පුංචි තැනින් පටන්ගෙන ලොකු පුටුවකට පැමිණි ප්‍රාදේශීය ලේකම්වරිය සජීදා බානු

 

තොටිල්ල පදවන අත ලොව පාලනය කරයි යන කියමන පැරණි ජනවහරේ සුලබව භාවිතා කළේ ගැහැනියට උසස් තනතුරු සඳහා යොමුවීමට යම් සීමා පැනවුණු කාල සීමාවකය. නමුත් අදවනවිට මෙම කියමන සුලබව භාවිතා නොවුණත් කාන්තාව අසුන් ගත් මුල් පුටු සංඛ්‍යාව ප්‍රමාණාත්මක අතින් ඉහළය. එය රටකට අභිමානයකි.


ඇය ද එවැනි ලොකු පුටුවක වාඩිවූ කාන්තාවකි. ආගම, සංස්කෘතිය, සභ්‍යත්වය මෙන්ම ගැහැනුකමද රැකගෙන නොයෙක්විද අභියෝග හමුවේ කටයුතු කරන්නී එම්.එස්.එස්. සජීදා බානුය. ඇය තිරප්පනේ ප්‍රාදේශිය ලේකම්වරියයි. 

 


■ ජීවිතේ පටන්ගන්නෙ කොතනින්ද?
පුංචිම තැනින්. අපේ අම්මයි තාත්තයි මහ ලොකුවට ඉ⁣ගෙන ගත්ත අය නෙමෙයි. තාත්තා රැකියාවට කළේ කඩේක වැඩ කරපු එක. අම්මා ⁣රස්සාවක් කළේ නැහැ. ඒත් නිකන් හිටියේ නැහැ. අපේ ආගමේ, සංස්කෘතියේ තියෙන ප්‍රශ්න එක්ක අම්මට ලොකුවට ඉගෙනගන්න බැරිවුණත් අපිට උගන්වන්න හැම දෙයක්ම කළා. අම්මා සිමෙන්ති බෑග් ඇලෙව්වා. අපි ඒවට උදව් කළා. මොකද ජීවත්වෙන්න ලොකු අරගලයක් අපිට. මගේ පවුල විශාලයි. ගැහැනු ළමයි පහයි, පිරිමි ළමයි තුනයි.

 


■ පාසල් කාලය ගෙවෙන්නෙ..
අපේ ගම කැකිරාව. එක වසරේ සිට 11 වසර දක්වා ඉගෙනගත්තෙ කැකිරාව මුස්ලිම් විදුහලෙන්. දෙමළ මාධ්‍යයෙන් තමයි ඉගෙනගත්තෙ. මම සාමාන්‍ය පෙළ විශිෂ්ට ලෙස සමත්වෙනවා. ඊට පස්සෙ මාතලේ සහිරා විදුහලට එනවා උසස් පෙළ හදාරන්න. මම ගණිත විෂයන් හැදෑරුවෙ. ඇත්තටම ගෙදරින් මිදිලා හුදකලා වුණ නිසාද මන්දා හරියට වැඩ කරන්න ලැබුණෙ නෑ. පන්ති ගියෙත් නෑ. උසස් පෙළ විභාගය ලියන අතරෙම තමයි අපේ අයියා මට ලිපිකරු තරග විභාග අයැදුම් පත ගෙනත් දෙන්නෙ.

 

■ ඊට පස්සෙ...
උසස් පෙළ ඉවරවෙනකොටම මම ලිපිකරු විභාගය පාස් වෙනවා. හරියටම 1993.12.01 මට ගල්නෑව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට පළමු පත්වීම ලැබෙනවා. ඒක තමයි මගේ පළමු රැකියාව. එතකොට ප්‍රාදේශිය ලේකම්වරයා ලෙස' කටයුතු කරන්නෙ එච්.එම්.කේ. හේරත් මහත්තයා.

 


