78 වසරත නිදහස සහ ලාංකේය කාන්තාව

අතීත උරුමය, වර්තමාන අරගලය සහ අනාගත සිහිනය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ යදම් බිඳ දමමින් 1948 වසරේ පෙබරවාරි 4වනදා අප ලබාගත් නිදහසට දැන් වසර 78කි. වසර හැත්තෑ අටක් යනු මිනිසෙකුගේ ජීවිත කාලයකින් ගත් කල පරිණත මහලු වියකි. එහෙත් ජාතියක් ලෙස අප තවමත් සොයමින් සිටින්නේ එම නිදහසේ සැබෑ අර්ථයයි. විශේෂයෙන්ම, මෙරට ජනගහනයෙන් 52%ක් වන කාන්තාව සම්බන්ධයෙන් නිදහස යන්න කිනම් අර්ථයක් ජනිත කරන්නේද යන්න ගැඹුරින් විමසා බැලිය යුතු කාලය එළඹ ඇත.

  • නිදහස් සටනේ සැඟවුණු හඬ

අප නිදහස ගැන කතා කරන විට බොහෝ විට මතක් කරනුයේ පුරුෂ නායකත්වයන්ය. එහෙත් නිදහස් අරගලය පිටුපස සිටි සුවිශේෂී කාන්තා චරිත බොහොමයකි. හුදෙක් සෙවණැලි මෙන් නොව, සෘජු නායකත්වය දෙමින් වීදි බැස සටන් කළ කාන්තාවෝ අපට සිටියහ. ලංකා සමසමාජ පක්ෂයේ සහ සූරියමල් ව්‍යාපාරයේ පෙරමුණ ගත් සෙලීනා පෙරේරා, ඩොරීන් යං වික්‍රමසිංහ සහ විවියන් ගුණවර්ධන වැනි සටන්කාමී කාන්තාවන් නිදහස යන්න හුදෙක් සුදු ජාතිකයන් රටින් පිටවීමක් පමණක් නොව, එය සාමාන්‍ය ජනතාවගේ විමුක්තිය විය යුතු බව විශ්වාස කළහ. ඔවුන් එදා දැල්වූ ඒ නිදහසේ පන්දම, අද පරම්පරාවේ කාන්තාවන් අත තිබේද යන්න ප්‍රශ්නාර්ථයකි.

  • නිදහස සහ ඇයගේ ආර්ථික දායකත්වය

නිදහස ලබා වසර78ක් ගතවන තැන, ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කොන්ද පණගන්වා සිටින්නේ කාන්තාවයි. තේවතු ක්ෂේත්‍රය, ඇඟලුම් කර්මාන්තය සහ මැදපෙරදිග රැකියා මගින් රටට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන බලවේගය ඇයයි. නමුත් උත්ප්‍රාසය නම්, රටේ නිදහස වෙනුවෙන් වැඩිම දායකත්වයක් දෙන කාන්තාව තවමත් තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී කොන් වී සිටීමයි. වතුකරයේ දලු නෙළන කාන්තාවට හෝ ඇඟලුම් සේවිකාවට තමන් උපයන මුදල සම්බන්ධයෙන් හෝ තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් ඇති නිදහස කොපමණද?

  • නිදහස් වෙළෙඳ කලාපය සහ රාත්‍රී සේවා නියුක්තිය

නිදහස් වෙළෙඳ කලාපය යනු මෙරට අපනයන ආර්ථිකයේ හදවතයි. එහි සේවය කරන දසදහස් සංඛ්‍යාත කාන්තාවන් හුදෙක් ශ්‍රමිකයන් පමණක් නොව, මෙරට කාර්මික විප්ලවයේ සැබෑ කොටස්කරුවෝ වෙති. ඔවුන්ගේ දෑතින් නිමවන ඇඟලුම් ලෝක පූජිත වෙළෙඳ නාමයන් යටතේ අලෙවි වන විට, ඉන් උපයන සෑම ඩොලරයක්ම මෙරට ජාතික ආදායමට සෘජුවම බද්ධ වේ. ඇයගේ මෙම දායකත්වය පවුලේ ආර්ථිකය ශක්තිමත් කරනවා සේම, ග්‍රාමීය දරිද්‍රතාවය පිටුදැකීමටද ප්‍රධාන හේතුවක් වී තිබේ.
එමෙන්ම, කාන්තාවන්ට රාත්‍රී 10න් පසුව හෝටල් ක්ෂේත්‍රයේ සේවය කිරීමට අවසර ලැබීම මෙරට ආර්ථික ගමන් මගෙහි තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයකි. මින් පෙර පැවති සීමාකාරී නීති ඉවත් වීමෙන්, සංචාරක කර්මාන්තය වැනි ඉහළ ආදායම් ලබන ක්ෂේත්‍රයන්හි කළමනාකාරීත්ව සහ මෙහෙයුම් මට්ටම්වලට පිවිසීමට ඇයට තිබූ බාධාවන් ඉවත් වේ. මෙය ඇයට අමතර ආදායම් මාර්ග උත්පාදනය කරගැනීමටත්, වෘත්තීය නිදහස භුක්ති විඳීමටත් ලැබුණු මහඟු අවස්ථාවකි. කාන්තාවකට ඕනෑම වේලාවක ගෞරවනීය රැකියාවක නිරත වීමට ඇති අයිතිය තහවුරු වීම හරහා, ඇයගේ ආර්ථික දායකත්වය දළදේශීය නිෂ්පාදිතයට වඩාත් සක්‍රීයව එක්වන අතර, එය රටේ සැබෑ නිදහස අර්ථවත් කරන්නකි.

