාව තුළද මෙම ක්‍රමය පැවැති අතර විවාහ ලියාපදිංචි ක්‍රමය ඇතිවූයේ  ඉංග්‍රීසි පාලන ක්‍රමය තුළය. කසඩසබට එදටැඑයැර සංකල්පය සමාජය විසින් හකුළා තැබුවද නීතිය හකුළා ඇති කාරණයක් නොවේ.


විවාහ වීමේදී පොරොන්දම් ගළපනවාට වඩා ගැළපිය යුත්තේ දෙදෙනාගේ අදහස්ය. මෙම කරුණු කාරණා නිසි ලෙස ගළපාගන්නේනම් කසාද බඳින ඉක්මනින් ම ගෞරවනීය ලෙසවත් වෙන් වීමට සිදු නොවේ.

සුජිත් ප්‍රසංග


 

 

අම්මා නැත්නම් අමරදේව කෙනෙක් නැහැ... Read Previous

අම්මා නැත්නම් අමරදේව කෙනෙක් නැහැ...

ළමා පිටියෙන් හෙළ සිනමාවට ආ  ශ්‍රියානි අමරසේන Read Next

ළමා පිටියෙන් හෙළ සිනමාවට ආ ශ්‍රියානි අමරසේන

Realted Post

Leave a comment