■ අලු‍ත් රැකියාව සුන්දර වුණාද?
ඇත්තටම මම සුන්දර කරගත්තා. හැමෝම උදව් කළා. මොකද පත්වීම ලැබිලා කන්තෝරුවට එද්දි මට කාර්යාලයක් කියන දේ පිළිබඳවවත් අවබෝධයක් තිබුණේ නැහැ. මගේ තනතුර ගැන දන්නෙත් නැහැ. මොකද විශාලම අභියෝගය වුණේ භාෂාව. මොකද මම ඉගෙනගත්තෙ දෙමළ මාධ්‍යයෙන්නෙ. සිංහල කතා කරන්න පුළුවන් වුණාට හරියට රාජකාරි ලිපියක් ලියාගන්න සිංහල දැනුමක් තිබුණෙ නෑ. ඒක අවබෝධ කරගත් ප්‍රාදේශිය ලේකම්වරයා මාව යොමුකළේ ගිණුම් අංශයට. එතැන කිබුණෙ චෙක් ලියන්න, පඩි හදන්න වගේ දේවල්නෙ. ඒවාට භාෂාව ලොකුවට අවශ්‍ය නැති නිසා මම හොඳින් වැඩ ඉගෙනගත්තා. ඒ ඉන්න කාලයේ ඉඩම් අංශය හැර සියලු‍ අංශවල වැඩ කළා. ඉගෙනගනිමින්. ඒකට ඇත්තටම කෘතවේදී විය යුත්තේ ප්‍රා⁣දේශිය ලේකම්වරයා ට තමයි. ඔහු දෙමළ භාෂාව දැන සිටි නිසා මටත් උදව් කළා. ඒ නිසා වෘත්තිය එපාවුණේ නෑ කවදාවත්.
ඒවගේම තමයි මේ කාලයේ අපේ නංගි උසස් පෙළ ලියනවා කලා විෂයන්වලින්. මම නංගිගෙ පොත්වලින් පාඩම් කරලා ආයෙත් උසස් පෙළ කලා විෂයන්වලින් ලියුවා. උසස් ලෙස සමත්වුණා. විශ්ව විද්‍යාලයට යන්න පුළුවන් වුණත් මට හිතුණා රස්සාව කළානම් හොඳයි කියා. මොකද අපි ආර්ථික අතින් ගොඩක් පහළ හිටපු මිනිස්සු. ඒ නිසා රැකියාවේ අවශ්‍යතාව හොඳින්ම දැනුණා.

 


■ දිගටම රාජකාරි කළේ ප්‍රා.ලේකම් කාර්යාලවලද?
නැහැ.පස්සෙ කැකිරාව අධ්‍යාපන කලාප කාර්යාලයට මාරුවීමක් ආවා. විශ්‍රාම වැටුප් පැත්ත බැලු‍වෙ මම. හරියටම කළා ඒක. ඒ කාලෙ තමයි තව යාළුවො දෙන්නෙක් එක්ක පරිපාලන විභාගය ලියන්න හිතුවෙ. එක යාළුවෙක් මගින් හැලු‍ණා. එයා වටින පොත් හැම දෙයක්ම මට දුන්නා. ඒවලින් තමයි පාඩම් කරේ. මේකත් කරලා බලමු කියලා හිතාගෙන මුහුණ දුන්නා. මම පාස්වුණා. ප්‍රතිඵල එද්දි මම වැඩකළේ කැකිරාව ඉංජිනේරු කාර්යාලයේ. මට එක සතුටක් තියෙනවා මාත් එක්ක විභාගය ලියන්න මුල පුරපු අනිත් දෙදෙනා පරිපාලන සේවයේ නැතිවුණත් ලිපිකරු අධි ශ්‍රේණි තනතුරුවල ඉන්නවා.

 


■ ප්‍රාදේශීය ලේකම්වරියක් ලෙස ගමන පටන්ගන්නෙ...
හරියටම 2007 දි තමයි ශ්‍රී ලංකා පරිපාලන සේවය සඳහා එක්වන්නේ. රඹා⁣ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්. මගේ මුල්ම පත්වීම ලැබෙද්දි ගල්නෑවෙ ප්‍රා⁣දේශීය ලේකම්වරයා ලෙස හිටපු හේරත් මහත්තයාම තමයි දිස්ත්‍රික් ලේකම්වරයාලෙස හිටියෙ. 
මේ යුද්දෙ අවසන් කාලෙ. රටේ තත්ත්වය එච්චර හොඳ අතක තිබුණෙත් නෑ. වවුනියාව බස්වල තමයි යන්න තිබුණෙ. හරියට බස් තිබුණෙත් නෑ. දුෂ්කරතා රැසකට මුහුණ දුන්නා ඒ කාලෙ. පස්සෙ ඒ ප්‍රදේශයේම නතර වුණා.ඒ කාලෙ තමයි අනිත් සියලු‍ විභාග සමත්වුණේ. පස්සෙ ඉපලෝගම ගෙදරට කිට්ටු නිසා සහකාර ප්‍රා. ලේකම්වරිය ලෙස වැඩ බාරගෙන ආවා.පස්සෙ ප්‍රා.ලේකම්වරයා ස්ථාන මාරු ලැබුවම ඒ වැඩත් දිගටම බැලු‍වා. ප්‍රාදේශිය ලේකම් තනතුර ලබලා' දවස් දෙකකින් පසුව තමයි මගේ විවාහය සිදුවන්නේ. ඒ 2011 වසරෙදි.

