මිනිස්කම ප්රශ්න කළ ඇත් රජුගේ සමුගැනීම
සමහර ජීවිත අප අතරින් සමුගෙන යන්නේ මතකයක් පමණක් ඉතිරි කරමින් නොවේ. හදවතේ වේදනාවක්, සිතේ ප්රශ්න රැසක් සහ අපේ මිනිස්කම පිළිබඳ නැවත නැවතත් සිතන්නට බල කරන හිස්තැනක් ද ඉතිරි කරමිනි.
කාවන්තිස්සගේ සමුගැනීම ද එවැන්නකි.
රටේ අභිමානය ලොවට පෙන්වූ, දෙස් විදෙස් මිනිසුන්ගේ නෙත් සිත් පැහැරගත්, මෙරට වනජීවී සම්පතේ තේජස විදහා පෑ ඒ දැවැන්තයා අද අප අතර නැත. ඔහුගේ රුව දැක සතුටු වූ දහස් සංඛ්යාත මිනිසුන්ට අද ඉතිරිව ඇත්තේ ඔහු පිළිබඳ මතකයන් පමණි.
කාවන්තිස්ස වැනි වනජීවී සම්පතක් රටකට අභිමානයක් පමණක් නොවේ. සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගනිමින් රටට විදේශ විනිමය ගෙන ඒමට ද එවැනි සතුන් දායක වේ. එහෙත් ඒ සියල්ලටම වඩා ඔවුන් වටින්නේ මේ මහපොළොවේ ජීවත්වීමට අයිතිය ඇති ජීවීන් වන නිසාය.
අද ඒ තේජස නිහඬය. ඒ දැවැන්ත සිරුර යළිත් නැඟී සිටින්නේ නැත. ඔහුගේ ගමන් විලාසය දැක සිත පහන් කරගත් මිනිසුන්ට යළිත් ඒ අත්දැකීම විඳින්නට නොලැබෙනු ඇත.
කාවන්තිස්ස නුඹ සතෙකු නොව, අපේ හිතවතෙකි!
කාවන්තිස්ස යනු සතෙකු වුවත් මිනිසුන්ට අසීමිත ළෙන්ගතුකමක් ඇති කළ ඇතෙකි. ගල්ගමුවේ මිනිසුන්ගේ හදවත් තුළ ඔහුට තිබුණේ විශේෂ ස්ථානයකි.
ඔහුගේ දැවැන්ත සිරුර, තේජාන්විත බැල්ම සහ නිදහසේ ගමන් කරන විලාසය ඔහු දුටු කෙනෙකුට පහසුවෙන් අමතක කළ නොහැකිය. ඔහු නිතර දකින්නට ලැබුණු ප්රදේශවල මිනිසුන්ට ඔහු හුදෙක් වන අලියෙකු නොව, තමන්ගේ පරිසරයේම කොටසක් වූ හිතවතෙකි.
කිසිවෙකුට හිරිහැරයක් නොකර ජීවත් වූ බවට මිනිසුන්ගේ මතකයේ රැඳුණු කාවන්තිස්ස මිනිසුන් කෙරෙහි විශ්වාසයෙන් සිටියේය. එහෙත් ඔහුගේ ජීවිතය අවසන් වූ ආකාරය පිළිබඳව පළවන තොරතුරු සහ මතුවන ප්රශ්න හදවතට ගෙන එන්නේ දැඩි වේදනාවකි.
ඔහුට වෙඩි තබා මරා දැමූ බවට වාර්තා වන කරුණ සත්ය නම්, ඒ පිළිබඳව නිසි විමර්ශනයක් සිදු නොවිය යුතුද? එවැනි ජීවිතයක් අහිමි වීමට හේතු වූයේ කුමක්ද? මිනිසුන් සමඟ ජීවත් වූ වනජීවියෙකුගේ ජීවිතය ආරක්ෂා කිරීමට අපට නොහැකි වූයේ ඇයි?
මේ ප්රශ්නවලට පිළිතුරු සෙවීම කාවන්තිස්ස වෙනුවෙන් පමණක් නොවේ. මිනිසා සහ වනජීවියා අතර සම්බන්ධය වඩාත් මානුෂීය කරගැනීම වෙනුවෙන් ද එය අවශ්යය.
