අභිරහස් ගවේෂණයට කැමති ඔබට, ඒවන ස්ථාන ගොඩක්

ඉතිහාසයත් අභිරහසත් එකට බැඳුණු ලෝකයකට පියවර තබමින් සිටිති. මිනිස් ශිෂ්ටාචාරයේ අතීතය පිළිබඳ තවමත් විසඳාගත නොහැකි ප්‍රශ්න රැසක් සඟවාගෙන සිටින පුරාණ ස්ථාන ලොව පුරා තිබේ. වැලි අතර සැඟවී ගිය නගර, මුහුදු පතුලේ ගිලී ගිය රාජධානි, දුරස්ථ වනාන්තර අතර සැඟවුණු නටබුන්... මේ සෑම ස්ථානයකටම තමන්ගේම කතාවක් මෙන්ම තවමත් නොවිසඳුණු රහසක් ගැබ්ව ඇත.

අද අපි යන්නේ එවැනි අභිරහස්වලින් පිරුණු පුරාණ ස්ථාන කිහිපයක් සොයාගෙන අතීතයට කරන අපූරු සංචාරයකටයි.

චීනයේ ටෙරකොටා හමුදාව

චීනයේ ටෙරකොටා හමුදාව යනු චීනයේ පළමු අධිරාජයා වූ චින් ෂි හුවාන් සමඟ සම්බන්ධ වූ ජීවමාන ප්‍රමාණයේ මැටි සොල්දාදුවන් දහස් ගණනකින් සමන්විත අපූරු පුරාවිද්‍යාත්මක සොයාගැනීමක්.

අධිරාජයාගේ මරණයෙන් පසු ඔහුගේ පරලොව ජීවිතයට සහාය වීම සඳහා මෙම මැටි සොල්දාදුවන් ඔහු සමඟ මිහිදන් කර ඇති බව පැහැදිලියි. එහෙත් මේ දැවැන්ත හමුදාව නිර්මාණය කළ ආකාරයත්, අධිරාජයාගේ සොහොන් ගැබ තුළ තවමත් සැඟවී ඇති දේවල්වල සම්පූර්ණ ප්‍රමාණයත් අදටත් කුතුහලය දනවන කරුණු බවට පත්ව තිබෙනවා.

පේරු රාජ්‍යයේ නස්කා රේඛා

පේරු කාන්තාර භූමියේ දැකිය හැකි නස්කා රේඛා ලොව පුරාම ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඒවායේ දැවැන්ත භූ රූප නිසායි. කාන්තාරයේ පොළොව මත ඇඳ ඇති මෙම විශාල රූප බොහෝවිට පොළොවේ සිට සම්පූර්ණයෙන් දැකගත නොහැකි අතර, ඉහළ අහසේ සිට බලන විට ඒවායේ සැබෑ හැඩය පැහැදිලිව පෙනෙනවා. එහෙත් මේ දැවැන්ත රූප නිර්මාණය කළේ ඇයි? ඒවා නිර්මාණය කිරීම සඳහා එවකට සිටි මිනිසුන් භාවිත කළ ක්‍රම මොනවාද? එහි සංස්කෘතික වැදගත්කම කුමක්ද? මේ ප්‍රශ්න අදටත් කුතුහලය ඇති කරනවා.

ලාඕසයේ ‘ජාර්ස් තැන්න’

ලාඕසයේ පිහිටි Plain of Jars හෙවත් ‘ජාර්ස් තැන්න’ දැවැන්ත ගල් භාජන සිය ගණනකින් සමන්විත අද්භූත ස්ථානයක්. මෙම විශාල ගල් භාජන නිර්මාණය කළේ කුමන අරමුණක් සඳහාද යන්න පිළිබඳව තවමත් විවිධ මත පවතිනවා. ඇතැමුන් ඒවා අවමංගල්‍ය කටයුතු සමඟ සම්බන්ධ බව පවසන අතර, තවත් මතයක් වන්නේ ඒවා පුරාණ චාරිත්‍ර හා ආගමික කටයුතු සඳහා භාවිත කරන්නට ඇති බවයි. කෙසේ වෙතත්, ඒවා නිර්මාණය කළ ආකාරය සහ ඒවායේ සැබෑ අරමුණ පිළිබඳ අභිරහස තවමත් සම්පූර්ණයෙන් විසඳී නැහැ.