 


■ අභියෝග තිබුණෙ නැද්ද?
මොකද නැත්තෙ. නිවාස සංවර්ධන අධිකාරියෙ නිවාස යෝජනාවකට ඉඩමක් දෙන්න බැලු‍ම්ගල කියන එෛතිහාසික ස්ථානයක් ඩෝසර් කළා කියලා මට සෑහෙන්න ප්‍රශ්න ආවා. හැබැයි එතැන මම වැරදිකාරියක නොවන නිසා නොසැලී හිටියා හැම ගැටලු‍වකදිම. මාධ්‍ය මගින් මට නොයෙක්විද⁣ චෝදනා කළා. ඇත්තටම ප්‍රදේශිය ලේකම්වරිය ලෙස එම සිද්ධියේදි මගේ වගකීම ඉඩම' නිරවුල් කර පවරාදීමයි. ඒ අදාළ මූලික පියවර සිදුකරමින් ඉන්නකොට තමයි ඒ නිවාස ව්‍යාපෘතිය ඇරඹුවේ.

 


■ ඇයි ඒ තරම් දුරට එය පැනනැගුණෙ.
මම මුස්ලිම් ජාතික කාන්තාවක් නිසා. මම අදටත් ඒක කියනවා. ගොඩක් දෙනා බැලු‍වෙ මගේ ජාතිය පිටින් දාලා ජාතිවාදය අවුලු‍වන්න. මට පහර ගැහුවෙ ඒකයි. මාධ්‍යය වුණත් ඒකයි කළේ. එකම දේ සති ගණන් ඇදගෙන ගියා. ඔය ගැටලු‍ව වෙන තැනක වුණානම් ගොඩක් අයට එක සිද්ධියක් පමණයි. නමුත් සිදුවුණේ මුස්ලිම් කාන්තාවක් ප්‍රදේශිය ලේකම්වරිය නිසා ජාතිවාදය අවුස්සන්න. මුස්ලිම් ගමක් හදන්න යනවා කියා බොරු ප්‍රචාර ගෙන ගියා. මේ සිද්ධිය නිසා තැන් කිහිපයකටම ස්ථාන මාරු ලැබුණා. හැබැයි පරීක්ෂණ පවත්වපු නිලධාරීන් පිළිගත්තා මම නිවැරදියි කියා.


මේ සිද්ධිය වෙලා මට අභියෝග එල්ල වූ වෙලාවෙ මගේ නිලධාරීන් 98%ක් පමණ මගේ නිල නිවෙස ළඟට ආවා. ඉහළ නිලධාරීන් ආවා. හිටපු දිසාපති වන්නිනායක මහත්තයා පවා ආවා. ඔහු සිදුවීම තේරුම් ගැනීමම හයියක් වුණා. පවුලෙ අය, නෑදෑයො, අසල්වාසින් ළඟින් සිටියා. ඔවුන් දන්නවා මම කවුද කියා. මම ඒ හැම දෙයක්ම ජය ගත්තා. ඒ නිවැරදි බව නිසා තමයි අදත් තිරප්පනේ ප්‍රාදේශිය ලේකම්වරිය ලෙස කටයුතු කරන්නෙ.

 


■ වැඩිපුරම ගැටෙන්නෙ ජනතාව එක්කමද?
අපොයි ඔව්. ඔවුන්ගෙ දුක හඳුනගන්න ඕන. අපි පුංචි තැන්වලින් ආව උදවියනෙ.සඳුදා මහජන දිනේ දවසට උදේ මේසෙ ගාව වාඩිවුණාම හවස් වෙනකම් ෆෝන් එකවත් අල්ලන්න වෙලාවක් නෑ. ඒ තරම් ප්‍රශ්න අරන් මිනිස්සු එනවා. මේවා ගොවි ජනපදනෙ. ගොවි ගැටලු‍, අඟහිඟකම්, සමාජ ප්‍රශ්න කෙළවරක් නෑ. ඒ හැම දේකටම මොකක්හරි උත්තරයක් අපි දිය යුතුයි. ඔවුන්ගේ ජීවිතයට වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි.

 


■ ඔබ මේ ගැටලු‍ සඳහා යම් පියවරක් අරගෙන තිබෙනවාද?
ඔව්. හැබැයි මිනිස්සු හිතන් ඉන්නෙ රජය විසින් ඔවුන්ට හැමදාම ජීවත්වෙන්න මොනවාහරිම දෙයක් දිය යුතුයි කියා. මම ඒකට විරුද්ධයි. ගොඩක් අය එන්නෙ සමෘද්ධිය ඉල්ලන්. මේ කාලෙ හාල් බෙදනවා. ඒක දුන්නෙ නෑ කියලා එනවා. දෙයක් දුන්නට කමක් නෑ. හැබැයි හැමදාම බලාපොරොත්තු වෙන්න නරකයි. ජීවිත්වෙන්න මොනතරම් ස්වයං රැකියා තියෙනවද? මම හැම වෙලාවෙම ඒ සම්බන්ධව කියනවා.⁣ බොහෝ අය අදාළ තැන්වලට යොමුකරනවා.