කාවන්තිස්සගේ මරණයත් සමඟ ඉතිරි වූ ප්රශ්න
කාවන්තිස්සගේ මරණය අපට මතක් කර දෙන්නේ මෙරට වනජීවී සම්පතට අහිමි වූ තවත් ඇතුන් පිළිබඳවය. භාතිය (2025), දීඝදන්තු (2024), යුනිකෝන් (2025), දනුද්දර (2023), භරණ (2022), තේක්කරාජා (2023), මහේශාක්ය (2023), රේවත (2021), කෝලිය (2024), සියඹලාගමුවේ ඇතා (2010), මුගලන් (2018), මිගල්ගමුවේ දලපුට්ටුවා (2017) සහ මිස්සක (2018) වැනි නම් ද ඒ මතක අතරට එක් වේ.
මෙම සෑම ඇතාගේම මරණයට හේතු වූ තත්ත්වයන් එකිනෙකට වෙනස් විය හැකිය. එබැවින් ඒවා සියල්ල එකම හේතුවකට සම්බන්ධ කිරීම සාධාරණ නොවේ. එහෙත් මෙවැනි ජීවිත අහිමිවීම් පිළිබඳව අප නැවත නැවතත් සිතා බැලිය යුතුය.
වනජීවීන් ආරක්ෂා කිරීම සඳහා පවතින ක්රමවේද ප්රමාණවත්ද? සතුන්ගේ රෝගී තත්ත්වයන් හඳුනා ගැනීමට අවශ්ය පහසුකම් තිබේද? නිසි වේලාවට නිවැරදි ප්රතිකාර ලබාදීම සහ ඔවුන්ගේ තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කිරීම සඳහා අවශ්ය වෘත්තීය දැනුම හා සම්පත් තිබේද?
කාවන්තිස්සගේ කතාව අප ඉදිරියේ තබන්නේ එවැනි ප්රශ්න රැසකි.
මාසයක් ප්රතිකාර කළා නම්... ඔහුගේ ජීවිතය බේරා ගැනීමට කළ හැකිව තිබූ සියල්ල කළාද?
කාවන්තිස්සගේ රෝගී තත්ත්වය කළමනාකරණය කළ ආකාරය සම්බන්ධයෙන් ද බරපතළ ප්රශ්න මතුව තිබේ.
සත්ව හා පරිසරවේදී නයනක රන්වැල්ල මහතා පවසන පරිදි, ඇතාගේ තුවාලය සහ රෝගී තත්ත්වය නිවැරදිව හඳුනා ගැනීමට අවශ්ය වෛද්ය පරීක්ෂණ සිදු කළේද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් අවශ්ය වේ.
තුවාලයේ ගැඹුර සහ එහි ව්යාප්තිය හඳුනා ගැනීමට ස්කෑන් පරීක්ෂණ සිදු කළේද? රුධිර හා මුත්රා සාම්පල පරීක්ෂා කළේද? ආසාදනයට හේතුව හඳුනා ගැනීම සඳහා අවශ්ය පරීක්ෂණ නිසි පරිදි සිදු වූයේද?
මේවා නිකම්ම අසන ප්රශ්න නොවේ. ජීවිතයක් බේරා ගැනීමට උත්සාහ කරන වෛද්ය ක්රියාවලියකදී පිළිතුරු තිබිය යුතු ප්රශ්න වේ.
රන්වැල්ල මහතා පෙන්වා දෙන කරුණු අනුව, ඇතාට ප්රතිජීවක ඖෂධ ලබාදීමෙන් පසු තුවාලයෙන් සාම්පල ලබාගැනීම සඳහා නිර්වින්දනය කිරීමේ ක්රියාවලිය පිළිබඳව ද විමසා බැලිය යුතුය. එම ක්රියාවලිය ආසාදනයට හේතු වූ බැක්ටීරියාව හඳුනා ගැනීමේ පරීක්ෂණවලට බලපෑවේද යන්න තහවුරු කළ හැක්කේ අදාළ වෛද්ය වාර්තා සහ විශේෂඥ අදහස් මඟිනි.
ඇතා නිර්වින්දනය කළ අවස්ථාවේදී රුධිර හා මුත්රා සාම්පල ලබාගැනීම, ශරීරයේ බර තක්සේරු කිරීම සහ වෙනත් අභ්යන්තර ආබාධ හඳුනා ගැනීමට අවශ්ය පරීක්ෂණ සිදු කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කරයි.
පසුව ඇතාට පාචන තත්ත්වයක් ඇති වූ බවට ද වාර්තා විය. එය ලබාදුන් ඖෂධවල අතුරු ආබාධයක් විය හැකි බවට සැක පළ වී ඇතත්, එය නිශ්චිතව තහවුරු කිරීම සඳහා වෛද්ය පරීක්ෂණ අවශ්යය.
