සීතලට ඔට්ටු නැතිනම් මේ කඳවුරු භූමියට යන්න එපා.

මීදුම් සළුවෙන් වැසුණු, සුළඟින් පාවී එන තේ දළු සුවඳත් සමඟ ගත සිත නලවන සීතල සුළං රැල්ලක පහස විඳීමට කැමති අයෙකුට, නගරයේ ‍‍ ඝෝෂවෙන් සහ දෛනික කාර්යබහුලත්වයෙන්  මිදී පැමිණිය හැකි අපූර්ව නවාතැනක් මධ්‍යම කඳුකරයේ හදවතෙහි සැඟවී තිබේ. ඒ, ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත්, ස්වාභාවික සෞන්දර්යයේ අගමුල නොපෙනෙන අපූර්වත්වය කැටි කරගත් රොක්වුඩ් වතුයායේ පිහිටි ඊස්ටර්ලන්ඩ් (Easterland) කඳවුරු භූමියයි.

නුවරඑළිය දිස්ත්‍රීක්කයේ හේවාහැට ප්‍රදේශයේ රුක්වුඩ් වතුයාය මැදින් දිවෙන කොළ පැහැති තේ වතු පීලි පසුකරමින් ඉදිරියට යන විට,  ඉහළම කෙළවරක මෙම සුන්දර කඳවුරු භූමිය පිහිටා ඇත. සුවිශේෂී පාෂාණමය පිහිටීම් සහ ප්‍රපාතාකාර සුන්දර කොළ පැහැති නිම්නවලට මුහුණලා පිහිටි රොක්වුඩ් වතුයායේ (Rockwood Estate) ඉහළම බිම් කඩක් වන ඊස්ටර්ලන්ඩ්, සංචාරකයන් අතර ජනප්‍රිය වී ඇත්තේ එහි ඇති නිසංසල සහ විවිධාකාර දේශගුණික ලක්ෂණ නිසාවෙනි.

අන් කඳවුරු භූමි මෙන් නොව , මෙම කඳවුරු භූමිය ක්ෂණිකව හඳුනාගත හැකිවනුයේ එහි ඇති සුවිශේෂී වු පිහිටිම නිසාය. කඳුවුරු භූමියටම ඇත්තේ විශාල එක් වෘක්ෂයක් පමණි. එය කඳවුරු භූමියට අලංකාරයක් මෙන්ම අනන්‍යතාවයක් ද ගොඩනැංවනු ලබයි. 


ඊස්ටර්ලන්ඩ් කඳවුරු භූමියට පියනගන ඕනෑම අයෙකුට පළමුවෙන්ම දැනෙන්නේ සොබාදහමේ සන්සුන් පැවැත්මයි. කඳවුරු බැඳීම  සඳහාම සකස් කරන ලද මෙම භූමියෙන් අවට පෙනෙන පරිසරය දර්ශනීයය.   තේ වතු සිරිය සහ කඳුකර දසුන්: හාත්පස පැතිරුණු නීල පැහැති තේ යායවල් සහ ඈතින් පෙනෙන මීදුමෙන් වැසුණු කඳු මුදුන් සිතට ගෙනෙන්නේ අපූර්ව ශාන්ත භාවයකි.

මෙහි සංචාරයක කරන්නෙකුට අත්දැකීමට ලැබෙන තවත් සුවිශේෂී වු දෙයක් නම් සැබෑ නිහඩබවයි.  එක් වරම කිසිදු ශබ්ධයක් නොඇසී යාමත්, හුදෙකලා නිම්නයේ වර්ණයන් අලු පැහැය සහ සුදු පැහැය මත ඉතා දිලිදුව අනෙකුත් වර්ණ එලී තිබීමත් යම් ගුප්ත ස්වරූපයක් නිර්මාණය කළ ඳ, පාරිසරියක සුන්දරත්වය අතින් මෙම කඳවුරු භූමිය ඉතා පොහොසත් ය. 

උදෑසන මීදුම් පටල අතරින් මතුවන රන්වන් හිරු රැස් තේ දළුවල රැඳි පිනි බිංදු මත වැටී දිලිසෙන දසුන සංචාරකයෙකුගේ නෙතට මනරම් දසුනකි. කඳවුරු ගිනිමැලය සහ රාත්‍රී කාලයේදී ගත සීතල කරන සුළං රැළි හමන විට, ගිනිමැලයක් දල්වාගෙන තාරකා පිරුණු අහස දෙස බලා සිටීම ජීවිතයට එකතු කරන්නේ කිසිදා අමතක නොවන අත්දැකීමකි. කඳවුරු බැඳීම සදහා සංචාරකයෙකු විසින් කාර්යාලයෙන් ප්‍රවේශපත්‍රයක් ලබාගත යුතු අතර, අනතුරුව කඳවුරු භූමිය වෙත ඔබට යා හැකිය. 

මෙම පාරිසරික පාරාදීසයේ සුන්දරත්වය අනාගත පරපුර උදෙසා ද රැකගත යුතුය. එබැවින් ඊස්ටර්ලන්ඩ් වෙත යන ඔබ   ප්ලාස්ටික් හෝ පොලිතින් පරිසරයට මුදා හැරීමෙන් වළකින්න. ස්වාභාවික පද්ධතියට සහ වතු යායේ නිහඬතාවයට බාධා නොවන ලෙස හැසිරෙන්න.    වතු පාලන අධිකාරියේ උපදෙස් අනුගමනය කරමින් ආරක්ෂිතව කඳවුරු බඳින්න.

ගතට සිසිලසත්, සිතට සැනසිල්ලත් සපයන රොක්වුඩ් වත්තේ ඊස්ටර්ලන්ඩ් කඳවුරු භූමිය යනු නගරයේ වෙහෙසකර බවින් මිදී ස්වාභාවික පරිසරයේ සැබෑ සුවය විඳගැනීමට සුදුසුම නැවතුමයි. එය අනාගත පරපුර සඳහා රැකගැනීම අපගේ යුතුකමක් වන බව සිහියේ තබාගෙන මතකයන් පමණක් රැගෙන ආපසු පැමිණෙන්න

මහේෂ් කිරිතිරත්න 

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු Read Previous

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක් Read Next

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක්

Realted Post

Leave a comment