සමේ දීප්තිය, නිරෝගී හිසකෙස් වෙනුවෙන් ආයුර්වේදයේ පැරණි ප්‍රතිකාර ක්‍රමයක්
කාන්තාවන් බොහෝ දෙනකුගේ බලාපොරොත්තුව වන්නේ නිරෝගී, පැහැපත් සමක් සහ සුන්දර පෙනුමක් පවත්වාගෙන යෑමයි. ඒ වෙනුවෙන් විවිධ රූපලාවන්‍ය සත්කාරවලට යොමු වන කාන්තාවන් අතර ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම පිළිබඳවද ඇත්තේ විශේෂ උනන්දුවකි. එවැනි පැරණි ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයක් වන නස්න කර්මය සෞඛ්‍යමය ප්‍රතිලාභවලට අමතරව රූපලාවන්‍ය සත්කාරයක් ලෙසද ඇතැම් අවස්ථාවල භාවිත කරනු ලබයි.
නස්න කර්මය යනු කුමක්ද?
නස්න කර්මය යනු ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාර ක්‍රම පහෙන් එකකි. මෙහිදී පුද්ගලයාගේ අවශ්‍යතාව සහ පවතින තත්ත්වය අනුව ඖෂධීය තෙල්, ඖෂධීය යුෂ හෝ වෙනත් ඖෂධීය ද්‍රව්‍ය නාස් පුඩු හරහා ලබාදීම සිදු කරයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව හිස, මුහුණ සහ ගෙල ආශ්රිත ප්‍රදේශවල පවතින විවිධ ගැටලු සඳහා මෙම ප්‍රතිකාර ක්‍රමය යොදාගනු ලබයි.
රූපලාවන්‍යයට ලැබෙන ප්රතිලාභ මොනවාද?
ආයුර්වේද චිකිත්සා සම්ප්රදාය තුළ නස්න කර්මය සමේ සහ හිසකෙස්වල සෞඛ්‍යය පවත්වාගෙන යෑමට උපකාරී වන අතිරේක සත්කාරයක් ලෙසද සැලකේ.
මෙම ප්‍රතිකාරය මඟින් ලැබිය හැකි බව සඳහන් කරන රූපලාවන්‍ය ප්රතිලාභ අතර,
- සමේ නිරෝගී බව සහ ස්වභාවික දීප්තිය පවත්වා ගැනීමට සහාය වීම.
- කුරුලෑ සහ සමේ ලප කැළැල් සම්බන්ධ ගැටලු සඳහා අදාළ ආයුර්වේද ප්‍රතිකාර සැලැස්මක කොටසක් වීම.
- මුහුණේ නැවුම් පෙනුම පවත්වා ගැනීමට සහාය වීම.
- මානසික සැහැල්ලුව සහ සුවපහසුව ඇති කිරීමට උපකාරී විය හැකි සත්කාරයක් වීම.
- හිසකෙස්වල නිරෝගී බව පවත්වා ගැනීම සඳහා අදාළ ප්‍රතිකාර සැලැස්මක කොටසක් වීම. යන කරුණු සඳහන් කළ හැකිය.
කෙසේ වෙතත්, නස්න කර්මය මඟින් කුරුලෑ, ලප කැළැල් හෝ වයස්ගත වීමේ ලක්ෂණ අනිවාර්යයෙන්ම ඉවත් වන බවට තහවුරු කළ විද්‍යාත්මක සාක්ෂි සීමිතය. එබැවින් මෙය සියලුම රූපලාවන්‍ය ගැටලුවලට විසඳුමක් ලෙස සැලකීම සුදුසු නොවේ.
ප්‍රතිකාරයට යොදාගන්නා ඖෂධීය තෙල්
මෙම ප්‍රතිකාරය සඳහා පුද්ගලයාගේ අවශ්‍යතාව අනුව එළඟි තෙල්, ෂඩ්බින්දු තෙල්, තල තෙල්, මහානාරායන තෙල්, බ්රාහ්මී තෙල් සහ වෙනත් ඖෂධීය තෙල් වර්ග භාවිත කළ හැකිය. ඒ සඳහා යොදාගන්නා ඖෂධ සහ ඒවායේ මාත්‍රාව තීරණය කරන්නේ සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයා විසිනි.
නිවසේදී අත්හදා බැලිය හැකිද?
නස්න කර්මය සාමාන්‍ය රූපලාවන්‍ය සත්කාරයක් මෙන් නිවසේදී තනිවම සිදුකළ යුතු ප්‍රතිකාරයක් නොවේ. වැරදි ඖෂධයක් හෝ වැරදි මාත්‍රාවක් භාවිත කිරීමෙන් සංකූලතා ඇති විය හැකිය.
එබැවින් රූපලාවන්‍ය ප්රතිලාභ අපේක්ෂාවෙන් වුවද මෙම ප්‍රතිකාරයට යොමුවීමට පෙර සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබාගැනීම වැදගත්ය.
සුන්දරත්වය යනු බාහිර පෙනුම පමණක් නොව නිරෝගී ජීවිතයක ප්රතිඵලයකි. එබැවින් ඕනෑම රූපලාවන්‍ය සත්කාරයක් තෝරාගැනීමේදී ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳවද සැලකිලිමත් විය යුතුය.
සටහන – මහේෂානි මීගහපොල
උපදෙස් – ආයුර්වේද වෛද්‍ය ඉමාෂා උඩවත්ත

Leave a comment