දීර්ඝායුෂ ලැබෙන ත්‍යාගශිලී පුරුද්ද

 

ඔබ තවත් කෙනෙකුට වැදගත්කමක් ඇති දෙයක්, අගයක් ඇති දෙයක් දෙන්නට සූදානම්ද? එසේ නම් එය හඳුන්වන්නේ ත්‍යාගශීලීබව ලෙසයි. යමක් තවත් කෙනෙකු වෙනුවෙන් පරිත්‍යාග කිරීමේදී එම තැනැත්තාගේ අවශ්‍යතාව පිළිබඳ අවබෝධයක් ඔබ තුළ ඇති වෙනවා වගේම එම පුද්ගලයා කෙරෙහි කරුණාවක් ඇති වීම සිදු වෙයි.

 

අදහස් දැක්වීම:  -සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය 
අධ්‍යක්ෂ කාර්යාලයේ, 
ප්‍රජා වෛද්‍ය විශේෂඥ
 
යමුනා එල්ලාවල

ත්‍යාගශීලීබවෙන් සමාජයට වෙන යහපත ගැන බොහෝ දෙනෙකුට අවබෝධයක් ඇතත් එයින් තමන්ගේ කායික හා මානසික යහපැවැත්මට ඇතිවන රුකුල ගැන දැනුවත්බව බොහෝදුරට අඩුය. ස්වභාවයෙන්ම මිනිසා තම පැවැත්ම උදෙසා ආත්මාර්ථකාමීබවක් දක්වයි. එහෙත් පර්යේෂණ මගින් හෙළි වී තිබෙන්නේ ත්‍යාගශීලීබව මිනිසා තුළ කිඳා බැස ඇති ගුණයක් බවයි.


ත්‍යාගශීලීබව බොහෝ විට මුදල්මය හෝ ද්‍රව්‍යමය වශයෙන් දෙනු ලබන දේ හා සම්බන්ධව කතා කළද, ඉන් ඔබ්බට ගොස් තම කාලය, ශ්‍රමය, දැනුම, හැකියාව පමණක් නොව ප්‍රිය වචනය, සිනහව වැනි දේ තුළින්ද තවත් කෙනෙකුට ලබා දිය හැකිය. ප්‍රධාන වශයෙන් ත්‍යාගශීලිත්වයේ විධි දෙකක් දැකිය හැකිය. එනම් ඉලක්ක කර නොගත් ත්‍යාගශීලිත්වය (පුණ්‍යාධාර ලෙස ලබා දෙන දේ) හා ඉලක්ක කර ගත් ත්‍යාගශීලිත්වය (උදව් අවශ්‍ය බව දන්නා නමුත් පෞද්ගලිකවම අප හඳුනන හෝ නොහඳුනන අය වෙත ලබා දෙන දේ) ලෙසය.


ත්‍යාගශීලීවීම මගින් අපට අහිමි වන දෙයට වඩා බොහෝ දේ ලැබෙන බව අධ්‍යයන මගින් පෙන්වා දී ඇත. එය අපගේ ශාරීරික මානසික සෞඛ්‍යය මෙන්ම සමාජයීය යහපැවැත්මට ධනාත්මක ලෙස බලපෑම් ඇති කරයි. කෙනෙකුට උදව් කිරීමේදී ඔබ තුළ ඇති වූ ඒ සුවදායක හා උණුසුම් හැඟීම් ඔබට මතකද? ත්‍යාගය ලබන්නාගේ මුහුණින් අපේ මුහුණට පැතිරෙන සිනහව පමණක් නොව අප සිරුර තුළ රසායනික වෙනස්කම්ද සිදු වෙයි. එනම් ‘සතුටු හෝමෝන’ ශ්‍රාවයවීමට පටන් ගනී. ඒ නිසා ඔබ යම් කෙනෙකුට දෙනු ලබන මුදලේ ප්‍රමාණය, ද්‍රව්‍යවල ප්‍රමාණය නොව එම පුද්ගලයා වෙත අප ලබා දෙන සංවේදීබව වැදගත් වන බව මතක තබාගන්න. 

