වසර 20ක ඉතිහාසයේ එක් වසරකදී පිරිනැමූ වැඩිම ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව මෙවර

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ වසර 20ක ඉතිහාසය තුළ එක් වසරකදී වැඩිම ශිෂ්‍යත්ව සංඛ්‍යාවක් පිරිනැමූ අවස්ථාව මෙය වන අතර, 2006 වසරේ ආරම්භ කළ වැඩසටහන යටතේ මේ දක්වා පිරිනමා ඇති සමස්ත ශිෂ්‍යත්ව සංඛ්‍යාව 1,233කි.

මාධ්‍යවේදීන්ගේ වෘත්තීය දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කරමින් ගුණාත්මක, වගකීම්සහගත හා වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීමේ අරමුණින් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙවර වැඩසටහනේ විශේෂත්වයක් වන්නේ ප්‍රථම වරට ආචාර්ය උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ද ශිෂ්‍යත්ව පිරිනැමීමයි.

ඒ අනුව ආචාර්ය උපාධි පාඨමාලා සඳහා රුපියල් ලක්ෂ හතක් දක්වා ද, පශ්චාත් උපාධි සහ සාමාන්‍ය උපාධි පාඨමාලා සඳහා රුපියල් ලක්ෂ 3.5ක් දක්වා ද, ඩිප්ලෝමා සහ සහතික පත්‍ර පාඨමාලා සඳහා රුපියල් ලක්ෂ දෙකක් දක්වා ද මූල්‍ය ආධාර ලබාදීමට නියමිතය.

ශිෂ්‍යත්වලාභීන් තෝරාගැනීම තාක්ෂණික සුදුසුකම් ඇගයීම සහ සම්මුඛ පරීක්ෂණ මත පදනම්ව සිදුකළ බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මහත්මිය සඳහන් කළාය.

මාධ්‍යවේදීන් තම වෘත්තීය කටයුතුවල නිරත වීමේදී මාධ්‍ය ආචාරධර්ම ආරක්ෂා කරමින් ගුණාත්මක හා වගකීම්සහගත මාධ්‍යකරණයක නිරත වීමේ වැදගත්කම ද ඇය අවධාරණය කළාය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දුන්නේ තොරතුරු තාක්ෂණයේ වේගවත් වෙනස්වීම් හමුවේ මාධ්‍යවේදීන් විධිමත් අධ්‍යාපනයකින් මෙන්ම නවීන තාක්ෂණික දැනුමකින් ද සන්නද්ධ වීම අත්‍යවශ්‍ය බවයි.

එමෙන්ම තරුණ පරපුර තුළ මාධ්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා පාසල් මාධ්‍ය ඒකක තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද ඔහු පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජනමාධ්‍ය අංශය මඟින් වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන මෙම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල සේවය කරන පූර්ණකාලීන, අර්ධකාලීන, ප්‍රාදේශීය, නිදහස් හා විදේශීය මාධ්‍යවේදීන් ඇතුළු මාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධ වෘත්තිකයන්ට උසස් අධ්‍යාපන හා පුහුණු පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථාව සැලසේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන මාධ්‍යවේදී හැඳුනුම්පත හිමි, පිළිගත් මාධ්‍ය ආයතනයක වසර දෙකක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති වයස අවුරුදු 18ත් 55ත් අතර සුදුසුකම්ලත් පිරිසට මෙම ආපසු නොගෙවන ශිෂ්‍යත්ව සඳහා අයදුම් කළ හැකිය.

මෙම වැඩසටහන සඳහා මහා භාණ්ඩාගාරය මඟින් වෙන්කර ඇති ප්‍රතිපාදන ද පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර සැලකිය යුතු ලෙස ඉහළ නංවා තිබේ. ඒ අනුව 2023 වසරේදී රුපියල් මිලියන පහක් ද, 2024 වසරේදී රුපියල් මිලියන 2.5ක් ද, 2025 වසරේදී රුපියල් මිලියන හතක් ද වශයෙන් ප්‍රතිපාදන ලබාදී ඇති අතර, 2026 වසර සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 54.3කි.

පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර වැඩිම අයදුම්පත් සංඛ්‍යාවක් ලැබී තිබූ අතර, අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත්කරන ලද තේරීම් කමිටුවක් මඟින් පවත්වන ලද සම්මුඛ පරීක්ෂණවලින් අනතුරුව ශිෂ්‍යත්වලාභීන් 161 දෙනා තෝරාගෙන තිබේ.

ඩිජිටල් මාධ්‍ය භාවිතය, සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන අසත්‍ය තොරතුරු සහ නව සන්නිවේදන තාක්ෂණයන් හමුවේ මාධ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග ඉහළ යමින් පවතින පසුබිමක, මාධ්‍යවේදීන්ගේ අධ්‍යාපන හා වෘත්තීය කුසලතා සංවර්ධනය කිරීම සඳහා මෙවැනි වැඩසටහන්වල වැදගත්කම තවදුරටත් ඉස්මතු වේ.

අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ශිෂ්‍යත්වලාභීන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩල නියෝජිතයෝ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

අශන්ති වරුණසූරිය

වසර 20ක ඉතිහාසයේ එක් වසරකදී පිරිනැමූ වැඩිම ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව මෙවර Read Previous

වසර 20ක ඉතිහාසයේ එක් වසරකදී පිරිනැමූ වැඩිම ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව මෙවර

වයසට ගියත් තරුණ ජවයෙන් ජීවත් වන අයගේ රහස Read Next

වයසට ගියත් තරුණ ජවයෙන් ජීවත් වන අයගේ රහස

Realted Post

Leave a comment