  • සමාජීය සහ දේශපාලනික නිදහස

ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බිහි කළ රට ලෙස අපට ආඩම්බර විය හැකි වුවත්, වර්තමාන පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය තවමත් පවතින්නේ ඉතා අවම මට්ටමකය. නිදහස් රටක පුරවැසියන් ලෙස කාන්තාවන්ට දේශපාලනිකව සහ සමාජීයව සමාන අවස්ථා හිමි විය යුතුය. පවුල තුළ, රැකියා ස්ථානයේ සහ පොදු ප්‍රවාහනයේදී ඇයට ඇති ආරක්ෂාව ඇයගේ නිදහසේ මිනුම්දණ්ඩය. රාත්‍රී කාලයේදී බියකින් තොරව මාවතක ගමන් කිරීමට ඇති නිදහස තවමත් අප රටේ කාන්තාවට සම්පූර්ණයෙන් ලැබී නැතිනම්, අප සමරන නිදහස අසම්පූර්ණ එකකි.

  • අධ්‍යාපනය සහ චින්තන නිදහස

නිදහසින් පසු මෙරට ලැබූ විශාලතම ජයග්‍රහණය වන්නේ නිදහස් අධ්‍යාපනයයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙරට කාන්තා සාක්ෂරතාව ඉතා ඉහළ මට්ටමක පවතී. අද වන විට විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන්ගේ සංඛ්‍යාව ශිෂ්‍යයන්ට වඩා වැඩිය. මෙය විශාල ජයග්‍රහණයකි. එහෙත් අධ්‍යාපනයෙන් ලබන ඒ බුද්ධිමය නිදහස ප්‍රායෝගිකව භාවිත කිරීමට ඇයට ඉඩ ලැබෙන්නේද? උගත් කාන්තාව පවා සාම්ප්‍රදායික මතවාද සහ පීතෘමූලික සමාජ රාමුව තුළ සිරවී සිටිනු බොහෝ විට දක්නට ලැබේ. සැබෑ නිදහස යනු කාන්තාවට තමන්ගේ ජීවිතය පිළිබඳ ස්වාධීන තීරණ ගැනීමට ඇති අයිතියයි.

  • අනාගත දැක්ම

නිදහසේ 78වන වසර සමරන මේ මොහොතේ අපට අවශ්‍ය වන්නේ සැරසිලි සහ උත්සව පමණක් නොවේ. අපට අවශ්‍ය වන්නේ කාන්තාවට ගෞරවනීය ලෙස ජීවත් විය හැකි, ඇයගේ හඬට සවන් දෙන සහ ඇයගේ ශ්‍රමය අගය කරන සමාජයකි. කාන්තාව යනු රටක ජීව රුධිරයයි. ඇය නිදහස් වන තාක් කල් ජාතියක් ලෙස අපට පූර්ණ නිදහස අත්විඳිය නොහැක. එබැවින්, මෙම 78වන නිදහස් දිනය, කාන්තාවන්ට එරෙහි සියලු වෙනස්කොට සැලකීම්වලින් නිදහස් වූ, සාධාරණ හෙටක් වෙනුවෙන් අදිටන් කරගන්නා දිනයක් බවට පත්කරගත යුතුය. නිදහස යනු වසරකට වරක් ඔසවන ධජයක් නොව, දිනපතා අප භුක්ති විඳින මානුෂීය අයිතිවාසිකමක් විය යුතුය. විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය කාන්තාවට එය එසේම විය යුතුය.

  • නදීශා අතුකෝරළ

සිනහා  බෝ වේවා Read Previous

සිනහා බෝ වේවා

රංගන ශිල්පී හේමාල්ට ඇප Read Next

රංගන ශිල්පී හේමාල්ට ඇප

Realted Post

Leave a comment