දිස්ත්‍රික් සංවර්ධන පුහුණු වැඩ පිළිවෙලින් මතු වූ දඹුල්ල නායක - කවීෂ

මේ දිනවල අනුරාධපුරයේදී පැවැත්වෙන අවුරුදු 19න් පහළ නැෂනල් යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට දක්ෂ යොවුන් ක්‍රීඩකයින් සොයන ප්‍රධානතම තරගාවලිය වනවා.
ඉදිරියේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීම සදහා එම තරගාවලියේ දක්ෂතා දක්වන ක්‍රීඩකයින් සලකා බැලීමට සූදානමින් පසුවනවා. පළාත් කණ්ඩායම් 5කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ දඹුල්ල පළාත් පිලේ නායකත්වය දරනු ලබන්නේ ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙස එක්වූ කවීෂ ලියනාරච්චි විසින්.

මාතලේ සාන්ත තෝමස්  විදුහලේ දීප්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ කවීෂ මාතලේ, දිස්ත්‍රික් වර්ණ ප්‍රදානොත්සවයේදී පිට පිට දෙවතාවක්ම වසරේ ක්‍රීඩකයා සම්මානය හා හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට සමත්වීම ඔහුගේ අනාගතය පිළිබඳ සුබ පෙර නිමිත්තක්. ශ්‍රී ලංකා ක්‍රිකට් රටපුරා මෙහෙයවන දිස්ත්‍රික් සංවර්ධන පුහුණු වැඩ පිළිවෙල යටතේ හැදී වැඩී ආ ක්‍රීඩකයෙකු ලෙස කවීෂ ලියනාරච්චි හඳුන්වාදීම වැදගත්.

 2019දී කවීෂ 13න් පහළ අවධියේදී මාතලේ කොටුවේගොඩ ශ්‍රී ලංකා ක්‍රිකට් දිස්ත්‍රික් සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුකරුවන් වූ සුජීව වසන්ත හා ලක්ෂිත හේරත් යන මහත්වරුන්ගේ පුහුණුව යටතේ ක්‍රිකට් පුහුණුව ආරම්භ කළ අයුරු කෘත‍වේදීව සිහිපත් කළ යුතුයි. අනතුරුව එම වසරේදීම ඔහු මාතලේ සාන්ත තොමස් විදුහලේ 13න් පහළ කණ්ඩායමට තෝරාගත් අතර, 15න් පහළ කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු ද වූවා.15න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේදී රටපුරා ක්‍රීඩකයින් අතුරින්  හොඳම පිතිකරු ලෙස සම්මානයට පාත්‍ර වූයේ කවීෂ ලියනාරච්චියි.

විද්‍යාර්ථ විදුහලට එරෙහිව ලකුණු 168ක්, සිල්වෙස්තර් විදුහලට එරෙහිව ලකුණු 80ක්, පොළොන්නරුව රාජකීය විදුහට එරෙහිව නොදැවී ලකුණු 60ක් හා මහනුවර ධර්මරාජයට එරෙහිව ලකුණු 200ක් සමඟ තරග 6කදී ලකුණු 533ක් වාර්තා කරනු ලැබුවා. එමෙන්ම එම වසරේම ශ්‍රී ලංකාවේ හොඳම පන්දු යවන්නන් අතුරින් දෙවැනි තැනට පත්වූ කවීෂ තරග 6කදී කඩුලු 12ක් බිඳහෙලීමට සමත් වුණා.
කො‍රෝනා වසංගතය හේතුවෙන් කවීෂට වසර 2ක් ක්‍රිකට් ක්‍රීඩාව මඟ හැරී ගියා. ඒ නිසා ඔහුට වයස 17ක් වෙද්දී 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන්නට සිදු වුණා. පාසලේ 19න් පහළ තරගාවලියේ ලැබුණු පළමු අවස්ථා‍වේදීම කවීෂ තරග 13කදී ලකුණු 450ක් හා කඩුලු 30ක් බිඳහෙලා දස්කම් දැක්වූවා. පසුගිය වසරේදී ඔහු තරග 13කදී ශතක 3ක් සමඟ ලකුණු 688ක් වාර්තා කළ අතර, කඩුලු 33ක් බිඳහෙලා ගෙන තිබෙනවා. පාසල් තරගවලදී දැක්වූ දක්ෂතා මත ඔහුට මාතලේ දිස්ත්‍රික් ක්‍රිකට් පිලේ දොරටු විවර වනවා. 2023 වසරේ 19න් පහළ සුපිරි දිස්ත්‍රික් තරගාවලියේදී තරග 5කදී කඩුලු 14ක් බිඳහෙළූ අතර, මුලතිව් දිස්ත්‍රික්කයට එරෙහිව ලකුණු 6ට කඩුලු 7ක් බිඳහෙලීම කාගේත් අවධානයට ලක්වූවා.

පසුගිය වසරේ ඩුබායි හි පැවැති ආසියානු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයෙකු වූ කවීෂ මේ වසරේ  19න් පහළ  සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේදී දඹුල්ල කණ්ඩායමේ නායකත්වයට පත් වුණා.ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවූ 17න් පහළ සුපිරි පළාත් තරගාවලියේදී දඹුල්ල පිලේ උප නායකයා ලෙස දැක්වූ දස්කම් මත ක්‍රමයෙන් ඉදිරියට පැමිණි පැහැදිලි අනාගතයක් ඇති යොවුන් ක්‍රීඩකයෙකු වනවා.

මාතලේ මහේෂ් කිර්තිරත්න

මත් ජාවාරමට සම්බන්ධ භික්ෂු ප්‍රතිරූපකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න - මහා නාහිමිවරු. Read Previous

මත් ජාවාරමට සම්බන්ධ භික්ෂු ප්‍රතිරූපකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න - මහා නාහිමිවරු.

සැබෑ සාමය අභ්‍යන්තර විප්ලවයයි Read Next

සැබෑ සාමය අභ්‍යන්තර විප්ලවයයි

Realted Post

Leave a comment