බෙංගාල බොක්කේ පීඩනය වැඩි වෙයි! ඉදිරි පැය 24, වැසි සහ තද සුළං
දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් බවට වර්ධනය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම පීඩන පද්ධතිය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් වර්ධනය වී ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වීමට ඉඩ ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෙසේ වෙතත්, මෙම පද්ධතියෙන් ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් ඇති නොවන බවත්, එම පද්ධතිය දෙසට ඇදී යන සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බවත් දැනුම් දී තිබේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.
ඌව පළාතේ මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.
මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු මැද සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40–50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද දැනුම් දී තිබේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
- වැස්ස කොච්චර තද වුණත්, ආරක්ෂාව අමතක කරන්න එපා. පරිස්සමෙන් ඉන්න!
අශන්ති වරුණසූරිය

Leave a comment