බඩගින්නේ ඉදලා කෙට්ටු වෙන්න පුලුවන්ද? අලුත් පර්යේෂණය හෙළි වූ වැදගත් කරුණු
බර අඩු කර ගැනීම සඳහා ලොව පුරා ජනප්‍රිය වී ඇති Intermittent Fasting - IF සෑම පුද්ගලයෙකුටම එකසේ ප්‍රතිලාභ ලබා නොදෙන බව නවතම පර්යේෂණයක් අනාවරණය කර තිබේ. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ, ආහාර ගැනීමේ කාලය සීමා කිරීම පමණක් බර අඩු කිරීමට ප්‍රමාණවත් නොවන බව. එහිදී ඔවුන් පවසන්නේ දිනපතා ලබාගන්නා සමස්ත කැලරි ප්‍රමාණය පාලනය කිරීමද අත්‍යවශ්‍ය බවයි.
නිරාහාරව සිටීමේ ජනප්‍රිය ක්‍රම කිහිපයකි. 16/8 ක්‍රමය, පැය 16ක් උපවාසයේ සිට ඉතිරි පැය 8 තුළ දෛනික ආහාර සියල්ල ලබා ගැනීම. එසේම 5/2 ක්‍රමය සතියේ දින පහක් සාමාන්‍ය ලෙස ආහාර ගන්නා අතර දින දෙකක් කැලරි ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු කිරීම.
මෙයට අමතරව Time Restricted Eating (TRE) ලෙස හඳුන්වන ක්‍රමයද ජනප්‍රිය වන අතර, එහිදී දිනකට පැය 10ක් හෝ ඊට අඩු කාලයක් තුළ ආහාර ලබාගෙන ඉතිරි පැය 14ක් නිරාහාරව සිටීම.
German Institute of Human Nutrition Potsdam-Rehbruecke සහ Charite ආයතන එක්ව සිදු කළ ChronoFast පර්යේෂණය මඟින් සොයාගෙන ඇත්තේ, ආහාර ගැනීමේ කාලය සීමා කිරීම පමණක් මගින් පරිවෘත්තීය (Metabolic) හෝ හෘද හා රුධිර සංසරණ පද්ධතියේ සෞඛ්‍යය සැලකිය යුතු ලෙස වැඩිදියුණු නොවන බවයි.
මෙම අධ්‍යයනය සඳහා වැඩි බරක් හෝ ස්ථූලතාවයෙන් පෙළෙන කාන්තාවන් 31 දෙනෙකු සහභාගී කරගෙන ඔවුන් සති දෙක බැගින්, උදෑසන 8.00 සිට සවස 4.00 දක්වා ආහාර ගැනීම, දහවල් 1.00 සිට රාත්‍රී 9.00 දක්වා ආහාර ගැනීම යන ක්‍රම දෙක භාවිතා කරමින් මෙම පර්යේක්ෂණය සිදු කර ඇත. මෙහිදී සියලුම සහභාගිවන්නන්ට ලබාදුන් ආහාරවල කැලරි ප්‍රමාණය සහ පෝෂණ සංයුතිය එකිනෙකට සමාන විය. පර්යේෂණ කාලය තුළ රුධිර සාම්පල ලබාගෙන ශරීරයේ ජෛව ඔරලෝසුව (Circadian Rhythm) සහ පරිවෘත්තීය වෙනස්කම් විමර්ශනය කරන ලදී.
වෛද්‍ය සඟරාවක් වන Science Translational Medicine හි පළ වූ මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල අනුව, ආහාර ගැනීමේ වේලාවන් ශරීරයේ අභ්‍යන්තර ජෛව ඔරලෝසුවට යම් බලපෑමක් ඇති කළද, සෞඛ්‍යයට වැදගත් වන බොහෝ ජෛව දර්ශකවල සැලකිය යුතු වෙනසක් දක්නට නොලැබුණි. ඉන්සියුලින් සංවේදීතාව, රුධිර සීනි මට්ටම, රුධිරයේ මේද මට්ටම්, ප්‍රදාහ (Inflammation) දර්ශක යන කරුණු වල සායනික වශයෙන් වැදගත් වෙනස්කම් නොමැති බව පර්යේෂකයෝ සඳහන් කරති.