 


ත්‍යාගශීලීබවෙන් ලැබෙන ශාරීරික ප්‍රයෝජන
* ඔබගේ හදවත නිරෝගී කරයි. රුධිර පීඩනය නියමිත පරාසයේ තබා ගැනීමට උදව් වෙයි.
* ආතතිය දනවන හෝමෝන අඩු කරයි. ඒ නිසා එයින් ශරීරයේ විවිධ පද්ධතිවල ඇතිවන අහිතකර වෙනස්වීම් අඩු කරයි. සුවදායක නින්දකට මඟ පාදයි. 
* ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි. මෙහිදී ත්‍යාග ලබන්නා, පිරිනමන්නා මෙන්ම එම සිදුවීම බලාගෙන සිටින්නා තුළද සෙරටනීන් නම් සතුට දනවන රසායනය ශ්‍රාවය උත්තේජනය වීම සිදුකරයි.
* දිගුකාලීනව ජීවත්වීමට මඟ සලසයි.
* මානසික ආතතිය අඩු කරයි. ඔබටත් ආතතියක් දැනෙන විට තවත් කෙනෙකු වෙත ත්‍යාගශීලීබව දැක්වීම තරමක් දුෂ්කර වුවත්, එවැනි අවස්ථාවලදී වුව හැකි පමණ ත්‍යාගශීලීවීමෙන් තමන්ගේ ආතතිය අඩු කර ගත හැකියි.
* මානසික මට්ටම ඉහළ දමයි.
* තමන් පිළිබඳ යහපත් හැඟීම් ඇති වේ. ආත්ම අභිමානය වැඩිවීම, සුබවාදී ලෙස ජීවිතය දෙස බැලීමට හැකි වීම නිසා තමන්ටම වටිනාකමක් දීමට හැකි වෙයි. තමන්ගේ පරිත්‍යාගශීලී ක්‍රියා නිසා තවත් කෙනෙකු සතුටු වනු දැකීම තුළින්ම තමන්ට තමන් ගැන ඇති වෙන අවතක්සේරු කිරීම්, තමා පිළිබඳ අගය අඩුවීම් වැනි දේ ඉබේම නැති වී යයි.
* විශාදය කාංසාව වැනි මානසික රෝගාබාධ ඇතිවීමේ අවදානම අඩු කරයි.

 


සමාජයීය ප්‍රතිලාභ මොනවාද?
සබඳතා ශක්තිමත් කරයි.
ත්‍යාගශීලීබව අන් අය තුළද පැතිරේ.
අප යම් පුද්ගලයෙකුට දක්වන ත්‍යාගශීලීබව එම පුද්ගලයා විසින් තවත් අය වෙත ලබාදීම නොදැනිම සිදු වේ.

 


ත්‍යාගශීලීි වෙන්නේ කොහොමද? 
* ඔබට උපකාරයක් කළ කෙනෙකුට ස්තූතිවන්ත වීමෙන්
* දුරකථන ඇමතුමක් දී දුක සැප විමසීමෙන්
* අසල්වැසියන්ට උදව් කිරීමෙන්
* යහළුවෙකුගේ නැදෑයෙකුගේ දරුවෙකු බලාගැනීමෙන්
* අධ්‍යාපන කටයුතුවලට උදව් කිරීමෙන්
* ඔබගේ වෙනත් හැකියාවන් මගින් තවත් කෙනෙකුට ප්‍රයෝජනයක් වීමෙන්
* සමාජ කටයුතුවලට ස්වේච්ඡා සහභාගිත්වය ලබා දීමෙන්

 


පුරුදු කරගන්නේ මෙහෙමයි
තවත් කෙනෙකුට දැනෙන ආකාරයේ යමක් දෙන්න. මෙය ද්‍රව්‍යමය දෙයක්වීම අත්‍යවශ්‍ය නැත. අනෙකාගේ දුෂ්කර අවස්ථාවකදී හොඳ සවන් දෙන්නෙකු වෙන්න. එසේත් නැතිනම් කරදරයක් වූ විට එම තැනැත්තා සමග සිට ඔහුට හෝ ඇයට ශක්තියක් වෙන්න.
* ත්‍යාගශීලීවීමෙන් පසු ඔබට ලැබෙන අගය කිරීම පිළිගන්න
* අන් අය ඔබ වෙත දක්වන ත්‍යාගශීලීබව පිළිගන්න
* ඔබට ත්‍යාගශීලී වූවන් අගය කරන්න. 
ත්‍යාගශීලීබව යනු අප තව තවත් දීමට පොලඹවන සැබෑ ත්‍යාගයකි. සෑම දිනකම ත්‍යාගශීලීවීමට සිය ගණනක් අවස්ථා ජීවිතයේ අපට ලබා දෙයි. ඒ නිසා ඔබේත් අන් අයගේත් මානසික යහපැවැත්ම උදෙසා ත්‍යාගශීලීවීමට සිතට ගන්න.

 

සුබෝධිනී පෙරේරා

 

ළමා පිටියෙන් හෙළ සිනමාවට ආ  ශ්‍රියානි අමරසේන Read Previous

ළමා පිටියෙන් හෙළ සිනමාවට ආ ශ්‍රියානි අමරසේන

ළමා පිටියෙන් හෙළ සිනමාවට ආ  ශ්‍රියානි අමරසේන Read Next

ළමා පිටියෙන් හෙළ සිනමාවට ආ ශ්‍රියානි අමරසේන

Realted Post

Leave a comment