ගැහැනු බර ඉස්සුවට පිරිමි වගෙ වෙන්නෙ නෑ

පසුගියදා නිමාව දුටු ආසියා/ශාන්තිකර සවි එසවීමේ (ක්ලැසික් පවර්ලිෆ්ටින්) තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් 4ක් දිනා දීමට රෂිතා ද සිල්වා සමත් විය. අභියෝග මැදින් ඇය පැමිණි ගමන්මග පිළිබඳ සටහනකි මේ, 

සවි එසවීමේ ක‍්‍රීඩාවට ආපු හැටි

මම ගියේ කුරුණෑගල මලියදේව බාලිකා විදුහලට. ඒ කාලයේ මම පිහිනුම් ක‍්‍රීඩාව කළා. ඉස්කෝලෙන් පස්සේ මගේ 
ශාරීරික යෝග්‍යතාව පවත්වාගෙන යන්න ජිම් ගියා. එහිදී තමයි මේ ක‍්‍රීඩාවට යොමුවෙන්න හිතුවේ. මටත් මුලින්ම උවමනාවක් තිබුණෙ ලස්සන සිරුරක් හදා ගන්නයි. ඒවගේම මට ශක්තිමත් වෙන්නත් ලොකු ආසාවක් තිබුණා. ඒ නිසා තමයි ක‍්‍රීඩාවක් විදිහට සවි එසවීම කරන්න හිතුවේ. මුලින්ම තරගාවලියකට සහභාගි වුණේ පසුගිය 2022 වර්ෂයේ ඔක්තෝබර් පැවැත්වුණු ජාතික සවි එසවීමේ තරගාවලියට. මේ තරගාවලියේදී කි.ග‍්‍රෑම් 52 කාන්තා ඉසව්වේ පළමු ස්ථානය ලැබුණා. ජාතික මට්ටමේ මගේ පළමු පදක්කම එයයි. 

පළමු ජාත්‍යන්තර අත්දැකීම 

පසුගියදා පැවැත්වුණු ආසියා/ශාන්තිකර සවි එසවීමේ තරගාවලිය මගේ පළමු ජාත්‍යන්තර තරග අත්දැකීමයි. මේ තරගයට යන්න මාව උනන්දු කළේ පුහුණුකරු රන්සිළු ජයතිලකයි. මේ තරගාවලියේදී මට  ස්කොට්, ඩෙඞ් ලිෆ්ට් හා බෙන්ච් ප්‍රෙස් ඉසව් තුනෙනුත් සමස්ත ඉසව්වෙනුත් රිදී පදක්කම බැගින් රිදී පදක්කම් 4 ක් දිනාගන්න හැකි වුණා. මේ ඉසව් 4න්ම  ශ්‍රී ලංකා වාර්තා 4 ක් තියන්නත් මට පුළුවන් වුණා. 

ජාත්‍යන්තරයට යද්දි තිබුණු අභියෝග 

පළමු අභියෝගය වුණේ මේ ක‍්‍රීඩාව ලංකාවේ වෘත්තීමය ක‍්‍රීඩාවක් නොවීම.  මමත් මේ ක‍්‍රීඩාව කරන්නේ මගේ වෘත්තීය හා අධ්‍යාපන කටයුතු මැද. ඒක ඇත්තටම ලොකු කැපකිරීමක් සහ අභියෝගයක්. අනෙක් කාරණය ජාතික ශූරතාව දිනුවට පස්සේ ඊළඟට තිබෙන පියවර ගැන මට හිතාගන්න බැරුව හිටියේ. අන්තර්ජාතික තරගාවලියකට අවශ්‍ය මගේ තාක්ෂණය හා දැනුම හදලා ඒ සඳහා දිරිමත් කළේ රන්සිළුයි.
ගැහැනු ළමයෙක්වීම නිසාම මේ ක‍්‍රීඩාවට එද්දි අභියෝග එල්ල වුණා. මගේ පවුලේ සාමාජිකයින්ගෙනුත් ආවා. නමුත් පසුව ඔවුන් එය තේරුම් ගත්තා. මගේ අක්කලා දෙදෙනාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මම ජාතික ශූරතාව දිනුවට පස්සේ අන්තර්ජාතික මට්ටමේ තරගාවලියකට යන්න දිරිමත් කළේ අක්කා. නමුත් දැන් පවුලේ හැමෝම ලොකු සහයෝගයක් දෙනවා.

රැකියාවයි ක‍්‍රීඩාවයි සමබර කරගන්න හැටි 

වෙලාව කළමනාකරණය ලොකු අභියෝගයක්. හැබැයි උවමනාවක් තියෙනවා නම් අපිට ඒක කරන්න පුළුවන්. මම සතියකට දවස් 5 ක්, පැය 3 ක් බැගින් පුහුණුවීම් කරනවා. 

සවි එසවීමට ලෝකයේ තිබෙන තැන 

ලෝක මට්ටමෙන් පවර්ලිෆ්ටින් ක‍්‍රීඩාව හු`ගක් දියුණුයි. ආසියානු මට්ටමින් චීන තායිපේ, ඉන්දියාව, මැලේසියාව වගේ රටවලින් හු`ගක් ක‍්‍රීඩිකාවන් තරගාවලිවලට එනවා. ඒ අතරින් චීන තායිපේ කියන්නේ වෘත්තීය මට්ටමින් තරගාවලි කරන රටක්. මගේ බර පන්තියේ ඩෙඞ් ලිෆ්ට් ලෝක වාර්තාව තියෙන්නේත් සිංගප්පූරුවේ කෙනෙකුට.

