ඉපදුණේම කලාව වෙනුවෙන් - ප්‍රවීණ රංගන ශිල්පී සරත් කුලාංග

ඔහු හාස්‍යජනක චරිත තුළින් අපගේ රසවින්දනයට පැමිණියත්, අති දක්ෂ ප්‍රවීණ වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක්. ඔහු නමින්  සරත් කුලාංග,  ඔහු සමගයි මේ සුහද කතාබහ

  • මේ දවස්වල මොකද වෙන්නේ?

මේ දවස්වල ටිකක් කාර්යබහුලයි.

  • ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කොහොමද කෙරෙන්නේ?

මේ දවස්වල වේදිකා නාට්‍ය හා ටෙලි නාට්‍ය කිහිපයකත් චිත්‍රපට දෙකකත් වැඩ කටයුතු කරමින් සිටිනවා.

  • මේ දවස්වල වේදිකා නාට්‍ය කරන්නේ නැද්ද?

මේ දවස්වල වේදිකා නාට්‍යවලට ඉල්ලුම වැඩියි. වේදිකාගත කළ නාට්‍යවල සහ අලුතින්  ආරම්භ කිරීමට නියමිත වේදිකා නාට්‍ය දෙකකද පුහුණුවීම් කටයුතු කරමින් සිටිනවා. සෑම සති අන්තයකම කොහේ හෝ ස්ථානයක නාට්‍යයක් වේදිකාගත කරනවා.

  • වේදිකාවට ද පුංචි තිරයටද ඔබ ළඟම?

මගේ ප්‍රකාශන මාධ්‍ය වන්නේ වේදිකාවයි. ටෙලි නාට්‍ය කලාව අවතක්සේරුවට ලක් කරන්නේ නැහැ. කෝලම් කුට්ටම  ටෙලි නාට්‍යයේ මගේ චරිතය හරහා සමාජයට යම්කිසි පණිවිඩයක්  ලබා දුන්නා. යම්කිසි පණිවිඩයක් සමාජයට දිය හැකි ලෙසින්   ‍ටෙලිනාට්‍ය නිර්මාණය වෙනවානම්  ඉතා හොඳයි.  එවැනි නිර්මාණ වලට දායක වීමෙන් අපිට ද සමාජයට මෙහෙවරක් කළ හැකියි. ඒ වෙලාවට රස විඳින චුයින්ගම් එකක් ලෙස නොව  ප්‍රේක්ෂකයාට දිරවිය හැකි නිර්මාණ බිහිවිය යුතුයි.

  • ඔබ එකම චරිතයක කොටුවෙලාද ඉන්නේ?

බොහෝ දුරට මට ලැබෙන්නේ හාස්‍ය උපදවන චරිත. ඒ වගේම ලලිතා සරච්චන්ද්‍ර මහත්මියගේ නාට්‍යයක ගැඹුරු චරිතයකට දායකත්වය ලබා දුන්නා. හාස්‍යජනක වගේම ගැඹුරු චරිත ද රඟපෑමේ හැකියාව තිබුණත්, එවැනි චරිත ලැබෙන ප්‍රමාණය අඩුයි.

  • වීදි නාට්‍ය පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?

1970 ගණන්වලදී වීදි නාට්‍ය කණ්ඩායමකට දායකත්වය ලබා දුන්නා. වීදි නාට්‍ය කියන්නේ වෙනමම ශානරයක්. වීදි නාට්‍ය කියන්නේ රඟ දක්වන ස්ථානයේ අවස්ථාව අනුව ප්‍රේක්ෂකයාට හරවත් පණිවිඩයක් ලබා දෙන මාධ්‍යයක්. වේදිකා නාට්‍යවලට ස්ථිර පිටපතක් තිබෙනවා.කොහොම නමුත් මේ මාධ්‍ය දෙකෙන්ම සමාජයට ලොකු මෙහෙවරක් සිදු කරනවා. 

  • අද අලුතින් එන ශිල්පි ශිල්පිනියන් ගැන මොකද හිතෙන්නේ?

අපි වේදිකා නාට්‍යවලින් ශික්ෂණය ලබපු රංගන ශිල්පීන්. අපේ පරම්පරාවෙන් පසුව මේ ශික්ෂණය තිබේවිද යන්න සිතාගන්න අපහසුයි. අපි ඒ දවස්වල සිටම වේලාවට වැඩ කිරීමට මූලිකත්වය ලබා දුන්නා. දෙවනුවට විනය. ඒ වගේම අපි ප්‍රවීණ ශිල්පීන්ට ගරු කළා. දැන් ඉන්න අය ක්ෂේත්‍රයට පැමිණෙන්නේ විවිධ අංගවලින්. ඒ වගේම රූපවාහිනී නාලිකාවලින් හඳුන්වා දෙන අයත් සිටිනවා. ඒ කොහොම නමුත් ඒ දේවල් අධ්‍යක්ෂකවරුන්ට පවා පාලනය කරගත නොහැකි තත්ත්වයකයි තිබෙන්නේ.

  • නවක පරපුරට ඔබෙන්  ඔවදනක්

පොත්පත් පරිශීලනය කරන්න. හොඳින් හදාරන්න. ඒ කාලේ වගේ නොවෙයි මේ වන විට තාක්ෂණය ඉතා දියුණුයි.අන්තර්ජාලය තුළින් බොහෝ කරුණු හැදෑරිය හැකියි. ඒ දේවල් හදාරමින් පුහුණුවීම් කරන්න.  අතට හසුවන සෑම විෂයක්ම කියවන්න. ඒ දේ තුළින් ඔබේ ජීවිතයට හොඳ දැනුමක් ලැබෙනවා. ඒ දේවල් කලාකරුවෙකුට ඉතා අවශ්‍යයි.

  • පැමිණි ගමන ගැන මොකද හිතෙන්නේ?

හුඟක් සතුටුයි. මම කලාව වෙනුවෙන්ම උපත ලැබුවා යැයි මට හැඟෙනවා. ගුරුවරයෙක් ලෙසද අවුරුදු තිස්හයක් සේවය කළා. ඒවගේම සහකාර විදුහල්පතිවරයෙක් ලෙස විශ්‍රාම දිවියට ඇතුළත් වුණා. සමාජයේ හොඳ තත්ත්වයක සිටින දරුවන් දෙදෙනෙක් මට සිටිනවා. ඉතින් මේ ජීවිතය පිළිබඳ ගොඩාක් සතුටුයි. දැන් ජීවිතයේ සැදෑසමය විඳිමින් සතුටින් කාලය ගත කරනවා.


     
         

Diamond Excellence Awards 2025 Read Previous

Diamond Excellence Awards 2025

Clean Sri Lanka යටතේ උතුරේ වෙරළබඩ විවේක උද්‍යාන සංවර්ධනයට Read Next

Clean Sri Lanka යටතේ උතුරේ වෙරළබඩ විවේක උද්‍යාන සංවර්ධනයට

Realted Post

Leave a comment