මේ ප්‍රදේශවල මිනිස්සුන්ට අක්කර ගණන් ඉඩම් තිබුණත් ඒකෙන් ප්‍රයෝජන ගන්නෙ ටික දෙනයි. මේ ළඟදි තරුණ ජෝඩුවක් ආවා දරුවකුත් අරගෙන හැමදාම කුලී වැඩ නෑ සමෘද්ධිය දෙන්න කියලා. ඉතින් ඒක කරන්න පුළුවන් ද? ඇයි මේ අයට කුලී වැඩට අමතරව මොනයත්ම කරන්න බැරි. ගොඩක් අය බලන්නේ රජයෙන් යැපෙන්නමයි.

 


■ කාන්තාවක් ඉහළ පුටුවක ඉන්නකොට පිරිමින්ගෙන් කෙනෙහිලිනම් ඇත්තෙම නැද්ද?
තාම නෑ. එහෙම දැනිලත් නෑ. ගොඩක් පිරිමි එක්ක තමයි හරිහරියට වැඩ කරන්නෙ. හැමෝම සහයෝගය දෙනවා. වචනයකින්වත් වැරැද්දක් නෑ. ග්‍රාම නිලධාරීන්, ක්ශේත්‍ර නිලධාරීන් වගේම වෙනත් අංශවලත්' පිරිමි ඉන්නවා. අපි සාකච්ඡා කරලා ස⁣හයෝගයෙන් වැඩ කරනවා.

 


■ ගෙදර තත්ත්වය කොහොමද?
මගේ මහත්තයා විදුහල්පතිවරයෙක්. පුතාලා දෙන්නෙක් ඉන්නවා. ඇත්තටම මුස්ලිම් කාන්තාවකට අපේ සංස්කෘතිය ඇතුළේ වගේම සමාජය ඇතුළෙත් තියෙන්නෙ සීමිත ඉඩක්. හරියට තනියම ගමනක් යන්නවත් බැහැනෙ. නමුත් මගේ මහත්තයා ඒ හැම දෙයක්ම වගේම මගේ රාජකාරියත් තේරුම්ගෙන කටයුතු කරන ස්වාමියෙක්. ඔහු මට වෙලාවක් අවේලාවක් නැතිව රාජකාරි ගමන් සඳහා ඉඩ හදා තිබෙනවා. ඒ නිසා මමත් අනිත් ප්‍රා⁣දේශිය ලේකම්වරුන් වගේම හැමදේම කරනවා. ඒ සහයෝගය තමයි මේ තරම් දුර අරන් ආවෙ.
ඇත්තටම මේ රැකියාව වෙලාවක් අවේලාවක් නැති එකක්. ගොඩක් වෙලාවට ගෙදර ඉඳගෙනත් වැඩ කරනවා. කවදාවත් ඒ දේවල්වලටත් දොසක් නැහැ. ඒ අතින් මම හරිම වාසනාවන්ත බිරිඳක්. මවක්.

 


■ මේ ජීවිතේ ආයෙත් හැරිලා බැලු‍වොත්...
පුදුම සතුටක් තියෙන්නෙ.අපේ අම්මයි තාත්තායි අපිව මේ තැන්වලට ගේන්න පුදුම දුකක් වින්දා. එදා අපෙ අම්මත් තාත්තා ගේන සොච්චමෙන් විතරක්' යැපුණානම් අපි අද කොහේද කියලා හිතාගන්න බෑ. අද ලොකු අයියා විදුහල්පතිවරයෙක්. අක්කලා දෙන්නයි නංගියි ගුරු වෘත්තියේ. අනිත් නංගි කළමනාකරණ සහකාරීවරියක්. මල්ලි පෞද්ගලික ආයතනයක ඉහළ තනතුරක. ඒ අතරේ පොඩි අයියා ව්‍යාපාරිකයෙක්. එයා' සාමාන්‍ය පෙළින් නතර වෙලා වින්කලයක් දාගෙන අපි හැමෝටම ඉගැන්නුවා. ලොකු අයියට ගුරු පත්වීම ලැබුණෙ මම උසස් පෙළ කරද්දි ඒ හැම සතයක්ම වියදම් කරේ මට. ඒ ගෞරවය, ආදරය මැරෙනකම්ම හිතේ තියේවි.

සාකච්ඡා කළේ
සුජිත් ප්‍රසංග


 

පාරට බැස්සම ජනප්‍රියත්වය තේරෙනවා - විශ්ව කොඩිකාර Read Previous

පාරට බැස්සම ජනප්‍රියත්වය තේරෙනවා - විශ්ව කොඩිකාර

ඔන්න Travel  කරන්න අලුත් ගමනාන්ත 49ක් Read Next

ඔන්න Travel කරන්න අලුත් ගමනාන්ත 49ක්

Realted Post

Leave a comment