මිල ප්‍රදර්ශනයේ වැදගත්කම
ඇසුරුම්කරණය කර තිබෙන භාණ්ඩ විකිණීමේදී එම භාණ්ඩවල මිල එකම මිලකින් පවතියි. නමුත් ඇසුරුම් නොකරන්නා වූ තරාදි මගින් මැන ලබා දෙන භාණ්ඩවල මිල වෙනස් වන සුළුයි. නිදසුනක් ලෙස හාල්, තිරිඟු පිටි, සීනි අල අල,ලූණු, පරිප්පු ආදියයි.
එම තරාදි වලින් මැන ලබා දෙන භාණ්ඩ පිළිබඳව නිරන්තරයෙන් ව්‍යාපාරිකයන්ගෙන්, පාරිභෝගිකයන් විමසීම් කරනු ලබයි. එය ව්‍යාපාරිකයා හටද මහත් බාධාවක් වන්නේය. එමෙන්ම ඉන් පාරිභෝගිකයාද අපහසුතාවයට පත් වේ.
කිරා, මැන ලබා දෙන භාණ්ඩවල මිල සටහනක් ව්‍යාපාරික ස්ථානයේ දක්වා තිබීම මගින් ව්‍යාපාරිකයා පිළිබඳව පාරිභෝගිකයා හට වඩාත් විශ්වාසදායි බවක් ඇතිවිය හැකියි. එය ව්‍යාපාරික ස්ථානයට පහසුවක් සේම ආයතනයේ කීර්ති නාමයට ද වඩාත් මහෝපකාරී වනු ඇත.
ව්‍යාපාරිකයෙකු භාණ්ඩය අලෙවි කිරීමේදී එම භාණ්ඩයේ මිල සඳහන් නොමැති අවස්ථා තුළින් අනිවාර්යයෙන්ම මෙම මිල ප්‍රදර්ශනය කර තිබීම ඉතා වැදගත් වේ.
හෝටල්, ව්‍යාපාරික ස්ථානවලදී පාරිභෝගිකයා හට දැනගත යුතු දෑ රැසක් තිබේ. ඒ තමන් පරිභෝජනය කිරීමට ගන්නා භාණ්ඩය සඳහා කොපමණ මිලක් ගෙවිය යුතු ද යන්න විමසා බැලීමටයි. ඒ සඳහා මිල දර්ශනය වැදගත් වනු ඇත. එසේ නොවීම තුළින් ආහාර වල මිල පිළිබඳව නොදැන ඒවා පරිභෝජනයට යාමේදී අවශ්‍ය මුදල නොමැතිව පාරිභෝගිකයා අපහසුතාවයට පත්විය හැකියි. නමුත් මිල දර්ශන සටහන්ව තිබියදී තමන් අතේ ඇති මුදලට ආහාර ඇනවුම් කිරීමට පාරිභෝගිකයාට හැකි වේ.
නගර හෝ ගම්මාන තුළ වෙළඳසැල් රාශියක් පවතිනු ලැබේ. එම එක් එක් වෙළඳසැල් තම භාණ්ඩවල මිල සටහන් කර ඇත්නම් එම වෙළඳසැල් අතර තරගකාරීත්වයක් ඇතිවේ. එය පාරිභෝගිකයා හට වාසිදායක වන්නේය. ඒ එක් භාණ්ඩයක මිල අනෙක් අලෙවිසැලට වඩා අඩු මුදලට පාරිභෝගිකයා හට ලබාදීම සඳහා එම වෙළඳසැල් හිමියන් කටයුතු කරන නිසාය.
ඇතැම් විට වෙළඳ හිමියන් හා පාරිභෝගිකයා අතර ගැටුම් ඇති විය හැකියි. මුල් අවස්ථාවේ එක මිලක්, පසුව තවත් මිලක් ප්‍රකාශ කිරීම තුළින් මෙම තත්ත්වයන් උද්ගත විය හැකියි. එය පාරිභෝගිකයා හට අදාළ ව්‍යාපාරික ස්ථානය පිළිබඳව විශ්වාසය නොමැති වීම හා කලකිරීමට හේතු වනු ඇත.
පාරිභෝගිකයන් භාණ්ඩ මිලදී ගන්නා විට මිල දර්ශන සඳහන් අලෙවිසැල් මගින් භාණ්ඩ ලබා ගත යුතුයි. එවැනි අවස්ථාවල නීතියට ගරු නොකරන ව්‍යාපාරිකයන්ට එරෙහිව කටයුතු කිරීමට හැකි වනු ඇත. එමෙන්ම පාරිභෝගික අධිකාරිය මේ සම්බන්ධව වැටලීම් දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරනු ලබයි. එවැනි ගැටලු ඇති වුවහොත් 1977 කෙටි දුරකථන අංකයට අමතා පැමිණිලි කළ හැකියි. සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකටම අනුයුක්තව පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරී කාර්යාලයක් පවතී. පාරිභෝගිකයා යම් අසාධාරණයකට ලක් වුවහොත් ඔවුන් හට එම ස්ථානය වෙත පැමිණිලි කළ හැකිය.
තොරතුරු: අසේල බණ්ඩාර
අධ්‍යක්ෂ, පාරිභෝගික කටයුතු හා තොරතුරු
සටහන: විශ්වනී හසලා
ලංකාදීප Online දැනුවත් විනාඩි තුන
Leave a comment