හෙළ බොදු ගීතයේ ඉස්ලාමීය සළකුණ

බොදුනුවන්ගේ මහා මංගල්‍යය වශයෙන් සැළකෙන වෙසක් හා පොසොන් සමය අසිරිමත්ව අප හට දැණෙනුයේ අප විසින් සිදු කරනු ලබන ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් තුළින් ලබන්නාවු සතුට තුළිනි.

ඒ අනුව බෞද්ධ පුනරුදයෙන් ඇති වෙන දන් සැල් තොරණ හා කූඩු බැඳීම් ආදිය රට පුරා විසිතුරු බවකින් පෙළ ගැසෙන්නේ.. එකිනෙකා පරයන තරඟයක් හැටියට නොව එකිනෙකා එක්ව කරන ආමිසපුජාවන් වශයෙනි. මෙසේ රට පුරා අතීතයේත් වර්තමානයේත් ඉදිරි අනාගතයේත් මෙවැනි පිංකම් සිදු කරනු ලබන සෑම ස්ථානයකම අපට ඇසෙන්නේ එකම හඬකි.

ඒ “අල්හාජ් මොහිදීන් බෙග්” නම් වූ .. අසහාය ගායකයාගේ කටහඬින් ගැයෙන බොදු බැති ගීතයන්ය.

හෙළ ගීත අතරට සිය ගීත 5000 ක් පමණ තිළිණ කර ඇති අතර එයින් අඩකට ආසන්න ප්‍රමාණයක් බොදු බැති ගීතම වන්නේය.

බුදුන් වහන්සේ උපන් භාරත දේශයේදී 1918 දෙසැම්බර් 05 වැනිදා සනිටුහන් තබමින් එතුමාණන් උපත ලබා තිබිම..බොදු ගීතයේ පැවැත්මට හා රැකවරණයට මුර දේවතාවකු පැමිණියා සේය’

පැරණි පර්සියානු භාෂාවේ අනුව රාජකීයයා යන අරුත දෙමින් “බෙග් ” යන පෙලපත පැවතගෙන ඇති අතර මොහීදීන් බෙග් විය.

 

“අල්හාජ් ” නාමය ලැබීම

1987 වර්ෂයේ පකිස්ථානු ජනාධිපති “සියාඋල්හක් ” ලංකාවේ සංචාරයකට පැමිණි අවස්ථාවේ එතුමා වෙනුවෙන් උර්දු බසින් ගීත ගායනා කිරීම සඳහා උත්සවයේ සංවිධායකයින් කළ ආරාධනාවට එක්ව එය ඉටු කළේය.

එම ගීත ජනාධිපතිවරයාගේ සිත ඇඳ බැඳ ගත් අතර ජනාධිපතිවරයා ළගට පැමිණ බෙග් සමඟ මොහොතක් ඔවුන්ගේ භාෂාවෙන් කතා බහ කළේය. එහි ප්‍රථිඑලයක් වුයේ.. පකිස්ථානු රජයේ අනුග්‍රහයෙන් “මක්කම” වන්දනාවට අවස්ථාව ලබා දීමයි..එසේ මක්කම වන්දනා කිරිමෙන් අනතුරුව ලැබෙන “අල්හාජ්” කොටස සිය නාමයට එකතුව “අල්හාජ් මොහිදීන් බෙග්” වන්නේ එතැන් සිටය.

 

බොදු ගීතයේ ඉස්ලාමීය සළකුණ

බුද්ධං සරණං ගජ්ජාමි..., මේ ලෝක තලේ සුරකින ශ්‍රී විෂ්ණු දේවනේ..., මිනිසාමයි ලොව දෙවියන් වන්නේ..., කෝ සැපතා මේ සංසාරේ.., සකළ සතම බොදු බැතියෙන්..., බුදුන්ගේ අමා ධර්මේ...., පාපේ ගැලීලා..., ගිරි හෙල් මුදුනේ..., කවුද මේ ලෝකේ මරුවා පැරදුවේ.., ලෝ ජිවිතේ විකාරේ..., සම්මා සම්බුදු වු පූජිත..., සුවදේ මට සීතල සුළඟ පවා....

