හිතේ ඩෙඟා නටපු හීනේ දැන් හැබෑවෙලා

 

 

වසර 2021 අයි.ටි.එන්. අවුරුදු කුමරිය තරගාවලියේ අවසන් දොළොස්දෙනා අතරට තේරී පත්වෙමින් උත්සාහයෙන් සහ කැපවීමෙන් රංගන සිහිනයද සැබෑ කර ගත් ඇය මේ දිනවල පුංචි තිරයේ හුරු පුරුදු රුවක් බවට පත් වී හමාරය.


පාර දිගේ ටෙලි නාට්‍යයේ ‘නිරාෂා’ ගේ චරිතයෙන් ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ඇය කියා දෙන්න ආදරේ තරම්, දිව්‍යාදරී, ජානු යන ටෙලි නාට්‍යවලින්ද ඔබ හමුවට එයි.


ඇය නමින්  තත්සරණි පියුමිකා ය. මෙවර සිරිකත කවරය හැඩ කරන්නේ ඇයයි. 


නම - තත්සරණි පියුමිකා
පාසල - කොළොන්නාව බාලිකා විද්‍යාලය
පවුලේ තොරතුරු - අම්මයි, තාත්තයි, මල්ලියි, මමයි

 


තාමත් අධ්‍යාපනය හදාරනවාද? රැකියාවක් කරනවාද? - 
උසස් පෙළ හදාරලා ඉවර වෙලා ඉන්දියන් කල්චර් සෙන්ටර් එකේ හින්දි ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරුවා. ඒ හදාරන අතරතුර තමයි මට පාරදිගේ රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ. ෂූටින් නිසා පාඨමාලාව අතරමග නතර කළා. අප්‍රේල්වලින් පස්සේ පාඨමාලාව සම්පූර්ණ කරන්න හිතාගෙන ඉන්නවා.
මම රැකියාවකුත් කළා. රූගත කිරීම් එක්ක රැකියාව කරන්න බැරි නිසා රැකියාවෙනුත්   ඉවත් වුණා.

 


රඟපෑම නිසා අධ්‍යාපනය, රැකියාව අතරමග නතර කරන්න සිදුවීම ගැන පසුතැවීමක් නැද්ද? 
අපෝ නෑ. පුංචි කාලේ ඉඳලා දැකපු හීනේ තමයි නිළියක් වෙන එක. රඟපෑමේ හීනය සැබෑ කරගන්න තමයි අයි.ටී.එන්. අවුරුදු කුමරිය තරගයට ගියේ. රඟපාන්න තිබෙන ආසාවටම සාමාන්‍ය පෙළට නාට්‍ය හා රංග කලාව විෂය තෝරා ගත්තා. 
අවුරුදු කුමරිය තරගයෙන් ඉවත් වෙලාා ටික දිනක් යද්දි පාරදිගේ ටෙලි නාට්‍ය නිෂ්පාදක චාමර සමරවික්‍රම මහතා නිරාශා ගේ චරිතයට මට කතා කළා. ඒ දවස මට හරියට හීනයක් වගේ.

 


පළමු රංගන අත්දැකීම කොහොමද දැනුනේ?
ප්‍රවීණ පිරිසගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. කැමරාවක් ඉස්සරහ මට අත්දැකීම් තිබුණේ නැති හන්දා පොඩි බයක් දැණුනා. බයට හරියට මට දෙබස් අමතක වුණා. සර්ධා සර්, ශිවගුරුනාදන් සර්, රොෂාන් අයියා, ගයත්‍රි අක්කා තමයි කැමරාවට තිබුණු බය නැති කළේ. රොෂාන් පිලපිටිය අයියා අදටත් වැරදෙන තැන් හදාගන්න ලොකු සහායක් දෙනවා.  වැරදෙන හැම තැනක්ම ශිවා සර් කියලා දෙන්නේ හරිම ආදරණීය විදියට.

 


කෙටි කාලයක් තුළ ප්‍රේක්‍ෂක ආදරය දිනාගත්තත් පැවැත්මක් හදාගන්න අමාරුයි. ඒ අභියෝගයට මුහුණ දුන්නේ කොහොමද?
‘පාර දිගේ’ ටෙලි නාට්‍ය නිසා තමයි මට හැම අවස්ථාවක්ම ලැබුණේ. සර්ධා සර්, ශිවගුරුනාදන් සර්, චාමර සර් මේ සියලුම දෙනාට ස්තූතිවන්න වෙනවා මට මේ අවස්ථාව ලබා දුන්නාට. මගේ පළමු රංගනය ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයෙකු යටතේ කරන්න ලැබීම මා ලද භාග්‍යයක්. 
ලෝකයේ හොඳම හමුවීම තමන්ට තමා හමුවීම කියලා මම අහලා තියෙනවා. පුංචි කාලේ ඉඳන් හිතේ ඩෙඟා නටපු පැළපදියන් වෙලා තිබුණු හීනයක් තමයි රඟපාන එක. රංගනය කියන්නේ පාසලකින් ඉගෙන ගෙන එන්න ඕනෑ දෙයක්. මම ඒක කරන ගමන් ඉන්නවා. විශේෂයෙන් කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ධනුෂ්ක රත්නායක අයියාවත් ගෞරවයෙන් මතක් කරනවා. 

 


ජානු ඔබ දකින අලුත්ම ටෙලි නිර්මාණය නේද?
ජානු ටෙලි නාට්‍යයේ මම නිරූපණය කරන්නේ ශාක්‍ය කියන චරිතය. සචින් ලියනගේ අයියාගේ නංගි විදියට තමයි රඟපාන්නේ. සමීර අයියා ‘ශාක්‍ය’ කියන චරිතයට ආරාධනා කළාම ශාක්‍ය වෙනුවෙන් මට යම් දෙයක් කරන්න පුළුවන් කියලා හැඟුණා. එහි මගේ අම්මාට රඟපාන්නේ වසන්ති රන්වල මහත්මිය. මට ලැබුණු දෙවැනි රංගන පාසල තමයි ඇය.

 

 

 

නදීශා අතුකෝරළ
ඡායාරූප සජීව ලක්ෂාන්


 

 

ICONIC AWARDS 2025 විජය පුවත්පත් සමාගමට සම්මාන රැසක් Read Previous

ICONIC AWARDS 2025 විජය පුවත්පත් සමාගමට සම්මාන රැසක්

වසරේ සිංහල සමාජ මාධ්‍ය ජාලයට හිමි විශිෂ්ඨතා සම්මානය ලංකාදීප Online සමාජ මාධ්‍ය ජාලයට Read Next

වසරේ සිංහල සමාජ මාධ්‍ය ජාලයට හිමි විශිෂ්ඨතා සම්මානය ලංකාදීප Online සමාජ මාධ්‍ය ජාලයට

Realted Post

Leave a comment