ඇතාගේ හැසිරීම්වල වෙනස්කම්, ආහාර ගැනීම, චලනයන්, වසුරු පිට කිරීම සහ ශරීරයේ බර වෙනස්වීම පිළිබඳව අඛණ්ඩව නිරීක්ෂණය කිරීම ද වැදගත්ය. රෝගී සතෙකුගේ තත්ත්වය දිනෙන් දින වෙනස් විය හැකි බැවින්, එම වෙනස්කම් නිවැරදිව හඳුනාගෙන ප්රතිකාර ක්රමවේදය අවශ්ය පරිදි සකස් කළ යුතුය.
ඇතාගේ පාදයක තිබූ ආබාධය හේතුවෙන් අනෙක් පාදවලට වැඩි බරක් පැටවීමේ අවදානමක් තිබුණේද? එම තත්ත්වය නිසා ඇතා බිම ඇද වැටීමේ අවදානමක් පැවතියේද? ජලය ආසන්නයේ රැඳී සිටීමෙන් ඇති විය හැකි අවදානම් පිළිබඳව අවධානය යොමු කළේද?
මේ සියල්ලට පිළිතුරු සොයාගත යුත්තේ අනුමාන මත නොව, වෛද්ය වාර්තා, සාක්ෂි සහ විධිමත් පරීක්ෂණ මතය.
සත්ව සහ පරිසරවේදී නයනක රන්වැල්ල මහතා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්ර අත්දැකීම් සහිත නිලධාරීන්ගේ දැනුම හා අදහස් ලබාගැනීමේ අවශ්යතාව ද පෙන්වා දෙයි. එවැනි දැනුමක් සහ පළපුරුද්දක් ප්රතිකාර ක්රියාවලියට එක් කරගත්තේද යන්න පිළිබඳව ද පැහැදිලි කිරීමක් අවශ්ය වේ.
මාසයක් පුරා ප්රතිකාර කළ බව පමණක් ජීවිතයක් බේරා ගැනීමට කළ හැකි සියල්ල සිදු කළ බවට සාක්ෂියක් නොවේ. ඒ වෙනුවෙන් නිවැරදි රෝග විනිශ්චයක්, අඛණ්ඩ නිරීක්ෂණයක්, සුදුසු ප්රතිකාරයක් සහ වගකීම් සහිත තීරණ ගැනීමක් අවශ්යය.
කාවන්තිස්සගේ මරණය සම්බන්ධයෙන් ඉදිරිපත් වන චෝදනා නිල වෛද්ය වාර්තා සහ අදාළ බලධාරීන්ගේ පැහැදිලි කිරීම් මඟින් තහවුරු කරගත යුතුය. එහෙත් ඒ සඳහා අවශ්ය පිළිතුරු ඉල්ලා සිටීම සමාජයේ සාධාරණ අයිතියකි.
වනජීවීන්ගේ ජීවිතත් අපේ වගකීමකි
කාවන්තිස්සගේ සිද්ධියෙන් මතුවන තවත් වැදගත් කරුණක් වන්නේ වනජීවීන්ගේ වාසස්ථාන සීමා වීම සහ මිනිස් ක්රියාකාරකම් හේතුවෙන් ඔවුන් මුහුණ දෙන අවදානම්ය.
වනාන්තර සීමා වන විට, සතුන්ගේ ගමන් මාර්ග අවහිර වන විට සහ මිනිසුන්ගේ ජීවන අවශ්යතා වනජීවීන්ගේ වාසස්ථාන සමඟ ගැටෙන විට, එහි ප්රතිඵලය මිනිසාටත් සතාටත් වේදනාකාරී විය හැකිය.
එවැනි ගැටලු විසඳීමට අවශ්ය වන්නේ සතුන්ට දඬුවම් කිරීම නොව, මිනිසාගේත් වනජීවියාගේත් ආරක්ෂාව තහවුරු කරන විධිමත් වැඩපිළිවෙළකි.
වනජීවීන් ආරක්ෂා කිරීම සඳහා නිසි දැනුමක් ඇති නිලධාරීන්, පුහුණුව ලත් පශු වෛද්ය කණ්ඩායම්, ප්රමාණවත් පහසුකම් සහ වගකීම් සහිත අධීක්ෂණ ක්රමවේද අවශ්යය. යම් ජීවිතයක් අහිමි වූ පසු පමණක් ඒ පිළිබඳව කතා කිරීම වෙනුවට, එවැනි අහිමිවීම් වළක්වා ගැනීමට පියවර ගැනීම වඩාත් වැදගත්ය.
