කිසිම දේකට කලබල නැති වාසනා කතරගමින් නුවරට

ශ්‍රී ලාංකීය සංස්කෘතියේ අභිමානවත් උරුමයක් වන පෙරහැර මංගල්‍යයන් අතර, රුහුණු කතරගම මහ පෙරහැරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. බෙර හඬ, නැටුම්, පහන් එළිය සහ බැතිමතුන්ගේ සිරිත් විරිත් අතර කාගේත් නෙත් සිත් පැහැර ගන්නේ පෙරහැරේ සද්දන්තයන්ගේ තේජාන්විත ගමන් ලීලාවයි.

ඒ සද්දන්තයන් අතරින් ලාංකීය ජනතාවගේ ආදරය, ගෞරවය සහ ප්‍රසාදය දිනාගත් නාමයක් වන්නේ වාසනා ඇත් රජායි. වසර ගණනාවක් පුරා රුහුණු කතරගම මහ පෙරහැරේ අභිමානය බවට පත්ව සිටින වාසනා, මෙවරත් තම රාජකීය ගමන් ලීලාවෙන් බැතිමතුන්ගේ සිත් ඇදගැනීමට සූදානම් වෙයි.

නමුත් වාසනාගේ සුවිශේෂත්වය ඔහුගේ දැවැන්ත සිරුර හෝ තේජාන්විත පෙනුම පමණක් නොවේ. කොතරම් කලබලකාරී අවස්ථාවක වුවත් සන්සුන්ව, හික්මීමෙන් සහ ඉවසීමෙන් කටයුතු කරන ස්වභාවය නිසාම ඔහු පෙරහැරේ විශ්වාසවන්තම හස්තිරාජයන්ගෙන් කෙනෙකු බවට පත්ව ඇත.

වනාන්තරයෙන් කතරගම දේවාලයට

1970 වසරේදී ශ්‍රී ලංකාවේ රක්ෂිත වනාන්තරයක උපත ලැබූ වාසනා, 1978 වසරේදී එවකට සංචාරක හා නාවික කටයුතු අමාත්‍යවරිය වූ විමලා කන්නංගර මහත්මිය** විසින් රුහුණු කතරගම දේවාලයට පරිත්‍යාග කරනු ලැබීය.

එතැන් පටන් දශක ගණනාවක් පුරා වාසනා රුහුණු කතරගම දේවාලයේ අභිමානයක් බවට පත්ව සිටියි.

කතරගමට පමණක් සීමා නොවූ තේජස

වාසනාගේ රාජකීය ගමන රුහුණු කතරගමට පමණක් සීමා වී නැත.

ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර, සබරගමුව මහ සමන් දේවාල පෙරහැර ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙරහැර රැසකම ඔහු සිය අභිමානවත් සද්දන්ත ගමන් ලීලාව ප්‍රදර්ශනය කර තිබේ.

ඒ නිසාම වාසනා යනු රුහුණු කතරගමට පමණක් නොව, සමස්ත ශ්‍රී ලාංකීය පෙරහැර සංස්කෘතියටම අයත් වටිනා උරුමයකි.

මද කිපුණු කාලයකත් කලබල නොවන හස්තිරාජයා

අලි ඇතුන්ගේ ජීවිතයේ "මද කිපීම" ලෙස හඳුන්වන කාලසීමාව බොහෝවිට ජූලි සහ අගෝස්තු මාසවලට යෙදේ. එම කාලයේදී බොහෝ අලි ඇතුන් තරමක් නොසන්සුන් ස්වභාවයක් පෙන්වුවද, වාසනාගේ හැසිරීම වෙනස්ය.

පෙරහැර ආරම්භ වන කාලය මද කිපීම අවසන් වන සමයට සමීප වුවද, වාසනා පෙරහැරට එක්වන සෑම අවස්ථාවකම ඉතා සංවරව, නිහඬව සහ හික්මීමෙන් ගමන් කරයි. එය ඔහුගේ සුවිශේෂී ගුණාංගයක් ලෙස භාරකරුවන් පෙන්වා දෙයි.

