අද 50 කෙනා එදා 50 කෙනාට වඩා තරුණ පෙනුමයි නේද ? මිනිසුන්ගේ පෙනුම වෙනස් කළ හේතු 8ක්

අද වයස අවුරුදු 50ක් හෝ 60ක් වන බොහෝ දෙනකු දෙස බැලූ විට, ඔවුන්ගේ වයස විශ්වාස කිරීමටත් අපහසු වන අවස්ථා තිබෙනවා. නමුත් මීට අවුරුදු 50කට පෙර එම වයසේ සිටි පුද්ගලයන් දෙස බැලූ විට පෙනුණේ ඊට වඩා වෙනස් පෙනුමක්.

ඇත්තටම අද මිනිසුන් කලින් පරම්පරාවලට වඩා තරුණද? එසේත් නැතිනම් අපි වයස දකින ආකාරය වෙනස් වී තිබෙනවාද?

මේ වෙනසට හේතු කිහිපයක්ම බලපානවා. සෞඛ්‍යය ගැන වැඩි අවධානයක් යොමු කිරීම, හොඳ ආහාර පුරුදු, ව්‍යායාම, සම රැකගැනීම සහ විලාසිතා ඒ අතරින් කිහිපයක්.

සෞඛ්‍යය ගැන අද වැඩි අවධානයක්

අතීතයට වඩා අද මිනිසුන් තම සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙනවා. රෝග හඳුනාගැනීමේ පරීක්ෂණ, නවීන ප්‍රතිකාර සහ වෛද්‍ය පහසුකම් නිසා බොහෝ දෙනකුට වැඩි කාලයක් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමට අවස්ථාව ලැබී තිබෙනවා.

විශේෂයෙන්ම හෘද රෝග, දියවැඩියාව වැනි රෝග පාලනය කරගැනීමට අද වැඩි පහසුකම් තිබෙනවා. මේ නිසා වයස වැඩි වුණත් ශරීරයේ ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා.

 සම රැකගැනීමට වැඩි උනන්දුවක්

අද බොහෝ දෙනකු තරුණ පෙනුම පවත්වා ගැනීමට සම රැකගැනීම කෙරෙහි අවධානය යොමු කරනවා.

හිරු ආවරණ ආලේපන භාවිත කිරීම, සම තෙතමනයෙන් තබාගැනීම සහ සමට ගැළපෙන නිෂ්පාදන භාවිත කිරීම ඒ අතර ප්‍රධානයි. හිරු එළියෙන් සමට සිදුවන හානි අවම කරගැනීමෙන් රැලි වැටීම සහ සමේ වයස්ගත ලක්ෂණ ඇතිවීම පාලනය කිරීමට උපකාරී වෙනවා.

ඊට අමතරව බොටොක්ස් සහ ලේසර් ප්‍රතිකාර වැනි රූපලාවණ්‍ය ක්‍රම ද අද බහුලව භාවිත වෙනවා.

ආහාර පුරුදු වෙනස් වෙලා

නිරෝගීව ජීවත් වීමට නිසි ආහාර වේලක ඇති වැදගත්කම ගැන අද බොහෝ දෙනකු දැනුවත්.

එළවළු, පලතුරු, ප්‍රෝටීන් සහ ශරීරයට අවශ්‍ය විටමින් හා ඛනිජ ලවණ අඩංගු ආහාර ගැනීමෙන් ශරීරයට අවශ්‍ය පෝෂණය ලබාගත හැකියි.

ඒ වගේම ප්‍රමාණවත් ජලය පානය කිරීමත් වැදගත්. නිසි පෝෂණය සමේ සෞඛ්‍යයට පමණක් නොව ශරීරයේ සමස්ත සෞඛ්‍යයටම බලපානවා.

 ව්‍යායාම දැන් ජීවිතයේ කොටසක්

අතීතයේදී ව්‍යායාම කිරීම පිළිබඳ අද තරම් උනන්දුවක් නොතිබූ අවස්ථා තිබුණා. නමුත් දැන් වයස කුමක් වුවත් ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීමට බොහෝ දෙනකු උත්සාහ කරනවා.

ඇවිදීම, පිහිනීම, බයිසිකල් පැදීම සහ සරල ව්‍යායාම කිරීමෙන් මාංශ පේශි ශක්තිය සහ ශරීරයේ සමබරතාව පවත්වාගත හැකියි.

වයස අවුරුදු 50ක් හෝ 60ක් වුණත් ක්‍රියාශීලීව සිටින පුද්ගලයකුට ජව සම්පන්න පෙනුමක් ලබාගැනීමටත් දෛනික කටයුතු පහසුවෙන් කරගැනීමටත් හැකියාව තිබෙනවා.

