අතුරුදහන් වූවන් ගැන අධිකරණ ඇමති කියපු කතාව

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ අගෝස්තු මස 30 වැනි දිනට යෙදි ඇති බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට ලක් වු වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය අනුස්මරණය කිරීම වෙනුවෙන් අතුරුදහන්වු තැනැත්තන් පිළිබද කාර්යාලය ( OMP) විසින් සංවිධානය කරන ලද ජාතික අනුස්මරණ උත්සවයට ඊයේ (25) පස්වරුවේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.

අද අපි මෙතැනට එකතු වෙන්නේ තවත් එක් උත්සවයක් පවත්වන්න නොවෙයි. අපි මෙතැනට එකතු වෙන්නේ අපේ රටේ අතුරුදන් වූ සියලු දෙනා සිහිපත් කරන්න, ඔවුන්ගේ පවුල් විඳින වේදනාව පිළිගන්න සහ වසර ගණනාවක් තිස්සේ පිළිතුරක් බලා සිටින පවුල්වලට අපි ඔවුන්ව අමතක කරලා නැති බව කියන්නයි.

අගෝස්තු 30 වැනිදා ලෝකය පුරා බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූවන් සිහිපත් කරනවා. ඒ වගේම ඔවුන්ගේ පවුල්වල වේදනාව අපි පිළිගන්නවා. එවැනි සිදුවීම් නැවත සිදු නොවිය යුතු බවත් අපි අවධාරණය කරනවා.

මා මෙම සැමරුමට සහභාගිවීමට පෙර අතුරුදහන් වූ අයගේ ආදරණියයන් මුණගැසීමට ඔවුන් සිටින නිවාස 3 කට ගියා. ඒ අවස්ථාවල මම ඔවුන් සමග කතා කළා. එහිදී මා වටහා ගත් දෙයක් වුනේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම කියන්නේ එක් පුද්ගලයෙකු පිළිබඳ තොරතුරක් නැතිවීම විතරක් නොවෙයි. එය මුළු පවුලක්ම දීර්ඝ කාලීන අවිනිශ්චිතතාවයකට පත් කරනවා. අම්මා කෙනෙක් තමන්ගේ දරුවා ගැන පිළිතුරක් බලාගෙන ඉන්නවා, බිරිඳක් තම ස්වාමිපුරුෂයා ගැන පිළිතුරක් බලාගෙන ඉන්නවා, දරුවෙක් තම පියා හෝ මව ගැන පිළිතුරක් බලාගෙන ඉන්නවා. වසර ගණනාවක් ගත වුණත් ඔවුන්ගේ සිත්වල තිබෙන ප්‍රශ්නය වෙනස් වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නය තමයි, “ඇත්තටම සිදුවුණේ මොකක්ද?” යන්නයි.

ඒ නිසා අද දිනයේ අර්ථය සිහිපත් කිරීමෙන් පමණක් අවසන් කරන්න බැහැ. සිහිපත් කිරීම වගකීමක් බවට පත් කළ යුතුයි. තම ආදරණීයයාට සිදුවූයේ කුමක්ද කියලා දැනගැනීමට පවුලකට ඇති අයිතිය දේශපාලන ඉල්ලීමක් නොවෙයි. එය මූලික මානුෂික අයිතියක්. එය යුක්තිය පිළිබඳ ප්‍රශ්නයක්.

ඒ වගේම මෙය එක ජන කොටසකට පමණක් අදාළ ප්‍රශ්නයක් නොවෙයි. ශ්‍රී ලංකාවේ විවිධ කාලවලදී විවිධ ජනවාර්ගික සහ දේශපාලන පසුබිම්වල පුද්ගලයන් අතුරුදන් වී තිබෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් සෙවීම සමස්ත ශ්‍රී ලාංකික සමාජයේම වගකීමක්.

අද මේ කරුණ ගැන කතා කරන විට, වර්තමාන රජයේ එක් මූලික ප්‍රතිපත්තියක් පැහැදිලිව කියන්න කැමතියි. ඒ තමයි නීතියේ ආධිපත්‍යය. නීතියට ඉහළින් කිසිවකුත් නැහැ. කවුරු කොතරම් බලවත් වුණත්, කොතරම් උසස් තනතුරක් දැරුවත්, ඔහුගේ දේශපාලන සම්බන්ධතාව කුමක් වුණත් නීතිය ඉදිරියේ සියලු දෙනා සමානයි.