ආදි ගීතයන් මෙතුමාණන් ගැයුවේ.. එකදු සිංහල වචනයකුදු නොදැනය. මෙහි සියළු වචන ඔහුගේ උර්දු බසින් ලියාගත් අතර ඇතැම් වචන උච්චාරණයට පැය ගණනක් වෙහෙස වූ බවද කියැවේ.

බුද්ධං සරණං ගච්චාමි ගීතය කරුණාරත්න අබේසේකරයන් විසින් රචනා කොට අංගුලිමාල චිත්‍රපටයේ ඇති රූපරාමු සඳහා එහි පද හා කොතරම් දුරට ගැලපේද යන්න.. දෙතොල් සම පද පරීක්ෂාවකද නිරත වී තිබණි..

කැඩපතක් ඉදිරියේ එම වචන කියවා ..නිතර ඒ සඳහා පෙර පුහුණුවක් ලැබුවේය.. ඒ අන් කවර කරුණක් නිසාවද නොව.. යම් නිර්මාණයක් කිරීමේදී මෙතුමා තුළ තිබූ කැපවීමේ අගය නිසාය.

සිංහල හඬකවා සැකසූ මෙම සිනමා පටයේ මෙම ගීතය පසුබිම් දර්ශන වල පමණක් ගැයෙන ගීතයක් බව පසුව දැන ගන්නට ලැබුවද පුහුණු වූ ක්‍රමය අමතක නොකොට එහි අගය එලෙසින්ම තැබුවේය. අදටත් ඒ ගීතයේ ඇසෙද්දී ඇතිවන බුද්ධාලම්භන ප්‍රීතිය දැඩිව සිතට දැනෙන්නේ එවන් කැපවීමක් ගීතය නිර්මාණය කිරීමේදි තිබූ නිසාය.

 

බෙග් ගේ අගේ ..

කොතෙක් ගි ගයා තිබුවත් බෙග් නාමයේ අගයේ අයිතිය ශ්‍රී ලංකිකයින්ට කොතරම් අගයද යන්න එවකට සිටි බලධාරින්ට නිනව්වක් නැති බව වටහා ගත් කරුණාරත්න අබේසේකරයන් 2500 සම්බුද්ධ ජයන්ති සැමරුම් ගීතය වූ “දෙදහස් පන්සිය බුද්ධ ජයන්තිය බැබළේවා ලංකා..” ඉදිරිපත් කළ මෙතුමාණන්ට එවකට අග්‍රාමාත්‍යය වරයාගෙන් අපුරු ත්‍යාගයක් ඉල්ලා දුන්නේය..එනම්.. ඉන්දියාවේ සේලම් ග්‍රාමයේ උපන් පර්සියානු පරපුරකින් පැවත එන ඉස්ලාම් ජාතික මේ සොඳුරු මිනිසාට ශ්‍රී ලාංකික පුරවැසි භාවය ලබා දිමයි..

අනතුරුව කලෙක මේ සොඳුරු මිනිසාට පකිස්ථානු පුරවැසිභාවය ප්‍රධානය කිරිමට එරට රජය කටයුතු කළද, ඒ වන විටත් හෙළදීපයේ බොදුනුවන් තමා කෙරෙහි තිබූ ආදරය බැඳියාව ඔහුට ඊට වඩා සම්පතක් වූයේය.

 

නෑ....කෝ..වෙයි

මෙතුමාණන් කැලෑහඳ චිත්‍රපටය වෙනුවෙන් ගැයූ එස්. එස්. වේදා සංගීතවත් කළ කෝ සැපතා මේ සංසාරේ දුක කෙළවරවේ නිර්වානේ...ගීතය රචනා කළ හර්බට් එම්. සෙනවිරත්න මහතා මෙහි මුල් පද ලියා තිබුයේ නෑ සැපතා මේ සංසාරේ යනුවෙනි..එය සිය උර්දු බසින් ලියා ශබ්ද කිරිමේදී නියම අර්ථය නැතිවන බව නිශ්පාදකයින් කියන්නට වුයේය.. මෙහිදි කිසිම පැකීලිමකින් තොරව මෙතුමා කිහිප අවස්ථාවක් ම උත්සහය අත් නොහැර නිශපාදකයින්ගේ අරමුණු ඉටු කරන්නට උත්සහයක් ගත්තේය.. එය මහත් වෙහෙසකර තත්ත්වයක් බව තේරුම් ගත් නිශ්පාදක කණ්ඩායම ඊට පිලියමක් වශයෙන් ගීතයේ නෑ වචනය වෙනුවට කෝ වචනය එක් කොට ලියා දුන්නේය.. එය එක් වරම පටිගත කිරීමට හැකි විය..

