හදි හූනියම් වලට මිනී ඔළු විකුණන කල්ලියක්

සොහොන් පිට්ටනිවලට මහ රෑ රිංගා සොහොන් ගැබ් හාරා ඒවායේ මිහිදන් කර ඇති අයගේ හිස්  කබල් ගලවාගෙන  යෑමේ සිද්ධීන් ගණනාවක් පසුගිය කාලයේ වරින්වර දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ම වාර්තා විය.
මිනිස් හිස්කබල්වලට ඉහළ ඉල්ලුමක් ඇත්තේ ඒවා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කිරීමට, හදි හූනියම් කිරීමට ගන්නා නිසාය.


අවුරුදු 103 ක් ආයු විඳ මියගිය කාන්තාවගේ හිස් කබල ගලවාගෙන ගොස් තිබුණේ මහව ප්‍රදේශයේ සුසාන භූමියක මිහිදන් කර තිබියදී ය. පොලීසිය පවසන්නේ හදි හූනියම් කිරීමට මෙය ගලවාගෙන ගොස් ඇති බව ය.
මෙම කාන්තාවගේ හිස් කබල ගලවාගෙන යෑමට සම්බන්ධබව කියන තරුණයන් තිදෙනෙකු පසුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.


මීරිගම නාල්ල කන්දෙපොල විහාරස්ථානය අසල කාණුවක තිබී මිනිස් හිස් කබලක් පොලිසිය සොයා ගනු ලැබුවේ පසුගිය සතියේ ය.


ගුරුකම් කටයුත්තක් සඳහා යොදා ගැනීමෙන් පසු මෙම හිස් කබල විහාරස්ථානය අසල කානුවේ කිසිවකු විසින් දමා යන්නට ඇති බවට පොලීසිය සැක පහළ කරයි.


ගලේවෙල තෙන්නකෝන් වත්ත සුසාන භූමියේ මිහිදන් කර තිබූ වයෝවෘද්ධ කාන්තාවගේ හිස් කබලක් ගලවාගෙන ගොස් තිබුණේද මේ මෑතකදී ය.


දඬු යාය සිංහාර වැව් තාවුල්ලේ විදුලි පහන් කණුවක් යට තිබී මිනිස් හිස් කබලක් සොයාගෙන තිබිණි.


වැව් තාවුල්ලේ තිබී සොයා ගත් මෙම මිනිස් හිස් කබල තෙන්නකෝන් වත්ත ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියේ මිහිදන් කර තිබියදී ගලවාගෙන ගිය වයෝවෘද්ධ කාන්තාවට අයත්  හිස්කබල බවට පොලිසිය අනුමාන කරයි.


ගුරුකම් කටයුත්තක් සඳහා යොදා ගැනීමෙන් අනතුරුව මෙම හිස් කබල වැව් තාවුල්ල ළඟ දමා යන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරයි.


පණ පිටින් සිටින මිනිසුන්ට වඩා මියගිය මිනිස්සු බලවත් යැයි සිතන මියගිය අයෙකුට ජීවත්ව සිටින කෙනෙකුට බලපෑම් කිරීමට හැකියාවක් ඇතැයි යන විශ්වාසය සමාජය තුළ පවතින්නේ චිරාත් කාලයක සිට ය.
ඒ වගේම මිය ගිය කෙනෙකුගේ හිසකෙස්, හිස්කබල්වලට ආදාහනාගාරයක දැවී ගොස් ඉතිරිවන  මිනී අළුවලට පවා ජීවත්ව සිටින කෙනකුට ලොකු බලපෑමක්, කරදරයක් හෝ හිරිහැරයක් සිදු කිරීමට හැකියාවක් තිබෙන බව සිතන්නෝ වර්තමානයේ ද බහුලව සිටිති.


මේ විශ්වාසය පවතින තාක් කල් මිනිස් හිස්කබල් හා මිනී අළුවලට හොඳ ඉල්ලුමක් වටිනාකමක් පවතිනවා ඇත.

 

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ 
ජ්‍යෙෂ්ඨ වෛද්‍ය 
ජනක ජයසූරිය

කාට හෝ විපතක් කිරීමට මිනී අළුවලට බලයක් ඇතැයි විශ්වාස කරන ඇතැම්හු සුසාන භූමි මුර කරන ඇතමුන්ට මුදලක් මීට මොළවා මිනී අළු ටිකක් ඉල්ලාගෙන යන අවස්ථාද නැතිවා නොවේ.