සත්ව සම්පත අප සැමගේ සිත්වල රැඳිය යුතු වගකීමකි. අද අප ආරක්ෂා නොකරන ජීවිතයක් හෙට අපේ දරුවන්ට දැකගැනීමට නොලැබිය හැකිය. කාවන්තිස්සගේ මරණය පිළිබඳව නිවැරදි තොරතුරු හෙළිදරව් කිරීමත්, අදාළ පාර්ශ්වයන්ගෙන් පැහැදිලි කිරීම් ලබාගැනීමත්, අනාගතයේ මෙවැනි අහිමිවීම් වළක්වා ගැනීමට අවශ්ය පියවර ගැනීමත් දැන් අත්යවශ්යය.
කාවන්තිස්ස, නුඹ තවමත් මගේ මතකයේ ජීවමානයි!
නිතර සංචාරයේ යෙදෙන මා හට කාවන්තිස්ස නිතර මුණගැසුණු හිතවතෙකි. ඔහුගේ තේජස, ඒ බැල්ම, ඒ ගමන මගේ මතකයේ තවමත් ජීවමානය.
ඔහු දුටු විට සිතට දැනුණු සැනසීම වචනවලින් විස්තර කළ නොහැකිය. ඔහුගේ දැවැන්ත සිරුර තුළින් දිස් වූ ඒ අපූර්වත්වය, ඔහු නිදහසේ ගමන් කරන අයුරු සහ ඔහු දෙස බලා සිටින මිනිසුන්ගේ මුහුණුවල ඇඳුණු සතුට මට තවමත් මතකය.
දෙස් විදෙස් මිනිසුන් දහස් ගණනකගේ සිත් පිනවූ ඔහු, ඔවුන්ට අමතක නොවන අත්දැකීමක් ලබා දුන්නේය. ඇතැම් විට එය සංචාරක අත්දැකීමක් පමණක් නොව, සොබාදහම සමඟ බැඳුණු නිහඬ ආධ්යාත්මික සැනසීමක් ද වන්නට ඇත.
කාවන්තිස්ස, මගේ හිතවතාණෙනි, අද නුඹ නැත. එහෙත් නුඹ දුටු මිනිසුන්ගේ මතකයෙන් නුඹේ රුව පහසුවෙන් මැකී නොයනු ඇත.
නුඹට කතා කළ හැකි වූයේ නම්, නුඹේ වේදනාව අපට කියා දෙන්නට හැකි වූයේ නම්, නුඹේ අවසන් දිනවල සිදු වූ දේ ගැන තවත් බොහෝ දේ දැනගන්නට තිබිණි. එහෙත් නුඹට වචන නැත. නුඹ වෙනුවෙන් කතා කිරීමට ඉතිරිව ඇත්තේ නුඹට ආදරය කළ මිනිසුන්ගේ හඬයි.
ඒ හඬ නිහඬ නොවිය යුතුය. එය පළිගැනීමේ හඬක් නොව, සත්යය සොයන හඬක් විය යුතුය. තවත් ජීවිතයක් මෙලෙස අහිමි නොවීමට මඟ සොයන හඬක් විය යුතුය. අදාළ තනතුරුවලට සුදුසු දැනුම, පළපුරුද්ද සහ කැපවීම ඇති පුද්ගලයන් පත් කිරීමටත්, වනජීවීන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට අවශ්ය පහසුකම් සැලසීමටත් බලධාරීන්ට නිසි නුවණ පහළ වේවායි මම ප්රාර්ථනා කරමි.
කාවන්තිස්ස, නුඹේ සමුගැනීමෙන් ඉතිරි වූ වේදනාව තවත් ජීවිතයක් ආරක්ෂා කිරීමට හේතුවක් වේවා! නුඹට සැනසීම පිරි යහපත් ගමනක් වේවා. මතු භවයක මෙවැනි වේදනාවක් නොවිඳින පින්වත් ආත්මයක උපදින්නට නුඹට වාසනාව ලැබේවා!
සුබ ගමන්, කාවන්තිස්ස.
නුඹ මිය ගියේ එක් වරක් විය හැකිය. එහෙත් නුඹට ආදරය කළ මිනිසුන්ගේ හදවත් තුළ නුඹ වෙනුවෙන් වේදනාව ඉතිරි වූයේ දහස් වාරයකි.
අශන්ති වරුණසූරිය

Leave a comment