පහර දීම ගැන කළින්ම ඔත්තුවක් ලැබිලා ?

ලේ වැගිරුණු මීගමුව බන්ධනාගාර ඛේදවාචකයේ සැඟවුණු කතාව කියවමු.... 

මීගමුව බන්ධනාගාර ඛේදවාචකය අවසන් වී සතියකට ආසන්න කාලයක් ගතවී ඇතත්, එහි නෂ්ටාවශේෂ, අමිහිරි අත්දැකීම් සහ හදකම්පා කරවන සිදුවීම් තවමත් අපට අමතක කළ නොහැක. මුළු රටම කම්පනයට පත් කළ මෙම සිදුවීමත් සමඟ මීගමුව බන්ධනාගාර පරිශ්‍රය පසුගියදා පෙර නොවූ විරූ ආකාරයේ ලේ වැකි ගැටුම් භූමියක් බවට පත්විය.

2026 ජූලි මස 05, 06 සහ 08 යන දිනවල පැවති මෙම දරුණු නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය, බන්ධනාගාර පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය (STF) මැදිහත් විය. ආරක්ෂක අංශවල දැඩි මෙහෙයුමකින් පසුව තත්ත්වය පාලනය කිරීමට හැකි වූ අතර, ගැටුමෙන් පසු රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගත්තේය. එමෙන්ම මීගමුව බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවියන් පිරිසක් ද කලහකාරී ලෙස හැසිරෙමින් විරෝධය පළ කර ඇති අතර, තත්ත්වය තවදුරටත් උත්සන්න වීම වැළැක්වීම සඳහා එම කාන්තා රැඳවියන් පිරිස වහාම වාරියපොළ බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට බලධාරීන් කටයුතු කළහ.

ගැටුම ආරම්භ වූ ආකාරය

වාර්තා වන අන්දමට, මුලින්ම සිරකරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් පසුව දැවැන්ත කෝළහාලයක් බවට පත්විය. එම අවස්ථාව ප්‍රයෝජනයට ගත් රැඳවියන් පිරිසක් ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් මාරාන්තික ප්‍රහාර මාලාවක් දියත් කළ බව සඳහන් වේ. මෙම ප්‍රහාරවල ප්‍රතිඵලයක් ලෙස බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, සියයකට ආසන්න පිරිසක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරිණි. මියගිය බන්ධනාගාර නිලධාරීන් අතර සරඹ සන්දර්ශන ප්‍රධාන උපදේශක ජේලර් එස්.එච්.එස්. චන්ද්‍රවංශ, ක්ෂණික ප්‍රහාරක උපක්‍රමික බළකායේ ජ්‍යෙෂ්ඨ නියාමක ඩී.ඩබ්ලිව්. පුෂ්පකුමාර සහ නියාමකවරුන් වන එස්.ඩී.එස්. අබේවර්ධන, ඒ.ඩී. තරංග, ටී.එන්.ආර්. තිලකසිරි සහ බී.එන්.එන්. තරංග යන නිලධාරීහු ද වෙති.

තම සහෝදර නිලධාරීන්ගේ නිසල දේහයන් බන්ධනාගාර අසල සෙසු නිලධාරීන්ගේ විලාපයෙන් සැම හදවත් දෙදරුම් කෑ අයුරු දැකගත හැකි වූයේ මෙම ඛේදවාචකයේ බරපතළ බව තවදුරටත් පෙන්වා දෙමිනි.

උදෑසන සිදු වූ බිහිසුණු ප්‍රහාරය

ජූලි 05 වනදා රාත්‍රියේ මර්දනය කර තිබූ නොසන්සුන්තාව යළිත් ඇවිළී ගියේ ජූලි 06 වනදා උදෑසන ආහාර ලබාදීම සඳහා නිලධාරීන් සිරමැදිරි තුළට ඇතුළු වූ අවස්ථාවේදීය. රැදවියන්ගේ ගැටුමක් සමනය කිරීමට ගිය ජේලර්වරයකුට පහර දීමට රැදවියන් කටයුතු කර තිබු අතර ඔහුව බේරාගැනීමට අනෙක් නිලධාරීන් කටයුතු කළ අවස්ථාවේදී ඇතුළු වූ නිලධාරීන් 10දෙනාටම රැදවියන් අමානුෂික ලෙස පහර දී තිබූ අතර රැදවියන් අතරද කෝලාහලය එක දිගට සිදු වී ඇත. 
වියරු වැටුණු රැඳවියන් පිරිසක් නිලධාරීන්ට අමානුෂික ලෙස පහරදී, වධහිංසා පමුණුවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙහිදී මතු වූ ප්‍රධාන ප්‍රශ්නයක් වූයේ කලහකාරී තත්ත්වයක් පැවති ස්ථානයකට නිලධාරීන් නිරායුධව යැවීම සම්බන්ධයෙනි. එදින අණදෙන නිලධාරියා විසින් අවම වශයෙන් බැටන් පොල්ලක් හෝ රැගෙන යාමට උපදෙස් ලබාදී නොතිබූ බවටද තොරතුරු වාර්තා විය. 

බන්ධනාගාරය තුළ සිදු වූ විනාශය

රැඳවියන් ක්‍රීඩා උපකරණවල තිබූ යකඩ බට මාරාන්තික ආයුධ ලෙස භාවිත කර ඇති බව සඳහන් වේ. ඔවුන් බන්ධනාගාරයේ ප්‍රධාන කාර්යාලය, ඖෂධාලය සහ අවි ගබඩාව වෙතද ඇතුළු වී තිබේ. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇතැම් රැඳවියන් මානසික තත්ත්වයන් සඳහා ලබාදෙන ඖෂධ ලබාගෙන ඇති බවයි. ජූලි 05 වනදා ඇති වූ සිදුවීමෙන් පසු අවි ගබඩාවේ තිබූ ආයුධ ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යාමට බන්ධනාගාර බලධාරීන් කටයුතු කර තිබීම හේතුවෙන් සිදුවීමට ඉඩ තිබූ තවත් විශාල ලේ වැගිරීමක් වැළකිනි.

