සල්ලි නැතුව කන්ටෙන්ට් හදන්න තායිලන්තයට ගිය යූටියුබර්ට වුණ දේ
මුදල් වියදම් නොකර තායිලන්තය පුරා සංචාරය කිරීමට උත්සාහ කළ ඉන්දීය යූටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙකුට රාත්රිය ගත කිරීම සඳහා බෞද්ධ විහාරස්ථානයක කූඩාරමක් සකස් කිරීමට උත්සාහ කිරීමෙන් පසු එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබේ. මෙම සිදුවීම සමාජ මාධ්ය ඔස්සේ දැඩි කතාබහකට ද හේතු වී ඇත.
ඉන්දීය මාධ්ය වාර්තා අනුව, Anything Banshi නමැති යූටියුබ් නාලිකාව පවත්වාගෙන යන බන්ෂි (Banshi) නම් මෙම තරුණයා මුදල් නොමැතිව තායිලන්තය පුරා සංචාරය කරමින් සිටී. ආහාර, නවාතැන් සහ අනෙකුත් මූලික අවශ්යතා සපුරා ගැනීම සඳහා ඔහු ප්රධාන වශයෙන් ආගන්තුකයන්ගේ සහයෝගය සහ පරිත්යාග මත රඳා පවතින බව Hindustan Times වාර්තා කර ඇත.
ඔක්තෝබර් 5 වැනිදා තායිලන්තයේ උදොන් තානි (Udon Thani) පළාතේ පිහිටි වට් පොතිසොම්ෆොන් (Wat Photisomphon) විහාරස්ථාන භූමියේ රාත්රිය ගත කිරීම සඳහා ඔහු කූඩාරමක් සකස් කිරීමට උත්සාහ කර තිබේ. එහෙත්, එම ස්ථානය බාහිර පුද්ගලයන්ට රාත්රී නවාතැන් ගැනීම සඳහා භාවිත කිරීමට අවසර නොමැති බැවින් පොලිසිය සහ විහාරස්ථාන පරිපාලනය ඔහුට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇතැයි NDTV වාර්තා කරයි.
තමන්ට එදින රාත්රියේ විහාරස්ථානයේ රැඳී සිටීමට භික්ෂූන් වහන්සේ නමක අවසර ලබා දී තිබූ බව බන්ෂි පවසා ඇත. එම භික්ෂූන් වහන්සේ පොලිසියෙන් සහ විහාරස්ථාන බලධාරීන්ගෙන් අවසර ලබා දෙන ලෙස කිහිපවරක්ම ඉල්ලා සිටිය ද මිනිත්තු 20කට වැඩි කාලයක් පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහුට එම ස්ථානයෙන් පිටව යාමට සිදුව තිබේ.
ඔහුගේ ආරක්ෂාව පිළිබඳව ද අවධානය යොමු කළ පොලිස් නිලධාරීන් සහ විහාරස්ථාන නියෝජිතයන්, රාත්රිය ගත කිරීම සඳහා තායි බාට් 400ක (ඇමෙරිකානු ඩොලර් 12ක පමණ) මුදලකට ලබාගත හැකි අඩු වියදම් හෝටලයකට යන ලෙස යෝජනා කර ඇත. ඒ සඳහා අවශ්ය සහාය ලබා දීමට ද ඔවුන් ඉදිරිපත් වී තිබේ. එහෙත්, ඉතා අවම වියදමකින් සංචාරය කිරීමේ අරමුණින් සිටින බව පවසමින් ඔහු එම යෝජනාව ප්රතික්ෂේප කර ඇතැයි Khaosod English වාර්තා කරයි.
පසුව සමාජ මාධ්ය වෙත එක් කළ වීඩියෝවකට අනුව, ඔහු සිය බඩුබාහිරාදිය රැගෙන ඉන්ධන පිරවුම්හලක් වෙත ගොස් එහි රාත්රිය ගත කර තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්ය ඔස්සේ විවිධ අදහස් පළ වී ඇත. මූලික අවශ්යතා සපුරා ගැනීමට ප්රමාණවත් මුදලක් නොමැතිව විදේශ සංචාරයක නිරත වීම පිළිබඳව ඇතැම් පිරිස් ඔහු විවේචනය කර තිබේ. විශේෂයෙන්ම ආගමික ස්ථානවල රැඳී සිටීමේදී එරට සම්ප්රදායන්, නීති සහ නියමයන්ට ගරු කළ යුතු බව ඔවුහු පෙන්වා දෙති.
තායි පොලිසිය මෙම සිදුවීමේදී කාරුණිකව කටයුතු කළ බවට ඇතැම් පරිශීලකයන් ප්රශංසා කර තිබුණ ද, ප්රමාණවත් මුදල් නොමැතිව අන්යයන්ගේ නොමිලේ ලබාදෙන නවාතැන් සහ ආහාර මත යැපෙමින් යූටියුබ් වීඩියෝ මඟින් ආදායම් උපයා ගැනීමට උත්සාහ කිරීම සංචාරක වීසා කොන්දේසිවලට පටහැනි විය හැකිද යන්න පිළිබඳව ද ප්රශ්න මතු කර තිබේ.
තායිලන්තයට ඇතුළු වන ඇතැම් සංචාරකයන්ගෙන් අවම වශයෙන් තායි බාට් 20,000ක මුදල් සම්පත් ඇති බවට සාක්ෂි ඉල්ලා සිටිය හැකි බව ද අදහස් දැක්වූවන් සිහිපත් කර ඇත. තවත් පිරිසක් පෙන්වා දී ඇත්තේ පොදු ස්ථානවල හෝ ආගමික ආයතනවල රාත්රිය ගත කිරීමට පෙර අදාළ බලධාරීන්ගෙන් අවසර ලබාගත යුතු බවත්, තමන් සතු මූල්ය හැකියාවට අනුව සංචාර සැලසුම් කළ යුතු බවත්ය. ඉන්දීය ජාතිකයෙකු ලෙස අදහස් දැක්වූ තවත් අයෙකු පවසා ඇත්තේ, දේශීය ජනතාවගේ කරුණාව මත රඳා සිටීම වෙනුවට තායිලන්තයේ සිටින ඉන්දීය ප්රජාවෙන් හෝ වෙනත් ඉන්දීය ජාතිකයන්ගෙන් සහාය ඉල්ලා සිටීමට ඔහුට හැකියාව තිබූ බවයි.
මේ අතර, සංචාරක කර්මාන්තයේ ප්රතිරූපය ආරක්ෂා කිරීමේ අරමුණින් නීති උල්ලංඝනය කරන හෝ ගැටලු ඇති කරන විදේශීය සංචාරකයන්ගේ වීසා අවලංගු කිරීමට පියවර ගත හැකි බවට තායිලන්තය පසුගිය අගෝස්තු මාසයේදී අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබිණි.
අශන්ති වරුණසූරිය

Leave a comment