මෙම පර්යේෂණයට නායකත්වය දුන් මහාචාර්ය ඔල්ගා රමිච් පවසන්නේ, බර අඩු කර ගැනීමට හෝ පරිවෘත්තීය සෞඛ්‍යය වැඩිදියුණු කිරීමට උත්සාහ කරන පුද්ගලයන් ආහාර ගන්නා වේලාව පමණක් නොව, දිනපතා ලබාගන්නා සමස්ත ශක්ති ප්‍රමාණය (කැලරි) පිළිබඳවත් අවධානය යොමු කළ යුතු බවයි. ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මීට පෙර සිදු කළ ඇතැම් පර්යේෂණවල අන්තර්වාර උපවාසයෙන් ලැබුණු බවට වාර්තා වූ සෞඛ්‍ය ප්‍රතිලාභ බොහෝ විට සිදුව ඇත්තේ, පුද්ගලයන් නොදැනුවත්වම කැලරි ප්‍රමාණය අඩු කර ගැනීම නිසා විය හැකි බවයි. එනම්, ප්‍රතිලාභයට ප්‍රධාන හේතුව ආහාර ගැනීමේ කාලය සීමා කිරීම නොව, කැලරි අඩුවෙන් ලබාගැනීම බව මෙම පර්යේෂණය යෝජනා කරයි.
පර්යේෂකයන් පෙන්වා දෙන්නේ, එක් එක් පුද්ගලයාගේ ජෛව ඔරලෝසුව (Chronotype), ජානමය ලක්ෂණ සහ පුද්ගලික ශාරීරික වෙනස්කම් අනුව අන්තර්වාර උපවාසයට දක්වන ප්‍රතිචාර වෙනස් විය හැකි බැවින්, ඒ සම්බන්ධයෙන් තවත් ගැඹුරු පර්යේෂණ අවශ්‍ය බවයි. අන්තර්වාර උපවාසය හොලිවුඩ් තරු රැසක් අතර ජනප්‍රිය වී තිබුණද, එහි සැබෑ කාර්යක්ෂමතාව සහ දිගුකාලීන සෞඛ්‍ය බලපෑම් පිළිබඳව විශේෂඥයන් අතර තවමත් එකඟතාවක් නොමැත.
මෙම ආහාර රටාව අනුගමනය කරන පිරිස් පවසන්නේ එය බර අඩු කිරීමට, දෙවන වර්ගයේ දියවැඩියා අවදානම අඩු කිරීමට සහ ආන්ත්‍රික සෞඛ්‍යය වැඩිදියුණු කිරීමට උපකාරී වන බවයි.
කෙසේ වෙතත්, ඇතැම් විශේෂඥයන්ගේ අදහස වන්නේ උපවාසයෙන් පසු බොහෝ දෙනා එකවර වැඩි ආහාර ප්‍රමාණයක් ලබාගන්නා බැවින්, අවසානයේ දිනපතා කැලරි ප්‍රමාණය අඩු නොවන බවයි. සමහර පර්යේෂණවලදී හෘදයාබාධ, ආඝාතය සහ කල්තියා මරණයට පවා සම්බන්ධ විය හැකි බවට කරුණු ඉදිරිපත් වී ඇති නමුත්, ඒ සම්බන්ධයෙන් තවදුරටත් විද්‍යාත්මක සාක්ෂි අවශ්‍ය බව පර්යේෂකයන් අවධාරණය කරයි. ඒ අනුව නවතම ChronoFast අධ්‍යයනයෙන් යළිත් අවධාරණය වන්නේ, බර අඩු කර ගැනීමේදී ආහාර ගැනීමේ වේලාවට වඩා දිනපතා ලබාගන්නා සමස්ත කැලරි ප්‍රමාණය පාලනය කිරීම වඩාත් වැදගත් සාධකයක් බවයි.
අශන්ති වරුණසූරිය


Leave a comment