ලෝකයක් ආදරේ කරන රතු රෝස මල යන්න ගිහින් වසර 28ක්
අද අපි සිහිකරන්නේ ලෝකයම ආදරය කළ, අනුකම්පාවෙන් පිරුණු යුවතියක් ගැන
ලොවක් වසඟ කළ රූ සපුවක් සේම පිවිතුරු හදවතක් ඇති ඇය නමින් ඩයනා ෆ්‍රැන්සස් ස්පෙන්සර් ය, නැතහොත් Princess Of Wales යන අන්වර්ථ නාමයෙන් ඈ හඳුන්වයි. 1961 වර්ෂයේදී ජූලි 01 වන දින උපත ලද ඇය 1997 අගෝස්තු 31 දින මෙලොවින් සමුගත්තාය. එතැන් සිට 2025 අගෝස්තු 31 දිනට ඇය අප අතරින් වෙන්ව ගොස් වසර 28ක් වනවා. ඇය ලොවක් හඬවා සුසුම් හෙලූ එම දිනය කෙසේ නම් අමතක කරන්න ද යන්න ගැටලුවක්.
1961, එංගලන්තයේ සැන්ග්‍රින්හම් හි ෆ්‍රැන්සස් ට සහ ජෝන් ස්පෙන්සර් ට දාව බිහිවූ ඇය, ඔබ අපගේ ආදරණීය ඩයනා කුමරිය යි. ඇයට සාරා සහ ජේන් නම් සහෝදරියන් දෙදෙනෙක් සහ චාර්ල්ස් නම් සහෝදරයෙක් සිටියා. ඇය පෙර පාසල් අවදිය ගත කළේ Diss හි Riddlesworth Hall නම් පෙර පාසලේ. ඇය පාසල් යන සමයෙහි පියානෝ වාදනය, නර්තනය වගේම ගෘහස්ථ ක්‍රියාකාරකම් සඳහා ද දක්ශතා පෙන්වූ චරිතයක්. බොහෝ මිතුරු මිතුරියන් සමඟ සුහදව කටයුතු කළ ඇය කුඩා කල සිටම කාටත් සුහද අයෙක්. පසුව ඇය 1977 දී ස්විට්සර්ලන්තයේ Alpin Videmanette අධ්‍යාපන ආයතනයේ ද ඉගෙනුම ලබා බාලාංශ ගුරුවරියක් ලෙසද සේවය කර තිබෙනවා.
විවාහ ජීවිතය පිළිබඳ හැරී බැලීමේදී ඇය නිකන්ම නිකන් විවාහ වූ කතක් නොව ලොවක් දන්නා රජ පෙළපතක කුමරෙකුගේ අගමෙහෙසිය. ඇය නිකන්ම නිකන් ඩයනා නොව ඩයනා කුමරිය ලෙස අභිසෙස් ලැබූ ලඳක්. 1981 පෙබරවාරි 24 දින රජ පවුලේ විවාහය ජනතාවට නිළ වශයෙන් ප්‍රකාශ කළේ ඩයනා කුමරිය ඔටුන්න හිමි කුමරු හෙවත් චාර්ල්ස් කුමරු ව විවාහ කර ගැනීමෙන් පසුවයි. ඩයනා සහ චාර්ල්ස් ට දාව විලියම් කුමරු සහ හැරී කුමරු උප්පත්තිය ලැබුවා. පවුල් ජීවිතයේ නොයෙකුත් සන්ධිස්ථාන පසු කරමින් ඔවුන් 1992 දෙසැම්බර් මස තම දික්කසාද ජීවිතය තෝරා ගන්නවා. මේ පිළිබඳව ඩයනා කුමරිය නම් සඳහන් කළේ ඇය තම පෞද්ගලික ජීවිතය පිළිබඳ එතරම් සතුටකින් පසු නොවූ බවයි.
Fashion Designs එහෙමත් නැතිනම් නොයෙකුත් විලාසිතාවන් සඳහා දැඩි ඇල්මක් දැක්වූ ඇය විලාසිතා ලෝකයට වඩා වැඩි නැඹුරුවක් දැක්වූයේ සමාජ සේවයටයි. ඇය කළ කී දෑ අප්‍රමාණයි. ඇය සමාජ ක්‍රියාකාරිනියක් ලෙස ආයතන 100කට අධික ප්‍රමාණයක සභාපති ධූර සහ අනුශාසක ධූර දැරුවා. නිවාස නොමැතිව පීඩා විඳින්නන්, කුඩා ළමුන්, ආබාධිත වූවන් පමණක් ගැන නොව සමාජයෙන් පිළිසරණක් නොමැති HIV/AIDS ආසාදනය වූ පුද්ගලයන් හට ද උපකාර කිරීමට නොපසුබට වුණා. ඇය 1989 දී නිව්යෝර්ක් හි සංචාරයක ගිය අවස්ථාවක HIV/AIDS සමඟ ජීවත් වන පුද්ගලයන් බැලීමට ගිය බව ද ස සඳහන් රජ ගෙදර කුමරියක වූවත් ඇය දුප්පතාගේ හිතවතිය යන විරුදාවලිය ලැබීමට මහත් සුදුසුකමක් ඇත්තියක්.
මෙකී නොකී ඇයගේ ගුණයන් සමඟ ඇය මෙලොව හැර යන්නේ ඉතාමත් දරුණු කිසිදාක නොපැතූ අයුරින්. ඒ 1997 අගෝස්තු 31 වන දින මැදියම් රැයේ ප්‍රංශයේ පැරිස් නගරය හෙවත් ආදරවන්තයන්ගේ නගරයෙහි දී. එය අධික වේගය නිසා සිදු වූ හදිසි රිය අනතුරක්. නමුත් එය අද ඊයේ සිදුවූවාක් මෙන් හැඟෙන්නේ අදටත් ඇය අප හද තුළ ජීවමාන වන නිසාවෙන්. ඇය මියයන විට ගැබ්ගෙන සිටි බවත් එම දරුවා ඇයගේ පෙම්වතාගේ බවත් එය රජ පවුලට අවමානයක් ලෙස දැනගෙන මෙය හිතාමතා කළ අනතුරක් ද යන්න ජනප්‍රවාද සහ කුමන්ත්‍රණ න්‍යායාචාර්‍යවරුන් (conspiracy theorists) මත පළකරන අතර, සැබවින්ම එය තවමත් අභිරහසක්.
ඩයනා… හිරු නොබසින අධිරාජ්‍යයේ රූමතියයි. ඔබ මෙලොවින් ගොස් වසර 28 ක් වුව ද ඔබ සියලු සිත් සතන් තුළ අමරණීය කුමරියක්...
Leave a comment