නියෝජ්‍ය පොලිස්පති පී. කේ. පෙරේරා මහතා කළුතර දිසා භාරව සිටි සමයේ බුලත්සිංහල පොලිසියට කාන්තාවක් තමාගේ පියාගේ සොහොන් ගැබ හාරා හිස් කබල රැගෙන ගොස් ඇති බව  බුලත්සිංහල පොලිසියට පැමිණිලි කළාය.


නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ එවකට ස්ථානාධිපතිවරයා ලෙස සිටි වර්තමානයේ බම්බලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වා සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවේ මෙම මිනිස් හිස් කබල  රැගෙන යෑම සම්බන්ධයෙනි.


අත්අඩංගුවට ගත් මේ පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු ගේ බිරිඳ දරු දෙදෙනා ද රැගෙන ඔහු අතහැර ගොස් ඇත්තේ පවුල් ආරවුලක් දුරදිග යෑම හේතුවෙනි.


බිරිඳ සහ දරු දෙදෙනා ඇයගේ මහ ගෙදරට ගිය නිසා ඔහු කිහිප අවස්ථාවක්ම බිරිඳ සොයා ගොස් නැවත පැමිණෙන ලෙස ඇවිටිලි කර ඇතත් ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.


බිරිඳ සහ දරු දෙදෙනා නොමැතිව නිවසේ හුදෙකලාව සිටීමට නොහැකි තැන ඔහු කට්ටඩියෙක් හමුවීමට ගොස් ඇත්තේ ගුරුකමක් කර හෝ බිරිඳ සහ දරු දෙදෙනා ආපසු  තමා ළඟට ගෙන්වා දෙන ලෙස ඉල්ලමිනි.


“ඔහු කිව්වා ඒක සුළු වැඩක් කියා පරණ මිනිස් හිස් කබලක් හොයාගෙන එන ලෙස දැනුම් දුන්නා. මගේ යහළුවෙකුට මේ බව කිව්වාම ඔහු මාත් එක්ක තනියම සොහොන්  ගැබක් හාරා මිනිස් හිස් කබලක් රැගෙන එන්න යන්න  කැමැත්ත පළ කළා. ඊට පස්සේ අපි දෙදෙනා ගිහින් සොහොන් ගැබ හාරා මිනිස් හිස් කබල රැගෙන ඇවිත් වශී ගුරුකම කරන තෙක් මගේ ගෙවත්තේ කොනක වළ දැම්මා. කෙම්මුර දවසක තමයි මෙම වශී ගුරුකම කරන්න සූදානම් කරගෙන තිබුණේ. ඒ දවස උදාවෙන තෙක් තමයි මිනිස් හිස් කබල මගේ ගෙවත්තේ සුරක්ෂිත ලෙස වළ දැම්මේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා පොලිසියට පාපොච්චාරණය කළේ ය.
ඒ අනුව පොලිස් කණ්ඩායමක් ඔහුගේ ගෙවත්ත පරීක්ෂා කර බලා වළ දමා තිබූ මිනිස් හිස් කබල ද සොයා ගනු ලැබීය.


හම්බන්තොට  මහනගර බල ප්‍රදේශයේ පොදු සුසාන භූමි 12ක මිහිදන් කර තිබූ මිනී  වළවල් දහයක් පමණ හාරා මිනී ඔළු රැගෙන ගොස් තිබුණේ මීට වසර ගණනාවකට ඉහතදී ය.


තඹුත්තේගම ප්‍රදේශයේ සොහොන් පිටියක භූමදානය කර තිබූ තරුණියකගේ සිරුරක් ගොඩගෙන ඇගේ රහස් ප්‍රදේශය කපාගෙන ගොස් තිබුණේද ඇය භූමදානය කළ දවසේම රාත්‍රී කාලයේදී ය. මෙම සිද්ධිය වී තිබුණේද මීට වසර ගණනාවකට ඉහත දීය.


