මීගමුවේ විලාපය

පසුගිය ජූලි 05 වැනිදා සිට මෙරට ගිණි ගත් සිදුවීමකි මීගමුව බන්ධනාගාර සිදුවීම. බන්ධනාගාරය ඇතුළේ පාතාල කල්ලි දෙකක් අතර ඇතිවූ මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු පාවාදීමක් මුල් කරගෙන මෙම දරුණු ගැටුමක් හටගත් බව වාර්තා විය. 

5වනදා මධ්‍යම රාත්‍රිය වන විට පොලිස් විශේෂ කාර්ය බලකාය මැදිහත් වී තත්ත්වය පාලනය කළද නැවත 6වනදා ගැටුම්කාරී තත්වයක් ගොඩ නැගිණි. ඊයේ වන විට ඇති වූ නොසන්සුකාරි තත්වය සමනය වී තිබුණත් මෙම ඛේදනීය සිදුවීමෙන් 26ක් මිය ගොස් 100කට අධික පිරිසක් තුවාල ලබා තිබිණි. 

මේ ගැන අදහස් දැක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර මහතා,

"බන්ධනාගාරවල ප්‍රධාන දොරටු දෙකක් තියෙනවා. ඉස්සෙල්ලාම තියෙන්නේ යකඩ දොර, ඊට පස්සේ ලෑලි දොර. මේ රැඳවියන් යකඩ දොරත් කඩාගෙන ලෑලි දොර දෙසට ඇවිත් තිබුණේ. ඒ වෙනකොටත් අපේ නිලධාරීන් විශාල ප්‍රමාණයක් ඇතුළේ රැඳවියන් අතර හිරවෙලා, ඔවුන්ට පහර දෙනවා. ඔවුන් ඇතුළට ගියේ රැඳවියන් අතර තියෙන ඝට්ටනය වළක්වන්න. මේ රැඳවියන් ලෑලි දොරත් කඩාගෙන එළියට ආවානම් වෙන විනාශය තක්සේරු කරන්න බෑ. නිලධාරීන් තමන්ගේ ජීවිතය පරදුවට තියලා ඒ ලෑලි දොරින් වෙඩි තැබීම කළේ ඒ නිසයි..."

ඔහු සදහනක් කළ නිලධාරීන් අතර එක නිලධාරී මහතෙකු වූ කුරුණෑගල, වත්තේගෙදර පදිංචිව සිටි 41 හැවිරිදි ඩිලාන් ශ්‍රී අභයවර්ධන මහතා ද ඒ අවාසනාවන්ත ගැටුමෙන් ජීවිතය අහිමි වූ බන්ධනාගාර නිලධාරීන් 7 දෙනාගෙන් එක් අයෙකි. ඔහු වසර 12ක් රට වෙනුවෙන් නාවික හමුදාවේ සේවය කර, පසුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බැඳී වසර 5කට ආසන්න කාලයක් අවංකව සේවය කළ අයෙක් බව ඔහු ගැන විමසන විට අපට අසන්න හැකි විය. ගුරුවරියක වූ ඔහුගේ බිරිඳත්, 7 හැවිරිදි දියණියත්, මාස 9ක පුංචි පුතු හැරදා ඔහු මේ වන විට මේ ලෝකයෙන් නික්ම ගොසිණි. 

මිය යන්නේ නිලධාරින්ද රැදවියන්ද කවුරුන් වුවත් මෙකී අහිමි වීමේ  හිස් තැන් පුරවන්න වෙනත් කිසිදේකට හැකියාවක් නැත. එවැනිම කොළඹ ජාතික රෝහලේ බන්ධනාගාර නිලධාරීන් 15 දෙනෙකු සහ රැඳවියන් 14 දෙනෙකු ඇතුළුව 29 දෙනෙකු ජීවිතයත් මරණයත් අතර සටනක පසුවෙති. ඊයේ දිනයේදී මිගමුව මහා රෝහලෙන් අපට පැවසුවේ හදුනා නොගත් මළසිරුරු 4ක් රෝහලේ තැම්පත් කර ඇති බවයි. 

මීගමුව බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් දැනට විමර්ශන ක්‍රියාත්මක වේ. මීගමුවේ අප සිටි මේ දින කිහිපය පුරාවටම ඇසුණු ඒ විලාපය, එදා සිට මේ දක්වා අප කතා කරන කුණුගද ගසන සිස්ටම් එකෙහි වසර ගණනාවක ප්‍රථිපලයක් නොවන්නේද ?

මියගිය බන්ධනාගාර නිලධාරීන්ට සහ රැඳවියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතරම, මෙවැනි අකල් මරණ  නැවත කිසිදා සිදුනොවේවායි ප්‍රර්ථනා කරමු!
එවැනිම තුවාල ලැබූ සියල්ලටම ඉක්මන් සුව ප්‍රර්ථනා කරමු !

අශන්ති වරුණසූරිය

අසිගිරි මහා විහාර පාර්ශවයේ අනූනායක ආචාර්ය නාරම්පනාවේ ආනන්ද හිමියන්  කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති ධූරයට Read Previous

අසිගිරි මහා විහාර පාර්ශවයේ අනූනායක ආචාර්ය නාරම්පනාවේ ආනන්ද හිමියන් කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති ධූරයට

මීගමුවේ විලාපය Read Next

මීගමුවේ විලාපය

Realted Post

Leave a comment