ජනතාව අපට බලය දුන්නේ පළිගන්න නොවෙයි. කිසිවෙකුට පෞද්ගලිකව දඬුවම් කරන්න නොවෙයි. ජනතාවගේ සාධාරණ අපේක්ෂාවන් ඉටු කරන්නයි. නීතිය ශක්තිමත් කරන්නයි. නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරන්නයි. ජනතාව බලාපොරොත්තු වන යුක්තිය ඉටු කරන්නයි.

අතීතයේ අපි අහලා තියෙනවා, “යම් අයව නීතිය ඉදිරියට ගෙන එන්න බැහැ” කියලා. “මේ තරම් බලවත් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ” කියලා. අද අපි පෙන්වමින් සිටින්නේ ඒ තත්ත්වයේ වෙනසයි. සාක්ෂි සහ නීත්‍යානුකූල විමර්ශන මත, කවුරුන් සම්බන්ධ වුණත් නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රියාවලිය ඉදිරියට ගෙන යනවා. එය කිසිවෙකුගෙන් පළිගැනීමක් නොවෙයි. එය නීතිය සැමට සමාන බව ප්‍රායෝගිකව තහවුරු කිරීමයි.

අතුරුදන්වූවන් පිළිබඳ විමර්ශනවලදීත් අපි අනුගමනය කරන්නේ මේ මූලධර්මයයි. අපි සත්‍යය සොයන්න ඕනෑ. සාක්ෂි සොයන්න ඕනෑ. විමර්ශන කරන්න ඕනෑ. අපරාධයක් සිදුවී ඇති බවට සාක්ෂි තිබෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ. ඒ වගේම සාක්ෂි නොමැතිව කිසිවෙකුට චෝදනා කිරීමත් අපේ ක්‍රමය නොවෙයි. නීතියේ ආධිපත්‍යය කියන්නේ ඒකයි.

රජය බලයට පත්වුණාට පස්සේ අපි මේ ගැන කතා කරලා නතර වුණේ නැහැ. ක්‍රියාමාර්ග ගත්තා. අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, එනම් OMP, ශක්තිමත් කිරීමට කටයුතු කළා. එහි අධ්‍යක්ෂ මණ්ඩලය සුදුසු පුද්ගලයන්ගෙන් සම්පූර්ණ කළා. අතුරුදන්වූවන්ගේ පවුල් නියෝජනය කරන පාර්ශ්වයන්ගේ සහභාගීත්වයත් අධ්‍යක්ෂ මණ්ඩලයට ඇතුළත් කර තිබෙනවා. නවතා තිබූ විමර්ශන නැවත ආරම්භ කිරීමට පියවර ගත්තා. පුරප්පාඩුව තිබූ අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලයේ 69 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කළා. ඒ වගේම OMP ආයතනයට තම ව්‍යවස්ථාපිත කාර්යභාරය ස්වාධීනව ඉටු කිරීමට අවශ්‍ය අවකාශය ලබාදී තිබෙනවා.

2026 ජූලි 31 වන විට OMP වෙත ලැබී ඇති මුළු පැමිණිලි සංඛයාවෙන්16,966ක් විමර්ශන කළ හැකි බව හඳුනාගෙන මූලික විමර්ශන ආරම්භ කර තිබෙනවා. තවත් පැමිණිලි 11,000 ක් පමණ සංඛ්‍යාවක් සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රතිපාදන නොමැතිව විමර්ශන කටයුතු ප්‍රමාද වී තිබුණා. බලයට පත් වූ අපේ රජය 2025 වසරේදී කැබිනට් පත්‍රිකාවක් මගින් රුපියල් මිලියන 375ක් ඒ සඳහා වෙන් කළා. ඒ යටතේ විමර්ශන කමිටු 25ක් ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තා. ඒ අනුව, 2026 ජූලි මාසය අවසන් වන විට ඉතිරිව තිබූ පැමිණිලි අතරින් 3,000කට අදාළ මූලික විමර්ශන අවසන් කර තිබෙනවා. ඉතිරි පැමිණිලි සම්බන්ධයෙන්ද කටයුතු වේගවත් කර තිබෙන අතර, 2027 වසර අවසන් වන විට ලැබී ඇති සියලු පැමිණිලි පිළිබඳ මූලික විමර්ශන අවසන් කිරීම රජයේ අපේක්ෂාවයි.