පියඹා ආවා ප්‍රේම කුරුල්ලා සප්න පුරේ හී කූඩු තනන්නටා.. එහි සප්න පුරේ රත්න පුරේ යනුවෙන් කියැවෙනුයේ ඒ උච්චාරණය අනුවය..

මෙසේ නැවත වෙනස් කළ නොහැකි අවස්ථාවක..ඇතැම් ගීත ඔහුට කියැවෙන ශබ්දය ගීතයේ අළංකාරය පිණිසම තබා කටයුතු කිරිමටද ඇතැම් නිශ්පාදකයින් කටයුත කර තිබුණි.

 

හිටිය නම්... 104 යි

පසුගිය වසරේ දෙසැම්බර් 05 වැනිදාට අල්හාජ් මොහිදීන් බෙග් මහතාගේ ඒකසිය හතර වැනි ජන්ම දිනය ද ගෙවි ගියේය..එදා ඔහු පළමුවරට ගැයූ ගීතයේ සිට.. අද වන තුරුත් ඔහුට ඇති ජනප්‍රියතාවය කිසිදු අඩුවක් ද නැත තවත් ඉදිරියට ඒ ගීත අපට සජීවව ඇසෙන්නට ඉඩ අවකාෂ ඇති බව අපි හොඳින් දනිමු ඒ ඉෂාක් බෙග් නිසාය...

සිය පියාණන්ගේ මතකය ඔහු අවදි කළේ මෙසේය.

අපි ජීවත් වුනේ මරදානේ.. මම උපන් නිවස තිබුනෙත් මරදානේ..අපි අට දෙනාම තාත්තා අම්මා හැමෝටම ඉන්න තිබුනේ පුංචි ගෙයක්. හැමෝම බිමට පැදුරු එලාගෙන එකට නිදා ගත්තේ..

තාත්තා කවදාවත් අපි නැතිව තනියම කොහේවත් ඉඳලා නෑ ..

මම පාසල් ගියේ මරදානේ සහිරා විදුහලට..මගේ මිතුරන් වුණේ කොළඹ ආනන්ද නාලන්ද රෝයල් ඉසිපතන ආදි විදුහල් වල සිංහල බෞද්ධ අය මොකද අපි හැමෝම ක්‍රිකට් කණ්ඩායමට එකට පුහුණු වෙච්ච අය.. අර්ජුන රණතුංග අරවින්ද සිල්වා රොෂාන් මහනාම අපි හැමෝම එකට හිටිය යාළුවෝ..

1996 ලෝක ශූරතාවය වෙනුවෙන් සෙල්ලම් කරපු කණ්ඩායමට මමත් ඉන්න තිබුණා..ඒ ආසන්න කාලය වෙද්දී මගේ අපේ තාත්තා අසනීප වුණා. ඇත්තටම හුඟක් ආර්ථික අපහසුකම් අපට තිබුණා. මට සිදු වුණා සංගීතය පැත්තට යොමු වෙලා ගෙදර අඩුපාඩුකම් සම්පූර්ණ කිරීමටත් දායක වෙන්න.

 

තාත්තාගේ අවසාන අවවාදය

තාත්තා ඇස් පෙනිම අඩු නිසා ඇහැට කාච බද්ධ කිරීමේ ශල්‍යකර්මයට රෝහලේ හිටියේ..පසුදා පාන්දර පහට ශල්‍යකර්මය තිබුණේ.. මම තාත්තා ලඟ නැවතිලා හිටියේ එහෙම ඉඳලා හවස මල්ලි එන නිසා ගෙදර යද්දී රෝහලේ දොරටුව ලඟ ඉඳන් තාත්තා දිහා බැළුවා..තාත්තා හරි දුකෙන් වගේ ඉන්නවා මට පෙනුණා.. මම තාත්තා දිහා බලා ඉන්න කොට මෙහෙ වරෙන් කියලා මට ආයෙත් කතා කළා.. මම තාත්තා ළගට ගියා..