ආරක්ෂක මෙහෙයුම

මීගමුව, ගම්පහ සහ හලාවත ප්‍රදේශවලින් කැඳවා තිබු අතර අමතර පොලිස් නිලධාරීන් 500කට අධික පිරිසක් සහ විශේෂ කාර්ය බලකායේ භටයින් 200කට ආසන්න පිරිසක් බන්ධනාගාර පරිශ්‍රය වටලා මෙහෙයුම දියත් කළ අතර එහිදී රැඳවියන් විසින් තාප්පවලින් උළුකැට සහ යකඩ බට භාවිත කරමින් ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කළ බව වාර්තා විය. අවසානයේ විශේෂ කාර්ය බලකාය ප්‍රධාන දොරටුව බිඳ ඇතුළු වී තත්ත්වය පාලනය කළේය. මෙම මෙහෙයුමේදී STF නිලධාරීන් 8 දෙනෙකු සහ පොලිස් නිලධාරීන් 3 දෙනෙකු ඇතුළු ආරක්ෂක සාමාජිකයින් රැසක් තුවාල ලැබූ අතර, බරපතළ තුවාල ලැබූ 14 දෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත මාරු කෙරිණි. ගුවනින් තත්ත්වය නිරීක්ෂණය කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 412 හෙලිකොප්ටරයට සහ ඩ්‍රෝන යානාවලිඳ තත්වය නිරීක්ෂණ කෙරිණි.

පූර්ව අනතුරු ඇඟවීම් සහ විමර්ශන

මීගමුව බන්ධනාගාරයේ මීට පෙර සේවය කළ සහ මෑතකදී ස්ථාන මාරු ලැබූ උසස් නිලධාරියෙකු විසින් මෙවැනි නොසන්සුන්කාරී සහ මාරාන්තික තත්ත්වයක් ඇති විය හැකි බවට බලධාරීන්ට පූර්ව අනතුරු ඇඟවීමක් කර තිබූ බව නිල නොලත් ආරංචි මාර්ග පවසයි. එවැනි අනතුරු ඇඟවීමක් තිබියදී නිසි ආරක්ෂිත පියවර හෝ බුද්ධි තොරතුරු විශ්ලේෂණයක් සිදු නොකළේ මන්දැයි ගැටලුවකි. මෙම සිද්ධියෙන් මියගිය රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන්ගේ අවසන් කටයුතු ජූලි 11 වනදා සිදු කෙරිණි.

CID විමර්ශන සහ අධිකරණ ක්‍රියාමාර්ග

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතාගේ උපදෙස් මත සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාවක් සැලකිල්ලට ගනිමින් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් සියලු විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරන ලෙස නියෝග කළාය. මෙම විමර්ශන මගින් මීගමුව බන්ධනාගාර ගැටුමෙන් පුද්ගලයන් 28 දෙනෙකු මියයාම සහ බන්ධනාගාර දේපළවලට රුපියල් කෝටි 12කට අධික හානියක් සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරේ.

මීගමුව මූලස්ථාන පොලිසිය විසින් සිදු කළ සියලු විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරන ලෙස පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග ලබාදී ඇති බවද වාර්තා විය. මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් රැඳවියන් 200කට වැඩි පිරිසකගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඉදිරි පියවර

මාරුකර යවන ලද රැඳවියන්ගේ නඩු කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව අද (ජූලි 13 වනදා) සිට නඩු සඳහා පෙනී සිටීමට නියමිත රැඳවියන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණ ක්‍රියාවලියට සම්බන්ධ කිරීමට සැලසුම් කර තිබේ. එමෙන්ම ගැටුමෙන් සිදුවූ හානිය තක්සේරු කිරීම සඳහා ත්‍රිපුද්ගල විශේෂ කමිටුවක්ද පත් කර ඇත. 

මියගිය බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් උසස්වීම් ලබා දීමට රජය කටයුතු කර තිබිණි. ඔවුන් වෙනුවෙන් ලබාදුන් රුපියල් ලක්ෂ 5ක මුදල මූලික ගෙවීමක් පමණක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

සොයාගත් ආයුධ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණවලදී බන්ධනාගාරය තුළින් පොලුමුගුරු 1000කට අධික ප්‍රමාණයක්, තියුණු ආයුධ සහ යකඩ පොලු තොගයක් සොයාගෙන තිබේ. ගැටුම අතරතුරදී රැඳවියන් බන්ධනාගාර මුළුතැන්ගෙය කඩා එහි තිබූ උපකරණ සහ පොල් ගෙඩි පවා නිලධාරීන්ට පහරදීමට භාවිත කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධ පරීක්ෂණ තවමත් ක්‍රියාත්මක වන අතර, 2026 ජූලි 06 වන සඳුදා දිනය මීගමුව බන්ධනාගාර කැරැල්ලේ දරුණුතම සහ ම්ලේච්ඡතම දිනයක් ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

අශන්ති වරුණසූරිය

සැමන් ගහනවා කියන්නේ මොකද්ද ? ක්‍රමවේද නැතිකමින් උඩු දුවන ප්‍රශ්න Read Previous

සැමන් ගහනවා කියන්නේ මොකද්ද ? ක්‍රමවේද නැතිකමින් උඩු දුවන ප්‍රශ්න

ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි Read Next

ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

Realted Post

Leave a comment