මෙතෙක් සිදු කළ මූලික විමර්ශන අතරින්  සිදුවීම් 1,594ක් වැඩිදුර විමර්ශන සඳහා යොමු කර තිබෙනවා. පවුල්වල නීතිමය සහ පරිපාලන ගැටලු විසඳා ගැනීම සඳහා 2026 ජූලි 31 වන විට Certificate of Absence දක්නට නොමැති වූ බවට වන සහතික 2,719ක් සහ Certificate of Death මරණ සහතික 409ක් ලබාදී තිබෙනවා. අතුරුදහන් වූ පුද්ගලයින් 31 දෙනෙකු සම්බන්ධ අවසන් තොරතුරු සොයාගෙන තිබෙනවා. මේ තොරතුරු පෞදගලිකත්වය ආරක්ෂ කරමින් එම පවුල්වල අයට පමණක් දැනුම් දී තිබෙනවා. පුද්ගලයන් 5,427 දෙනෙකු සඳහා පුනර්ජීවන දීමනා ලබාදීම සඳහා හානිපූර්ණ කාර්යාලයට යොමු කර තිබෙනවා. මීට අමතරව මනෝසමාජීය සහන, අස්වැසුම හා නිවාස පහසුකම්, අධ්‍යාපන අවස්ථා, වෘත්තීය පුහුණුව සහ ස්වයං රැකියා සහන වැනි වැඩසටහන් පිළිබඳවත් කටයුතු කරමින් සිටිනවා. අතුරුදහන් වූ පවුල්වල අයද ඇතුළත් කරගත් විශේෂඥ කමිටුවක් මගින් නිර්දේශ ලබාගෙන මේ සියල්ල ඇතුළත් එක්  සහන පැකේජයක් හඳුන්වාදීමට සැලසුම් කරමින් සිටිනවා.

මේ සියල්ල අවසාන ප්‍රතිඵලය නොවෙයි. මේවා ඉදිරි ගමනේ සන්ධිස්ථාන පමණයි. තවමත් අප ඉදිරියේ විශාල වගකීමක් තිබෙනවා. ඒ වගකීම අපි අත්හරින්නේ නැහැ.

අතුරුදන්වූවන් පිළිබඳ කතා කරන විට සමූහ මිනීවළවල් පිළිබඳ විමර්ශනත් ඉතා වැදගත්. මේවා දේශපාලන වාසි ලබාගැනීමට භාවිත කළ යුතු කරුණු නොවෙයි. මේවා මිනිස් ජීවිත සම්බන්ධ කරුණු. ඒ නිසා අපට අවශ්‍ය එකම දෙයයි. ඒ තමයි සත්‍යය සොයාගැනීම.

විමර්ශන සිදුකළ යුත්තේ සාක්ෂි මතයි. විද්‍යාත්මක ක්‍රමවේදයට අනුවයි. අධිකරණ වෛද්‍ය ක්‍රියාපටිපාටි අනුවයි. අවශ්‍ය තැන්වල DNA පරීක්ෂණ සිදුකළ යුතුයි. සාක්ෂි නිසි ලෙස ආරක්ෂා කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම සහ සම්පත් ලබාදීම රජයේ වගකීමක් ලෙස වටහාගෙන එම දේවල් ලබාදීමට පියවර ගනිමින් සිටිනවා.

චෙම්මනි සමූහ සුසාන භූමියේ කැණීම් සහ ඒ ආශ්‍රිත නීතිමය කටයුතු සඳහා මේ වන විට රුපියල් මිලියන 57ක් ලබාදී තිබෙනවා. ඉදිරි අදියරයන් සඳහා අවශ්‍ය මුදල් ලබාදීමටත් රජය කටයුතු කරනවා. මූල්‍ය සීමාවක් නිසා සත්‍යය සෙවීම නතර විය යුතු නැහැ. සාක්ෂි ආරක්ෂා කිරීමත්, සත්‍යය තහවුරු කිරීමත්, වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමත් රාජ්‍යයේ වගකීමක්.