ඇඳුම් විලාසිතාත් වෙනස් වෙලා

අතීතයේදී වයසින් වැඩි පුද්ගලයන්ට විශේෂිත ඇඳුම් විලාසිතා තිබුණා. තරුණයන් අඳින ඇඳුම්වලින් ඔවුන්ගේ ඇඳුම් බොහෝ විට වෙනස් වුණා.

නමුත් අද ඒ වෙනස අඩුයි. වයස අවුරුදු 50ක් හෝ 60ක් වුණත් නවීන විලාසිතා අනුගමනය කිරීමට බොහෝ දෙනකු කැමතියි.

ඇඳුම් පැළඳුම්, කොණ්ඩා මෝස්තර සහ තමන්ගේ පෙනුම ගැන සැලකිලිමත් වීම නිසාත් කෙනකුගේ වයස ගැන අපට ඇති වන අදහස වෙනස් වෙන්න පුළුවන්.

දුම්පානයෙන් වැළකීමත් වැදගත්

දුම්පානය සමේ රැලි ඇතිවීම වේගවත් කිරීමට සහ සමේ සෞඛ්‍යයට හානි කිරීමට හේතු වෙනවා. අධික මත්පැන් භාවිතය ද ශරීරයට අහිතකර බලපෑම් ඇති කළ හැකියි.

දුම්පානයෙන් වැළකීම, ප්‍රමාණවත් නින්දක් ලබාගැනීම, සමබල ආහාර ගැනීම සහ ආතතිය පාලනය කිරීම නිරෝගී ජීවිතයකට වැදගත්.

මේ පුරුදු එක රැයකින් තරුණ පෙනුමක් ලබා නොදුන්නත්, කාලයත් සමඟ සෞඛ්‍යය පවත්වා ගැනීමට උපකාරී වෙනවා.

සිත තරුණ නම් ජීවිතයත් වෙනස්

වයස කියන්නේ උපන් දින ගණනින් පමණක් මැනිය හැකි දෙයක් නොවේ. කෙනකු තමන් ගැන සිතන ආකාරයත් ජීවිතය ගත කරන ආකාරයත් වැදගත්.

අලුත් දේ ඉගෙනගැනීම, මිතුරන් සමඟ කාලය ගත කිරීම, විනෝදාංශවල නිරත වීම සහ නව අත්දැකීම් ලබාගැනීම ජීවිතයට සතුටක් එක් කරනවා.

තමන් වයසට ගොස් ඇතැයි සිතා සියල්ලෙන් ඈත් වනවාට වඩා, හැකි පමණින් ක්‍රියාශීලීව ජීවත් වීම මානසික සුවතාවටත් යහපත්.

සමාජ මාධ්‍ය නිසා පෙනුමට වැඩි අවධානයක්

අද සමාජ මාධ්‍යවල තරුණ පෙනුමක් ඇති පුද්ගලයන්ගේ ඡායාරූප සහ වීඩියෝ නිතර දකින්න ලැබෙනවා. ඒ නිසා බොහෝ දෙනකු සම රැකගැනීම, ව්‍යායාම කිරීම සහ විලාසිතා ගැන වැඩි උනන්දුවක් දක්වනවා.

නමුත් සමාජ මාධ්‍යවල දකින සෑම පෙනුමක්ම සැබෑ පෙනුම නොවෙයි. ඡායාරූප සංස්කරණය, ආලෝකය සහ කැමරා කෝණ නිසා කෙනකු වඩාත් තරුණ පෙනුමකින් දිස්විය හැකියි.

ඇත්තටම වයස අඩුවෙලාද?

අද මිනිසුන්ට තරුණ පෙනුමක් පවත්වා ගැනීමට උපකාරී වන පහසුකම් වැඩියි. නමුත් ඒ නිසා වයසට යාමේ ස්වාභාවික ක්‍රියාවලිය නතර වී නැහැ. ජාන, සෞඛ්‍යය, ජීවන රටාව සහ පරිසරය යන කරුණු සියල්ලම පුද්ගලයකුගේ පෙනුමට බලපානවා. වැදගත්ම දේ තරුණ පෙනුමක් ලබාගැනීම පමණක් නොවෙයි. වයස කුමක් වුවත් නිරෝගීව, සතුටින් සහ ක්‍රියාශීලීව ජීවත් වීමයි.

අශන්ති වරුණසූරිය

SLT-MOBITEL වෙතින් ශ්‍රී ලංකාවේ බස් සේවාවේ ඩිජිටල් පරිවර්තනයට Read Previous

SLT-MOBITEL වෙතින් ශ්‍රී ලංකාවේ බස් සේවාවේ ඩිජිටල් පරිවර්තනයට

Prime සමූහය LMD ඇගයීමට Read Next

Prime සමූහය LMD ඇගයීමට

Realted Post

Leave a comment