අනාගත බලාපොරොත්තු

ක‍්‍රීඩාවෙන් මට තවත් අධ්‍යයනය කරන්න සහ වැඩිදියුණු කරගන්න දේවල් තියෙනවා. විශේෂයෙන් ශක්තිය පැත්තෙන් තව වැඩි දියුණු කරගන්න මට පුළුවන් කියල හිතෙනවා. ආසියානු මට්ටමේ තරගාවලි ජයග‍්‍රහණය කරන්න මට ඉලක්කයක් තියෙනවා. ආසියානු තරගාවලිය එළැඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වෙනවා. ඉදිරියේදී ලංකාවට ජාත්‍යන්තර රන් පදක්කමක් ගේන්නත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. 
මම පෞද්ගලික ආයතනයක වැඩ කරනවා. ඒ අංශයෙනුත් ඉදිරියට යන්න බලාපොරොත්තුවක් තියෙනවා. ක‍්‍රීඩාව නිසා අනෙක් දේවල් නැති කරගන්න මම හිතන්නේ නෑ. අභියෝගාත්මක සංචාරයේ යෙදෙන්නත් මම කැමතියි.

සවි එසවීමට කැමති අයට දෙන පණිවිඩිය

නගරාශ‍්‍රිතව ජිම් යන එක වගේම සවි එසවීම  ගැන ලොකු කැමැත්තක් තියෙනවා. නමුත් ලංකාවෙ දක්ෂතා තියෙන ගැහැනු ළමයි ඉන්නවා. මේ ක‍්‍රීඩාව ගැන මිනිස්සුන්ගෙ දුර්මත සෑහෙන්න තියෙනවා. ගැහැනු ළමයි බර උස්සන්න හොඳ නෑ, පිරිමි අය වගේ වෙනවා වගේ දුර්මත, ඒව බොරු මිත්‍යා මත විතරයි. ගැහැනු අය එහෙම වෙන්න පිරිමි හෝමෝන ඇෙඟ් නැහැනෙ. ඔය වගේ කතා මටත් ගොඩක් කිව්වා. නමුත් ඇඟ හැඩ කරගෙන මාංශ පේශි වර්ධනය කර ගැනීමේ ඉලක්කයට ඉක්මනින්ම මට යන්න පුළුවන් වුණේ පවර්ලිෆ්ටින් නිසයි. මේ ක‍්‍රීඩාව නිසා ගැහැනු ළමයින්ට ශාරීරිකව ශක්තිමත් වෙන්න වගේම සිරුරේ හැඩය අලංකාරව පවත්වා ගැනීමටත් හැකිවෙනවා. හොඳ පුහුණුකරුවෙක් ළ`ග පුහුණුවීම් කිරීමත් ස්වයං අධ්‍යයනයත් වැදගත්. එක දවසින් නම් ප‍්‍රතිඵල ගන්න බැහැ.

සිරුරෙ ප‍්‍රමාණය බලපානවද?

සිරුරෙ ප‍්‍රමාණය බලපාන එකත් මිත්‍යා මතයක් විතරයි. මේ ක‍්‍රීඩාවේ බර කාණ්ඩ තියෙනවා. මමත් ශරිර ප‍්‍රමාණයෙන් කුඩා කෙනෙක්. හු`ගක්දෙනා  හිතන්නෙත් නෑ මම පවර්ලිෆ්ටින් කරනවා කියලා. සිහින් ගැහැනු ළමයෙකුට වුණත් සිරුරේ හැඩය පවත්වා ගන්න මෙය හොඳ ක‍්‍රීඩාවක්. විශේෂයෙන් සිරුර මහත්වෙන්නේ නෑ.

මේ ක‍්‍රීඩාව ගමට ගෙනියන්න  ඕනෑ 

ක‍්‍රීඩා අමාත්‍යාංශය සහ පවර්ලිෆ්ටින් සංගමය එක්ව මේ ක‍්‍රීඩාව ගමට ගෙනියන්න සැලසුම් කළ යුතුයි. විශේෂයෙන් දැනුවත් කිරීම් කරලා තියෙන දුර්මත නැති කරන්න  ඕනෑ. මේ ක‍්‍රීඩාවට විශේෂයෙන් සැකසූ උපකරණ තිබෙනවා. ඒවා හු`ගක් කොළඹ විතරයි තියෙන්නේ. මේවා ගමට යන්න  ඕනෑ. ජාතික තරගාවලිවලට එන සංඛ්‍යාව තව තවත් වැඩිවෙන්න  ඕනෑ. ගම්වල ගැහැනු ළමයි නම් මේ ක‍්‍රීඩාවට එන්නේම නැති තරම්. මමත් කුරුණෑගල හිටියා නම් මේ ක‍්‍රීඩාවට එන එකක් නෑ. ඒ තත්ත්වය වෙනස් විය යුතුයි.

සටහන -  ඕෂිත වරකපිටිය 
ඡායාරූප - රුසිරු කොළඹතන්ත‍්‍රිගේ 

 

අඟහරු තරණයට සුදුසුකම් ලත් අපේ කෙල්ල Read Previous

අඟහරු තරණයට සුදුසුකම් ලත් අපේ කෙල්ල

සිරිකත Fashion Read Next

සිරිකත Fashion

Realted Post

Leave a comment