 

මොකද උඹ අඬනවද?

මගේ ඇස් දෙකේ කඳුළු මම මොකුත් නොකියා හිටියා..ඒත් එක්කම එයා මාව බදා ගත්තා..බදාගෙන හුඟක් ඇඬුවා..

පුතේ උඹට මොනවා හරි දැණෙනවද? කියලා ඇහුවා..මම කිව්වා තාත්තේ අද තාත්තා ගෙදර නැති නිසා මට දුකයි කියලා..

තාත්තා ඒ සැරේ මාව සනසලා මට කිව්වා පුතේ මම නැති වුණත් උඹ මේ ටික හොඳට හිතේ තියා ගනින් කියලා..තාත්තා කිව්වා

මට කියලා මේ රටේ කොතැනකවත් උඹලා වෙනුවෙන් තියලා යන්න වත්කමක් නෑ පුතේ මට උඹලට ඉතුරු කරලා යන්න තියෙන්නේ අවුරුදු හැටක් පුරාම මම කරපු මේ ගීත ටික විතරයි..මට රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් කිසිම දෙයක් නෑ..මට බයයි මම නැති වෙච්ච දාක උඹලා හිඟමනට වැටෙයිද කියලා ඒකයි මට තියෙන බය..

ඒත් පුතේ උඹ එක දෙයක් හිතේ තියා ගනින් මොනවා නැති වුණත් මේ රටේ අන්තිම සිංහල මනුස්සයත් ඉන්නතුරු උඹලා බඩගින්නේ ඉන්නේ නැහැ. ඒ විශ්වාසය මම උඹලට තියලා යනවා.

මට තාත්තා කිව්ව ඒ වචන ටිකේ ඇත්ත තේරුම සංගීත ක්ෂ්‍රේත්‍රයට ආවාට පස්සේ මට දැණුනා. මිනිස්සු මට ආදරය කරන්න පටන් ගත්තා.

“මිනිස්සුන්ගේ ඒ ආදරය තුළින් මට තාත්තව පෙණුනා.”

මාව අදටත් ජීවත් කරන්නේ ඒ සිංහල බෞද්ධ ජනතාව කියලා මම ආඩම්බරයෙන් කියනවා.

තාත්තා නිතරම කිව්වේ ශ්‍රී ලංකාව කියන්නේ මොන ජාතියේ කෙනෙකුට උවත් සතුටින් සමගියෙන් ජීවත් වෙන්න පුළුවන් මිනිස්සු ඉන්න රටක් කියලා. මම ඇසුරු කරපු හැම යාළුවෙක්මත් ඒ වගේම පුදුම බැඳීමකින් හිටිය. මම මගේ පුතාව ඒ නිසාම ඇත්ලත් කලේ සිංහල බෞද්ධ විදුහලකට මොකද මම මගේ ජීවිතයේ සිංහල මිතුරන් සමඟ ගත කළ ඒ සතුට මගේ පුතාටත් මම ලබා දිය යුතුයි. මට ඕන පාස්ද පේල්ද කියන එක නොවෙයි. මගේ දරුවෝ හැදෙන්න ඕන ..හොඳ මිතුරන් එක්ක ආන්න ඒ සමාජයයි අපි අනාගතය වෙනුවෙන් හදන්න ඕන.


සටහන - විශ්ව ගැමුණු ප්‍රියංකර)

(විශේෂ ස්තූතිය - හෝකන්දර රංජනී රණසිංහ මහත්මියට සහ සිරි කහවල මහතාට )

ඉතිහාසය අලුතින් ලියන ගුවන් කිරිල්ලියෝ Read Previous

ඉතිහාසය අලුතින් ලියන ගුවන් කිරිල්ලියෝ

සුන්දර බක්මහේ ඇඩ්ලේඩ් අවුරුදු උදානය Read Next

සුන්දර බක්මහේ ඇඩ්ලේඩ් අවුරුදු උදානය

Realted Post

Leave a comment