අවුරුදු 3,000ක් පරණ රන් කරාබු දෙකක්

හොලිවුඩ් තරු රංගන ශිල්පිනී Zendaya ගැන මේ වන විට සමාජ මාධ්‍යයේ උණුසුම් සංවාදයක් ඇති වෙලා. මේකට හේතුව ඇය වසර 3,000කට අධික ඉතිහාසයක් ඇති පුරාවිද්‍යාත්මක රන් කරාඹු යුගලක් පැළඳගෙන The Odyssey චිත්‍රපටයේ ප්‍රචාරක වැඩසටහනකට සහභාගි වීම.

29 හැවිරිදි Zendaya, Christopher Nolan විසින් නිර්මාණය කරන ලද හෝමර්ගේ ග්‍රීක වීර කාව්‍යය The Odysseyහි Athena දේවතාවියගේ චරිතය නිරූපණය කරනවා. මෙම චිත්‍රපටයේ ප්‍රවර්ධනයට ලන්ඩනයේ පැවැති ඡායාරූප සැසියකදී ඇය මෙලෙස පැළඳ සිටි කරාබු යුවල ක්‍රිස්තු පූර්ව පළමු සහස්‍රයට අයත්, ඉරානයේ පුරාණ උරුමයක් ලෙස සැලකෙන රන් කරාඹු යුගලක්.

මෙම කරාඹු 18 කැරට් කහ රන්වලින් නිමවා ඇති අතර, ඒවා Ziwiye Hoard ලෙස හැඳින්වෙන පුරාවස්තු එකතුවට අයත් බව සඳහන්. එම පුරාවස්තු 1940 දශකයේදී එඬේරුන් විසින් කොල්ලකෑමට ලක්වූ ස්ථානයකින් සොයාගෙන තිබූ බව වාර්තා වෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Zendayaගේ මෙම තේරීම කලා හා ඉතිහාස ක්ෂේත්‍රයේ විශාල විවේචනයකට ලක් කරමින් ඉරාන කලා ඉතිහාසවේදිනියක සහ Courtauld Institute හි මහාචාර්යවරියක වන Sussan Babaie පවසන්නේ, මෙවැනි පුරාවස්තු රතු පලසක විලාසිතා අංගයක් ලෙස භාවිත කිරීම "කම්පනයට පත් කරන" සහ "නොකළ යුතු දෙයක්" බව.

ඇයගේ අදහස වූයේ, මෙවැනි වටිනා පුරාවස්තු සරල ආභරණ ලෙස නොව, මානව වර්ගයාගේ සංස්කෘතික උරුමයක් ලෙස සැලකිය යුතු බවයි. "මේවා ආභරණයක් ලෙස ප්‍රදර්ශනය කිරීමට නොවෙයි. මේවා ලෝක උරුම... පුරාණ ඉරානයේ සංස්කෘතික දායකත්වය මෙවැනි ආකාරයෙන් විලාසිතා අංගයක් බවට පත් කිරීම එහි සැබෑ වටිනාකම අඩු කරන ක්‍රියාවක් බවද ඇය සඳහන් කරනවා.

මෙම සිදුවීමෙන් පසු X, Reddit සහ Instagram වැනි සමාජ මාධ්‍ය වේදිකාවල විවිධ අදහස් පළ වෙමින් තියෙනවා. බොහෝ දෙනාගේ අදහස වන්නේ මෙවැනි පුරාවස්තු කෞතුකාගාරවල ආරක්ෂා කළ යුතු බවත් චිත්‍රපට ප්‍රචාරණය සඳහා භාවිත නොකළ යුතු බවත්.  කට්ටියක් එලෙස අදහස් පල කරද්දී තව පිරිසකගේ අදහස වන්නේ එම පුරාවස්තු ඉතා ගෞරවයෙන් හා වගකීමෙන් භාවිත කළ බව.

මෙම කරාඹු ලන්ඩනයේ ස්වර්ණාභරණ නිර්මාණ ශිල්පියෙකු වන Glenn Spiro විසින් නව සැකැස්මකට අනුව සකස් කර ඇත අතර පසුව ඒවා Barron London සතු වෙලා. Barron London ප්‍රකාශ කරන්නේ, පුරාණ රන් තැටිවලට කිසිදු හානියක් නොවන ආකාරයෙන් ඒවා දියමන්තිවලින් වටකර විශේෂ සවිකිරීමක් සිදුකර ඇති බවත් මෙවැනි පුරාවස්තු පිළිබඳ සංවාදයන් සාදරයෙන් පිළිගන්නා බවත්, ඒවායේ මූලාරම්භය, සංරක්ෂණය සහ කලාත්මක වටිනාකම පිළිබඳ සාකච්ඡා වැදගත් බවත්.

ඔවුන් තවදුරටත් කියා සිටියේ, වර්තමානයේ ඉරානය බොහෝ විට දේශපාලනික සිදුවීම් හරහා පමණක් ලෝකයට පෙනෙන අවස්ථාවක, මෙම ආභරණ මගින් එරටේ අතිවිශිෂ්ට කලා, සංස්කෘතික සහ ඓතිහාසික උරුමය පිළිබඳ මතක් කිරීමක් ලබාදීමට බලාපොරොත්තු වන බවයි.

Zendaya එම කරාඹු සුදු පැහැති Jacquemus ඇඳුමක් සමඟ ගලපා පැළඳ සිටිනවා. නමුත් එම විලාසිතා තේරීම ලෝකය පුරා විශාල සංවාදයක් ඇති කළේ එක් ප්‍රශ්නයක් වටාය. වසර දහස් ගණනක් පැරණි සංස්කෘතික උරුමයන් විලාසිතා අංග ලෙස භාවිත කළ යුතුද? නැත්නම් ඒවා අනාගත පරපුර වෙනුවෙන් කෞතුකාගාරවල ආරක්ෂා කළ යුතුද? යන්න.

මෙම සිදුවීම හරහා නැවතත් අවධානය යොමුවී ඇත්තේ පුරාවස්තු සංරක්ෂණය, සංස්කෘතික උරුමයන්ට ගෞරව දැක්වීම සහ විලාසිතා ලෝකයේ වගකීම් පිළිබඳ විවාදයක්.

අශන්ති වරුණසූරිය 

පෙර පාසල් ගුරුභවතුන් සහ රැකබලා ගන්නන් 600ක් වෙනුවෙන් ජාතික වැඩසටහනක් Read Previous

පෙර පාසල් ගුරුභවතුන් සහ රැකබලා ගන්නන් 600ක් වෙනුවෙන් ජාතික වැඩසටහනක්

මේවා කෑවොත් නම් කෙට්ටු වෙනවා ශුවර් Read Next

මේවා කෑවොත් නම් කෙට්ටු වෙනවා ශුවර්

Realted Post

Leave a comment