ඉදිරි දිනවලත් තද වැසි, ගංගා ජල මට්ටම් ඉහළට

බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි දින කිහිපය තුළ තවදුරටත් වර්ධනය වනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අද (21) පෙරවරු 5.30ට නිකුත් කළ නිවේදනයට අනුව, මෙම පද්ධතිය ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් ඇති කරනු ඇතැයි මේ වන විට අපේක්ෂා නොකෙරුණද, එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකිය.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ. 

මීට අමතරව, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ඇතුළු ප්‍රදේශ කිහිපයක පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර තරමක් තද සුළං ඇතිවිය හැකි බවද සඳහන් වේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා ඇත. 

ගංගා ජල මට්ටම් ඉහළට

පවතින අධික වර්ෂාපතනයත් සමග දිවයිනේ ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මහවැලි, කැලණි, කළු, නිල්වලා සහ ගිං යන ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති අතර, මහවැලි ගඟ පේරාදෙණිය ප්‍රදේශයේ සුළු ගංවතුර මට්ටමට ළඟා වී තිබේ. ගම්පොළ, නාවලපිටිය, පේරාදෙණිය සහ වැලිගල්ල යන ප්‍රදේශවල ගංගා ආශ්‍රිත පහත්බිම්වල ජනතාවට විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දී ඇත. 

කැලණි ගඟ ග්ලෙන්කෝස් ප්‍රදේශයේ සුළු ගංවතුර මට්ටමට පැමිණ ඇති අතර, කළු ගඟේ මිල්ලකන්ද, රත්නපුර සහ මගුර යන ස්ථානවල ජල මට්ටම් ගංවතුර අවදානම් මට්ටමට ඉහළ ගොස් තිබේ. ගිං ගඟ තවලම ප්‍රදේශයේද ගංවතුර අවදානම් මට්ටමකට පැමිණ ඇති බව වාර්තා වේ. 

කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟේ මිල්ලකන්ද මිනුම් ස්ථානයේ ජල මට්ටම අද පෙරවරු 6.30 වන විට මීටර් 6.59ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සුළු ගංවතුර මට්ටම ලෙස සැලකෙන මීටර් 6.50 සීමාවද ඉක්මවා තිබේ.

 පාසල් 38ක් වසා දමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද දිනයේ දිවයිනේ පාසල් 38ක් වසා දමා තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබුණු තොරතුරු අනුව මධ්‍යම පළාතේ පාසල් 35ක්ද, සබරගමුව, දකුණ සහ බස්නාහිර පළාත්වල එක් පාසල බැගින්ද අද වසා දමා ඇත.

අයහපත් කාලගුණ තත්ත්වය අනුව පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ වගකීම අදාළ පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත පවරා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 

මධ්‍යම කඳුකරයේ අවදානම ඉහළට

මධ්‍යම පළාතේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අධික වර්ෂාව සමග ජල ගැලීම්, නායයෑම් සහ මාර්ගවලට පස් කඳු කඩා වැටීම් වැනි ආපදා තත්ත්වයන් වාර්තා වී තිබේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා අද (21) මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර ඇත්තේ මෙම තත්ත්වය හේතුවෙන් පළාතේ පාසල් 38ක් වසා දැමීමට පළාත් අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දුන් බවයි.

ඔහු සඳහන් කළ පරිදි නාවලපිටිය ප්‍රදේශයේ පවුල් 66ක් මේ වන විට තාවකාලික ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙන අතර, තලවකැලේ ප්‍රදේශයේ පවුල් 6ක්ද අවතැන්ව තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා තිබේ.

මධ්‍යම කඳුකරයේ ඇතිවිය හැකි ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහා අදාළ රාජ්‍ය නිලධාරීන් සූදානමින් සිටින බවද ආණ්ඩුකාරවරයා පැවසීය.

නායයෑම් අවදානම් ප්‍රදේශවල ජනතාවට අවධානය

පවතින අධික වර්ෂාව හේතුවෙන් නායයෑම් අවදානම් සහිත කඳුකර ප්‍රදේශවල ජනතාව විශේෂ අවධානයෙන් පසුවිය යුතු බව බලධාරීන් දැනුම් දෙයි.

අද පෙරවරු 7.00 සිට හෙට (22) පෙරවරු 7.00 දක්වා බලපැවැත්වෙන අධික වැසි පිළිබඳ ඇම්බර් මට්ටමේ අනතුරු ඇඟවීමක්ද නිකුත් කර තිබේ. එය බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අදාළ වේ.

පසුගිය පැය කිහිපය තුළද ප්‍රදේශ රැසකට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, කෑගල්ල මාලිබොඩ ප්‍රදේශයෙන් මිලිමීටර් 104ක වර්ෂාපතනයක් වාර්තා වී තිබේ. කෑගල්ල කලුවපහන ප්‍රදේශයෙන් මිලිමීටර් 95.5ක්ද, නුවරඑළිය මස්කෙළියෙන් මිලිමීටර් 85.5ක්ද වාර්තා වී ඇත. 

නාවික හමුදාවත් සූදානමින්

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හදිසි ආපදා තත්ත්වයකදී සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවද විශේෂ සූදානමකින් පසුවෙයි.

නාවික හමුදාවේ ආපදා සහන කණ්ඩායම් 171ක් සූදානම් කර ඇති අතර, දකුණු සහ බස්නාහිර පළාත්වල කණ්ඩායම් 14ක්ද යොදවා තිබේ. නාවලපිටිය, රත්නපුර, ගාල්ල සහ සීතාවක ඇතුළු අවදානම් ප්‍රදේශ කිහිපයක මෙම කණ්ඩායම් ස්ථානගත කර ඇති බව නාවික හමුදාව පවසයි.

මේ අතර බෙංගාල බොක්කේ වර්ධනය වෙමින් පවතින කාලගුණ පද්ධතිය ඉදිරි දිනවලදී තවදුරටත් ශක්තිමත් විය හැකි බැවින්, ගංගා ආශ්‍රිත පහත්බිම්වල ජනතාව මෙන්ම නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජනතාවද ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳ අවධානයෙන් සිටින ලෙස බලධාරීහු දැනුම් දෙති.

කාලගුණ තත්ත්වය අනුව ගමනාගමනයට බාධා ඇතිවිය හැකි බැවින්, කඳුකර මාර්ග භාවිත කරන රියදුරන් විශේෂයෙන් සැලකිලිමත් වන ලෙසද දැනුම් දී තිබේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම තොරතුරු අනුව, වර්ෂා තත්ත්වය ඉදිරි දින කිහිපය තුළද පැවතිය හැකි අතර, මේ හේතුවෙන් තත්ත්වය පිළිබඳ අඛණ්ඩව අවධානය යොමු කිරීම වැදගත් වේ.

අශන්ති වරුණසූරිය 

ඉදිරි දිනවලත් තද වැසි, ගංගා ජල මට්ටම් ඉහළට Read Previous

ඉදිරි දිනවලත් තද වැසි, ගංගා ජල මට්ටම් ඉහළට

Low Volume – High Quality නකල්ස් ගැන ගත්ත අලුත්ම තීරණය Read Next

Low Volume – High Quality නකල්ස් ගැන ගත්ත අලුත්ම තීරණය

Realted Post

Leave a comment