මිනිස් හිස් කබලකට  මන්ත්‍ර ජප කිරීමෙන්, මියගිය අයෙකුගෙන් ලබාගත් හිසකෙස්වලින්, මිනී අළුවලින් ජීවත්ව සිටින කෙනෙකුට බලපෑමක් කිරීම හෝ විනාශයක් කිරීමට හැකියාවක් ඇත්ද යන්න සම්බන්ධයෙන් විද්‍යාත්මක පසුබිම දැනගැනීමට අප කතා කළේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ජනක ජයසූරිය මහතාට ය.


ඔහු කාලයක් තිස්සේ මේ පිළිබඳ පර්යේෂණවල ද නිරතව සිටියි. 


“මිනිස් හිස් කබලකට මන්ත්‍ර මැතිරීමෙන් හෝ මියගිය පුද්ගලයෙකුගේ  හිසකෙස්වලින් හෝ මිනී අළුවලින් ජීවත්ව සිටින කිසිම කෙනෙකුට කිසිම ආකාරයක කරදරයක්, හිරිහැරයක් කිරීමට කොහෙත්ම නොහැකිබව අවධාරණයෙන් ම පැවසිය යුතුයි. ඒ වගේම මිනිස් හිස් කබලකට මන්ත්‍ර මතුරා හැර ගිය අයෙකු නැවත ගෙන්වා ගන්නත් බැහැ. එසේ සිතීමත් මහා මුළාවක්.


මිනිස් හිස් කබලක් කියන්නේ අජීවී වස්තුවක්. මරණින් පසු හිස් කබලට කිසිම ප්‍රාණයක් නැහැ. අද්භූත ශක්තියක් හිස් කබලකට ඇතැයි කියා විශ්වාස කිරීම කිසිදු විද්්‍යාත්මක පදනමක් නැති මිත්‍යා විශ්වාසයක් යැයිද ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ජනක ජයසූරිය මහතා පවසයි.


කළුතර නාගොඩ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය අමිත් බස්නායක මහතා මේ ගැන පළ කළේ මෙවැනි අදහසකි.


කය ලෙඩ වුණාම මනස ලෙඩ වෙනවා. මනස ලෙඩ වුණාම කය ලෙඩ වෙනවා. ඒ නිසා කය සහ මනස කියා වෙන් කරලා ගන්න පුළුවන්කමක් නැහැ.  තමන්ට කවුරුන් හෝ කොඩිවිනයක් එහෙමත් නැත්නම් හූනියමක් කරලා කියා දැන ගත්තොත් එතැන් පටන්  ඔහු හෝ ඇය ඒ ගැන නිතරම සිතන්න පටන් ගන්නවා. රෑට නින්දට ගියත් ඒ ගැන මතක් වෙනවා. මේ නිසාම මනස ලෙඩවෙන්න පටන් ගන්නවා. තමන්ගේ එදිනෙදා කටයුතු නිරවුල්ව කරගෙන යන්න අපහසු වෙනවා. මට හූනියමක් කොඩිවිනයක් කරලා කියලා හිතේ ඇතිවෙන බලපෑම නිසා කෙනෙක් රෝගී විය හැකියි. එය කොඩිවිනය හෝ හූනියමේ බලපෑම නිසා කිසිසේත් සිදු වන තත්වයක් නොවෙයි. මානසික කැලඹීම නිසා සිදුවන්නක්. මිනී ඔළුවකට මිනී අළු ටිකකට ජීවත්ව සිටින්නන්ට කිසිම බලපෑමක්, විපතක් කරන්න කිසිදු හැකියාවක් කොහෙත්ම නැහැ. මේ වගේ දේවල් පසුපස යාම අනුවණකමක්. මේ වගේ දේවල්වලට බියවීම නිසා රෝගී වූ අය අපේ මානසික රෝග සායනවලට ප්‍රතිකාර ගන්න එනවා. ඔවුන්ට අපි ප්‍රතිකාර කර සුව කර තිබෙනවා.” යැයිද පැවසීය. 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

 

වැටෙන හිසකෙස්  නවත්තන විදිහ Read Previous

වැටෙන හිසකෙස් නවත්තන විදිහ

ඇසේ ලෙඩ පෙන්වන රතු පාට කඳුළු Read Next

ඇසේ ලෙඩ පෙන්වන රතු පාට කඳුළු

Realted Post

Leave a comment