සන්නිවේදනයේ තවත් සොඳුරු පියවරක්: 2026 චීන-ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගිතා සහ හුවමාරු සම්මන්ත්‍රණය

පසුගිය සැප්තැම්බර් 11 වන දින කොළඹ Courtyard by Marriott හෝටලයේ Emerald ශාලාව මනරම් සන්ධ්‍යා යාමයකට සාක්ෂි දැරීය. ඒ 2026 චීන-ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගිතා සහ හුවමාරු සම්මන්ත්‍රණය (2026 China–Sri Lanka Media Cooperation and Exchange Seminar) ඉතා සාර්ථක ලෙස පැවැත්වීමත් සමඟයි. 2025 වසරේදී ශ්‍රී ලංකා ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ චීන රාජ්‍ය සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස දෙරට අතර මාධ්‍ය, සංස්කෘතික සහ තාක්ෂණික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම විශේෂ හමුව සංවිධානය කර තිබුණි.

Academy of Contemporary China and World Studies ආයතනය සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC) එක්ව සංවිධානය කළ මෙම උත්සවය සඳහා Yunnan International Communication Center for South and Southeast Asia (YICC) සහ ශ්‍රී ලංකා-චීන සාමාජීය හා සංස්කෘතික සහයෝගිතා සංගමය (ASLCSCC) ද දායකත්වය සපයා තිබුණි.

පස්වරු 3.00 ට ආරම්භ වූ වැඩසටහනේදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය, ශ්‍රී ලංකාවේ චීන තානාපති වේයි හුවාක්සියැන්ග් (Wei Huaxiang) මහතා සහ Fan Daqi මහතාගේ ආරම්භක දේශනවලින් ශාලාව අලුත් අදහස්වලින් ඒකාලෝක විය. ඉන්පසුව බෙයිජිං නෝමල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වං ලෙයි (Wang Lei) මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ මහාචාර්ය මනෝජ් ජිනදාස මහතා සහ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තිස්ස රවීන්ද්‍ර පෙරේරා මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රධාන දේශන මාධ්‍ය ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳ අලුත් මානයන් රැසක් විවෘත කළේය.

සාකච්ඡා සහ Roundtable සංවාදවලින් අනතුරුව, දෙරටේ මාධ්‍ය සබඳතාවල නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් "China–Sri Lanka Media Cooperation Initiative" සහ "China–Sri Lanka Media Cooperation Roadmap" එළිදක්වන ලදී.


ආගන්තුක සත්කාර අතරින් ලද සොඳුරු මතකය: Mekong Coffee

සම්මන්ත්‍රණය අවසානයේ සංවිධායක මණ්ඩලය විසින් ලබා දුන් අලංකාර ත්‍යාග පාර්සලයේ (Gift Bag)  තිබූ විශේෂ කෝපි පැකැට්ටුව පිලිබඳව කාගෙත් අවධානය යොමු විය. ඒ "Mekong Coffee - A Six-Origin Blend" (澜湄六境) ලෙස හැඳින්වෙන අපූරු කෝපි එකතුවයි.

මේ කෝපි එකතුව සදහා විශේෂ කලාත්මක වටිනාකමක් හිමිය. මීකොං (Mekong) ගංගා ද්‍රෝණිය ආශ්‍රිතව පිහිටි රටවල් හයක (චීනය, මියන්මාරය, ලාඕසය, තායිලන්තය, කාම්බෝජය සහ වියට්නාමය) සංස්කෘතීන් සහ කෝපි සංස්කෘතියේ එකතුවක් ලෙස මෙම "Six-Origin Blend" කෝපි එකතුව නිර්මාණය කර ඇත. පැකැට්ටුවේ ඇති අලංකාර චිත්‍රවලින් ද ඒ ඒ රටවල කෝපි වගාව, අස්වනු නෙලීම සහ සංස්කෘතික අනන්‍යතාවය ඉතා විචිත්‍රවත්ව නිරූපණය කර තිබේ.

මෙම හමුව හුදෙක් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකට එහා ගිය, සංස්කෘතීන් දෙකක් සහ ජනතාවන් දෙපිරිසක් අතර ගොඩනැඟුණු සොඳුරු සුහදතාවයක සංකේතයක් බව පසක් විය. 

සටහන - කසුනි විජේසිංහ

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක් Read Previous

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක්

ශ්‍රී ලංකා මාතාව රනින් සැරසූ රුමේෂ් දිවයිනට Read Next

ශ්‍රී ලංකා මාතාව රනින් සැරසූ රුමේෂ් දිවයිනට

Realted Post

Leave a comment