සෙනෙහසේ නවාතැනෙන් සමුගත් අපේ මිනිස්සු...

මුළු මහත් ශ්‍රී ලංකාවම කම්පාවට පත් කරමින්, හොරණ බටගොඩ ප්‍රදේශයේ පිහිටි "සෙනෙහසේ කැදැල්ල මව්පිය සෙවණ" වැඩිහිටි නිවාසයේ මැයි මස 03 වන දින හදිසියේ හටගත් දරුණු ගින්නකින් අසරණ වැඩිහිටියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ජීවිතයේ සැඳෑ සමය ගත කරමින් සිටි මේ අසරණ මව්පියන්ගේ සෙනෙහසේ නවාතැන මිනිත්තු කිහිපයක් ඇතුළත අළුධූලි බවට පත් කරමින් ඇවිළී ගිය මේ සාහසික ගින්න, සමස්ත ලාංකේය ජනතාවගේම දෑසට කඳුළු උනන සංවේගජනක පුවතක් බවට පත්ව ඇත.

සිද්ධිය වාර්තා වූ සැණින් ක්‍රියාත්මක වූ යුද, නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදා නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් ද එක්ව දැඩි පරිශ්‍රමයක් දරා ගින්න මැඩපැවැත්වීමටත්, එහි සිරවී සිටි වැඩිහිටියන් බේරාගැනීමටත් කටයුතු කළහ. ආරක්ෂක අංශ    සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේදී මෙම වැඩිහිටි නිවාසය තුළ නේවාසිකයන් 72 දෙදෙනෙකු රැඳී සිට ඇති බවත් ඉන් 50 දෙනෙකු කිසිදු හානියකින් තොරව නිරුපද්‍රිතව බේරාගැනීමට ත්‍රිවිධ හමුදා මුදාගැනීමේ කණ්ඩායම් සමත් වූ අතර, දුමාරය නිසා සහ පිළිස්සුම් තුවාල ලැබූ තවත් 8 දෙනෙකු කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති බවයි.

කෙසේ වුවද, ගින්නෙහි බිහිසුණු බව හමුවේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ මව්පියන් 11 දෙනෙකුගේ දේහයන් නිවාසය තුළ තිබී  ඇති අතර, තවත් වැඩිහිටියන්  තිදෙනෙකු පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් නොමැතිව අතුරුදන්ව ඇති බව පොලිසිය සනාථ කරයි. අතුරුදන් වූ පිරිස සෙවීම සඳහා මේ වන විටත් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වේ. එමෙන්ම ගින්න හටගැනීමට හේතුව සෙවීම සඳහා හොරණ පොලිසිය,ආරක්ෂක අංශ  සහ රස පරීක්ෂක එක්ව පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත.

තමන් ලේ කිරි කර පොවා හදාවඩා ගත් දරුවන්ගෙන් වෙන්ව, ජීවිතයේ අවසන් කාලය සැනසීමෙන් ගත කරන්නට පැමිණි මේ අහිංසක මව්පියන්ට අවසානයේ උරුම වූයේ ගිනි ජාලාවකට බිලි වන්නටය. ඇඳි වත පමණක් ඉතිරි කරමින්, ඔවුන්ගේ සියලු බලාපොරොත්තු සහ මතකයන් ද සමඟින් සිරුරු ගිනිබත් කර දැමූ මේ මහා ඛේදවාචකය හුදෙක් අනතුරක්ම පමණක් නොව, මුළු මහත් සමාජයකම හදවත් කම්පා කරවන දරාගත නොහැකි ශෝකාන්තයකි. 

සටහන 
අංජු බණ්ඩාර

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්. Read Previous

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්.

නිවසේ සිට කරන රැකියා ලබා දෙනවා කියා කාන්තාවන් රවටලා Read Next

නිවසේ සිට කරන රැකියා ලබා දෙනවා කියා කාන්තාවන් රවටලා

Realted Post

Leave a comment