ඔබේ දරුවා ඔබ හඳුනාගන්න

අද බොහෝ දෙමාපියන්ගේ ප්‍රධාන අරමුණ තම දරුවා විභාගවලින් ඉහළ ලකුණු ලබාගෙන සමාජයේ පිළිගත් වෘත්තියකට යොමු කිරීමයි. එහෙත් එම තරඟකාරී ගමනේදී අපට වැදගත් සත්‍යයක් අමතක වේ. එනම්, සෑම දරුවෙකුම එකිනෙකාට සමාන නොවන අතර, සමාන විය යුතුද නැති බවයි.

ඉගෙනුම් රටා සහ රුචිකත්වයන්ගේ වෙනස

එකම පන්තියේ සිටින දරුවන්ගේ සිතන ආකාරය, ඉගෙන ගන්නා වේගය සහ කුසලතා සම්පූර්ණයෙන්ම වෙනස්ය. අධ්‍යාපන පර්යේෂණවලට අනුව සියලු දරුවන් එකම ක්‍රමයට ඉගෙන ගන්නේ නැත. සමහරු දෘශ්‍ය මාධ්‍ය මඟින්ද, තවත් සමහරු ප්‍රායෝගික ක්‍රියාකාරකම්, කලාව, ක්‍රීඩාව හෝ සංවාද මඟින්ද පහසුවෙන් කරුණු වටහා ගනිති. එබැවින් එක් දරුවෙකුට සාර්ථක වූ ඉගෙනුම් රටාව තවත් දරුවෙකුට අනුමත කළ නොහැක.

සංසන්දනයේ අනතුර

අපේ සමාජය තවමත් දරුවෙකුගේ සාර්ථකත්වය මනින්නේ විභාග ලකුණු මතය. මෙයින් සිදුවන්නේ නායකත්වය, සංගීතය, චිත්‍ර හෝ නිර්මාණශීලී චින්තනයට දක්ෂ දරුවන්ගේ හැකියාවන් යටපත් වීමයි. විශේෂයෙන්ම “අසල්වැසි දරුවා” සමඟ සංසන්දනය කිරීම දරුවාගේ ආත්මගෞරවය විනාශ කරයි. සෑම දරුවෙකුටම තමන්ගේම ගමනක් සහ වේගයක් ඇත. දියුණු අධ්‍යාපන පද්ධති දරුවන් එකම අච්චුවකට නොදමා, ඔවුන්ගේ අනන්‍යතාවයට ගරු කරන්නේ එබැවිනි.

දෙමාපියන් වෙනස් විය යුත්තේ කෙසේද?

දරුවාගේ ජීවිතයේ පළමු ගුරුවරයා දෙමාපියන්ය. නිවස තුළ ධනාත්මක පරිසරයක් නිර්මාණය කිරීමට පහත පියවර උපකාරී වේ:

* නිවැරදි ප්‍රශ්න අහන්න
 “ලකුණු කීයද?” යන්න වෙනුවට “අද අලුතින් ඉගෙන ගත්තේ මොනවාද?”, “අද කාටහරි උදව් කළාද?” වැනි ප්‍රශ්න මඟින් දරුවාගේ ජීවන කුසලතා වර්ධනය වේ.

* ශක්තීන් හඳුනාගන්න
දරුවාගේ කථිකත්වය, නිර්මාණශීලිත්වය හෝ නායකත්ව ගුණාංග හඳුනාගෙන ඒවාට අගයක් දෙන්න.

* වැරදිවලට ඉඩදෙන්න
වැරදි යනු අසාර්ථකත්වය නොව ඉගෙනීමේ කොටසකි. දඬුවම් කරනවා වෙනුවට වෙනස් විදිහකට උත්සාහ කිරීමට දරුවා උනන්දු කරවන්න.

* විවිධත්වයට ගරු කරන්න
අන් අයගේ වෙනස්කම්වලට සමච්චල් නොකිරීමටත්, කරුණාව සහ සහයෝගය දක්වීමටත් නිවසින්ම පුරුදු කරන්න.

පාසල සහ නිවස එක් කණ්ඩායමක් 

දරුවාගේ සාර්ථකත්වයට ගුරුවරයා සහ දෙමාපියන් අතර හොඳ සන්නිවේදනයක් තිබිය යුතුය. දරුවාගේ ප්‍රගතිය ලකුණු පත්‍රයට පමණක් සීමා නොකර, ඔහුගේ හෝ ඇයගේ ශක්තීන් සහ අභියෝග පිළිබඳව විවෘතව සාකච්ඡා කිරීම වැදගත් වේ.

අනාගතය සඳහා ආයෝජනයක්

සෑම දරුවෙකුම එකම ගසක එකම අත්තක් නොවේ. ඔවුන් විවිධ වර්ණවලින් පිපෙන මල් වැනිය. උයන්පල්ලාගේ කාර්යය සියලු මල් රෝස මල් කිරීම නොව, සෑම මලකටම තමන්ගේම ස්වභාවයෙන් පිපෙන්නට ඉඩ සැලසීමයි. හෙට ලෝකයට අවශ්‍ය වන්නේ ලකුණු විතරක් ඇති අය නොව, අන් අයට ගරු කරන, සහයෝගයෙන් වැඩ කළ හැකි, සිය අනන්‍යතාවය හඳුනන පූර්ණ මනුෂ්‍යයන්ය.

සටහන : විශ්වනී හසලා 

උපදෙස් : කථිකාචාර්ය ප්‍රසාද් වීරසිංහ,
ද්විතීයික හා තෘතීයික අධ්‍යාපන අධ්‍යයන අංශය, 
අධ්‍යාපන පීඨය, 
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය.

සමාජ මාධ්‍ය හරහා ළමුන් සහ කාන්තාවන් අලෙවි කිරීමේ ජාවාරමක් Read Previous

සමාජ මාධ්‍ය හරහා ළමුන් සහ කාන්තාවන් අලෙවි කිරීමේ ජාවාරමක්

Janashakthi Life නැවතත් ICA මැරතන් තරගයට අනුග්‍රහය ලබාදෙයි Read Next

Janashakthi Life නැවතත් ICA මැරතන් තරගයට අනුග්‍රහය ලබාදෙයි

Realted Post

Leave a comment