එංගලන්තයේ ස්ටෝන්හෙන්ජ්

විශාල ගල් කුළුණු වෘත්තාකාරව සකස් කර ඇති එංගලන්තයේ ස්ටෝන්හෙන්ජ් ලොව ප්‍රසිද්ධම පුරාණ ස්මාරක අතරින් එකක්. මෙවැනි දැවැන්ත ගල් එම ස්ථානයට ගෙනැවිත් සකස් කළේ කෙසේද? ඒවා ඉදිකළ පුරාණ ජනතාව කවුරුන්ද? මෙය ඉදිකිරීමට ඔවුන්ට තිබූ අරමුණ කුමක්ද? මේ ගැන විවිධ මත තිබෙනවා. එය තාරකා විද්‍යාත්මක නිරීක්ෂණ ස්ථානයක් වන්නට ඇති බවටත්, ආගමික කටයුතු සඳහා භාවිත කළ ස්ථානයක් වන්නට ඇති බවටත් මත පළවී තිබෙනවා. එහෙත් එහි සැබෑ අරමුණ පිළිබඳ නිශ්චිත පිළිතුරක් තවමත් නොමැත.

පේරුහි මචු පිචු

ඇන්ඩීස් කඳුකරයේ ඉහළින් පිහිටි මචු පිචු පුරාණ ඉන්කා ශිෂ්ටාචාරයේ අපූරු නගරයක්. 15 වැනි සියවසේදී ඉදිකරන්නට ඇතැයි සැලකෙන මෙහි ගෘහ නිර්මාණ ශිල්පයේ ඇති අතිවිශිෂ්ට නිරවද්‍යතාව අදටත් පුදුමයට කරුණක්. එය රාජකීය මාලිගාවක්ද, ආගමික ස්ථානයක්ද, නැතහොත් තාරකා විද්‍යාත්මක නිරීක්ෂණ මධ්‍යස්ථානයක්ද යන්න පිළිබඳව විද්වතුන් අතර විවිධ අදහස් පවතිනවා.

පාකිස්තානයේ මොහෙන්ජෝ-දාරෝ

නූතන පාකිස්තානයේ පිහිටි මොහෙන්ජෝ-දාරෝ පුරාණ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් නගරයක්. එහි තිබූ දියුණු නගර සැලසුම් සහ විශිෂ්ට ජල අපවහන පද්ධතිය එදා පැවති දියුණු ශිෂ්ටාචාරයක් පිළිබඳ ඉඟි ලබා දෙනවා. එහෙත් එවැනි දියුණු නගරයක් අවසානයේ පිරිහීමට ලක්ව අතහැර දැමීමට හේතු වූයේ කුමක්ද යන්න තවමත් පැහැදිලි නැහැ. ඒ නිසා මොහෙන්ජෝ-දාරෝ අදටත් ඉතිහාසයේ අභිරහස් අතර රැඳී සිටිනවා.

මුහුදු පතුලේ සැඟවුණු හෙරක්ලියන්

පුරාණ ඊජිප්තුවේ නගරයක් වූ හෙරක්ලියන් නගරය කාලයත් සමඟ මධ්‍යධරණී මුහුද යට සැඟවී ගියා. පසුව සිදුකළ දිය යට පුරාවිද්‍යාත්මක ගවේෂණ හරහා මෙම අමතකව ගිය නගරය නැවත ලෝකයට හෙළි වුණා. මුහුදු පතුලෙන් හමුවූ සොයාගැනීම් හරහා එම නගරයේ ඉතිහාසය, වෙළෙඳ සබඳතා සහ එහි සැඟවී තිබූ අතීතය පිළිබඳ නව තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

ඉතිහාසය කියන්නේ අප දන්නා කරුණු පමණක් නොවෙයි. තවමත් පිළිතුරු සොයමින් සිටින ප්‍රශ්නත් ඉතිහාසයේ කොටසක්. පුරාණ ලෝකයේ මෙවැනි ස්ථාන අපට මතක් කර දෙන්නේ, මිනිස් ශිෂ්ටාචාරය පිළිබඳ අප දන්නා දේවල්වලට වඩා අප තවමත් නොදන්නා දේ කොතරම්ද යන්නයි.

අශන්ති වරුණසූරිය 

ලොකු වෙනසක් තියෙන් ලස්සන ෆිල්ම් එකක් Read Previous

ලොකු වෙනසක් තියෙන් ලස්සන ෆිල්ම් එකක්

එදිනෙදා ගමනට ඔබ ආස කරන විලාසිතා Read Next

එදිනෙදා ගමනට ඔබ ආස කරන විලාසිතා

Realted Post

Leave a comment