රටේ දියුණුවට ඉංජිනේරුවන් අත්‍යාවශ්‍යයි

රටේ ආර්ථික වර්ධනයට සංවර්ධනයට වේගවත් දියුණුවක් ලබා ගත හැකි වෘත්තියක් ලෙස ඉංජිනේරු වෘත්තිය හැඳින්විය හැකි බවත් එය මහපොළොවේ සත්‍යයක් හා යථාර්ථයක් බවත් රටේ වැඩි වැඩියෙන් ඉංජිනේරුවන් බිහි කර ඉංජිනේරු වෘත්තිය ආරක්ෂා කර බුද්ධිගලනය අවම කර රටට ඉංජිනේරුවන් අහිමි වීම වළක්වා ගැනීම වැදගත් කරුණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය සමග පැවති සාකච්ඡාවකදීය.

ඉංජිනේරු වෘත්තියේ තමන්ගේ රාජකාරිය ඇගයීමට ලක් කර 2012 වසරේ සිට ක්‍රියාත්මක වූ FAT Allowance (Field Attendance and Transport Allowance) එක 2024 ජුලි මාසයේ අහිමි වූ නිසා මේ ඉංජිනේරුවන් හා වෘත්තීයවේදීන් ආරක්ෂා කර ගැනීමට ක්‍රියාත්මක විය යුතු බවත් රු. 25000 දීමනාව වෙනුවට රු. 75000 දක්වා එම දීමනාව වර්ධනය විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඉංජිනේරුවන්ගෙන් බාහිරව රටක් ලෙස දියුණු විය නොහැකි බවත් අද නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිකිරීම්, සේවා, කෘෂිකර්මාන්ත හා ධීවර ඇතුළු සෑම අංශයකම ඉංජිනේරු වෘත්තියේ වැදගත්කම පිළිගෙන ඇති නිසා තවදුරටත් ඉංජිනේරුවන් රටට අහිමි කළ නොහැකි බවත් 1500ක් සිටිය වුවත් මේ වන විට 1000ක් සිටින බවත් 500ක් රට අතහැර ගොස් ඇති බවත් බොහෝ දෙනා සුදුසුකම් සැපිරූ විටම විදේශගත වන විට එය රටට අහිතකර ලෙස බලපාන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මීට වඩා විමසිලිමත්ව අවබෝධයක් ලබා ගෙන ඉංජිනේරු ක්ෂේත්‍රය වෙනුවෙන්ම දීමනා 75000ක් විය යුතු බවත් වෛද්‍යවරු වෘත්තීයවේදීන් ඉංජිනේරුවන් රට අතහැර යන බවට පාර්ලිමේන්තුවේ කියනවා සේම මේ වෘත්තීයවේදීන් රට තුළ රදවා ගැනීමට ප්‍රායෝගික නිශ්චිත වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් මහා භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරි යන මොහොතක වත්මන් පරපුර සහ අනාගත පරපුර සුරක්ෂා කිරිමට ප්‍රශස්ත ප්‍රබුද්ධ ජවසම්පන්න රටක් පොහොසත් රටක් නිර්මාණය කිරීමට ඉංජිනේරු වෘත්තිය රැකගත යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

වියට්ජෙට් ජාත්‍යන්තර සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි Read Previous

වියට්ජෙට් ජාත්‍යන්තර සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

SLT-MOBITEL සම්මාන රැසකින් පිදුම් ලබයි Read Next

SLT-MOBITEL සම්මාන රැසකින් පිදුම් ලබයි

Realted Post

Leave a comment