අද මෙතැන සිටින අතුරුදන්වූවන්ගේ පවුල්වලට මම විශේෂයෙන් දෙයක් කියන්න කැමතියි. ඔබ වසර ගණනාවක් බලා සිටියා. ඔබ ප්‍රශ්න ඇහුවා. ඔබ පිළිතුරු සෙව්වා. ඔබේ වේදනාවත් එක්ක ජීවත් වුණා. රජයකට අතීතය වෙනස් කරන්න බැහැ. අහිමි වූ කෙනෙකු ආපසු ගෙන එන්නත් බැරි අවස්ථා තිබෙනවා. නමුත් අපට එක දෙයක් කරන්න පුළුවන්. සත්‍යය සොයන්න පුළුවන්. විමර්ශනය කරන්න පුළුවන්. නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. යුක්තිය ඉටු කරන්න පුළුවන්. ඒ සඳහා අපි කැපවී සිටිනවා.

මේ ප්‍රශ්නය දවසකින් විසඳන්න බැහැ. නමුත් ඒ නිසා අපට නතර වෙන්න බැහැ. අද අපි අතුරුදන් වූවන් සිහිපත් කරනවා. නමුත් අපේ වගකීම එතැනින් අවසන් වෙන්නේ නැහැ. මතකය වගකීමක් බවට පත් කළ යුතුයි. වගකීම ක්‍රියාමාර්ගයක් බවට පත් කළ යුතුයි.

අපට අවශ්‍ය අතීතයේ වේදනාව තවත් පරම්පරාවකට උරුම කරන රටක් නොවෙයි. අපට අවශ්‍ය නීතිය සැමට සමාන රටක්, සත්‍යය සෙවීමට බිය නොවන රටක්, වින්දිතයන්ගේ හඬට සවන් දෙන රටක් සහ සෑම පුරවැසියෙකුගේම ගෞරවය ආරක්ෂා කරන රටක්.අපට ජනවරමක් ලැබුණේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාහනය ක්‍රියාත්මක කරන්නයි.

ඒ වෙනුවෙන් අපට ලැබුණු ජනවරම අපි වගකීමෙන් භාවිත කරනවා. අතුරුදන් වූවන් සිහිපත් කරමු. ඔවුන්ගේ පවුල්වලට සවන් දෙමු. සත්‍යය සොයමු. නීතිය ඉදිරියට ගෙන යමු. යුක්තිය ඉටු කරමු. අතීතයේ වේදනාව අනාගතයේ සාමයට, යුක්තියට සහ ජාතික සංහිඳියාවට පදනමක් කරගනිමු යැයිද අමාත්‍යතුමා සදහන් කළේය.

අතුරුදහන් වු තැනැත්තන් පිළිබදව කාර්යාලය විසින් අතුරුදහන් වු තැනැත්තන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ඥාතීන් වෙනුවෙන් දියවැඩියා පරීක්ෂණ, ඇස් පරීක්ෂණ වැඩ සටහන් ඇතුළු ජංගම සේවා වැඩ සටහන් කිඒිපයක් සංවිධානය කර තිබු අතර, එම ජංගම කුටි නිරීක්ෂණය කිරීමට ද අමාත්‍යතුමා සහභාගි විය.

ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය, රාමලිංගම් චන්ද්‍රසේකර්, අතුරුදහන් වු තැනැත්තන් පිළිබද කාර්යාලයේ සභාපති මහේෂ් කටුලන්ද යන මහත්වරුන් අදහස් පළ කළ අතර, උතුරු පළාත් ආණ්ඩුකාර එන්.වේදනායගම් මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ අතුරුදහන් වු තැනැත්තන්ගේ ඥාතීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

විමර්ශන යළි ඇරඹෙන ධර්ම යුද්ධය 3 Read Previous

විමර්ශන යළි ඇරඹෙන ධර්ම යුද්ධය 3

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය Read Next

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය

Realted Post

Leave a comment