කලබලයක් මැදත් නොසැලුණු වාසනා

වාසනාගේ ඉවසීම පිළිබඳ මතකයේ රැඳුණු සිදුවීමක් වන්නේ නැදුන්ගමුව රාජා කරඬුව වඩම්මන සමයකදී සිදු වූ අවස්ථාවකි.

එදින පෙරහැර අතරතුර ඉදිරියෙන් ගමන් කළ අලි කිහිපදෙනකු නොසන්සුන්ව හැසිරී කරඬුව ආසන්නයට පැමිණියද, නැදුන්ගමුව රාජා, වාසනා සහ අනෙක් ආරක්ෂක හස්තියා කිසිදු කලබලයකින් තොරව කරඬුව වටා ආරක්ෂාව පවත්වාගෙන සිටියහ.

එම සිදුවීම වාසනාගේ සංවර බව, හික්මීම සහ වගකීම් සහිත හැසිරීම පැහැදිලි කළ අවස්ථාවක් ලෙස සැලකේ.

වාසනාගේ තවත් අපූරු ලක්ෂණ

වාසනා ඉතා බුද්ධිමත් හස්තිරාජයෙකි. අලි ඇතුන්ට ලබාදෙන විධාන පමණක් නොව, සාමාන්‍ය මිනිස් වචනද හොඳින් හඳුනාගනී.

ඔහු මිනිසුන් සමඟ ඉතා හිතවත් ලෙස හැසිරෙන අතර, මත්පැන්වල සුවඳට පමණක් දැඩි අප්‍රියතාවක් දක්වන බව භාරකරුවන් පවසයි.

කුඩා කාලයේදී දුම්රිය ශබ්දයට තරමක බියක් දැක්වූවත්, එයට හේතුව කතරගම ප්‍රදේශයේ දුම්රිය ධාවනය සුලභ නොවීම නිසා එම ශබ්දයට හුරු නොවීම බව සඳහන් වේ.

දළ දෙකේ සැඟවුණු සුවිශේෂත්වය

වාසනාගේ තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ ඔහුගේ දළ දෙක එකිනෙකට ඉතා සමීපව පිහිටා තිබීමයි.

ඒ නිසා පෙරහැරට පෙර ඔහු අලංකාර කිරීමේදී දළ දෙකම මල්වැල්වලින් ආවරණය කිරීම සිදුකරන අතර, එය ඔහුගේ රාජකීය පෙනුම තවත් ඉහළ නංවයි.

කතරගමින් නුවරට

රුහුණු කතරගම මහ පෙරහැර නිමවීමත් සමඟ වාසනා නැවතත් මහනුවර බලා පිටත්ව යන්නේ ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැරට එක්වීම සඳහාය.

එබැවින් සෑම වසරකම දකුණේ බැතිමතුන්ගේ ආදරය ලබන වාසනා, ඉන් අනතුරුව උඩරට ජනතාවගේද ගෞරවයට පාත්‍ර වෙයි.

පරම්පරා තුනක ආදරය

අද වන විට වාසනාගේ රැකවරණය භාරව සිටින්නේ අජිත් ලියනගේ මහතාගේ පවුලයි.

පියාගෙන් පුතාට උරුම වූ මේ වගකීම වසර ගණනාවක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන යමින්, ඔවුන් වාසනා ආදරයෙන් හා ගෞරවයෙන් රැකබලා ගනිති.

සටහන – මහේෂානි මීගහපොල
විශේෂ ස්තූතිය – පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

දින හතරක මහ වැස්සක්, අවදානම් ගැන අවධානයෙන් ඉන්න Read Previous

දින හතරක මහ වැස්සක්, අවදානම් ගැන අවධානයෙන් ඉන්න

පිළිකා රෝගය සඳහා භාවිතයට ගන්නා ඖෂධ නිෂ්පාදන  කර්මාන්තශාලාවක්  පල්ලේකැලේ  ආරම්භ  කිරීමට පියවර Read Next

පිළිකා රෝගය සඳහා භාවිතයට ගන්නා ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවක් පල්ලේකැලේ ආරම්භ කිරීමට පියවර

Realted Post

Leave a comment