චමරි ගිය ආත්මෙ වෙඩි වැදිලා මැරිලා

හිත ඇත්නම් පත කුඩා ද කියන්නේ කටවහරට ම නෙවෙයි. කාන්තාවකට වුවද උත්සාහය ඇත්නම් යා හැකි දුර බොහෝ යි. ඒ බව මෑතකදී ලෝකයටම කියාදුන් ක‍්‍රිකට් තාරකාවක් තමයි චමරි අතපත්තු කියන්නේ. ඇය ගැන ලෝකයම කතා කරන මොහොතක අපිත් චමරි සමග කතාබහක යෙදුණා.

නවසීලන්තයට එරෙහිව අවසන් තරගය ජය ගෙනත් තරගාවලියේ ජය අහිමි වීම ගැන පසුතැවීමක් නැද්ද?

ලොකුම අවශ්‍යතාව වුණේ ලෝක කුසලාන එක්දින තරගය ජයග‍්‍රහණය කිරීමයි. ඒක අපිට කරන්න පුළුවන් වුණා. ගාල්ලෙදි 2ට 1 ක් ලෙස අපි තරගය ජයග‍්‍රහණය කළා. නමුත් අවාසනාවට ඔ -20 තරග කරද්දි තරග දෙකක් ම අසාර්ථක වුණා. ඒ ගැන කනගාටුවක් තියෙනවා.

අවසන් තරගයේදී ඔබේ පිතිකරණය ගැන බොහෝ දෙනෙක් කතා වුණා නේද?

ඔව්, මම හිතන්නේ මම පහුගිය කාලය පුරාවටම ලකුණු අතරේ හිටියා. හොද පුහුණුවක් වගේම සූදානමකුත් තිබුණා. ඒක නිසා මම හිතන්නේ පිතිකාරිනියක් හැටියට තරගාවලිය හොඳින් අවසන් කිරීමට  මට හැකි වුණා.

තරග  ජයග‍්‍රහණයට ලංකාවේ තිබෙන පහසුකම් ප‍්‍රමාණවත් ද?

ඇත්තටම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංගමය පැත්තෙන් ලොකු සහයෝගයක් දෙනවා. පුහුණුවීම් පහසුකම් වගේම හැමදේම ලබාදෙනවා. මම ඒ ගැන ගොඩක් සතුටුවෙනවා. ඒ වගේම මම හිතන්නේ හොඳ පුහුණුකරුවන් කිහිපදෙනෙක්ම ලංකාවට ලැබුණා. ඒක නිසා හොඳ සහයෝගයක් අපිට ලැබෙනවා. ඉදිරියේදී තරග අත්දැකීම් එක්ක ජයග‍්‍රහණ ලබන්න බලාපොරොත්තු වෙනවා.

ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවක් වෙන  හීනය පුංචි කාලේ ඉඳලම තිබුණ ද?

වයස අවුරුදු පහ වෙනකොට ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවක් වෙන්න හීනයක් තිබුණා. ඒකට ප‍්‍රධාන හේතුව වුණේ මගේ මාමා. ඔහු ක‍්‍රිකට් ක‍්‍රීඩා පුහුණුකරුවෙක්. ඔහුගේ අඩි පාරේ යමින් තමයි මම ක‍්‍රිකට් ක‍්‍රීඩාවට යොමු වුණේ. අවුරුදු පහේදී මට බෝලෙයි, බැට් එකයි ලැබුණා. 1997 දී ලංකාව නියෝජනය කරලා පළමු වතාවට ලෝක කුසලාන තරගාවලියට කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමක් යනවා. එතකොට මට වයස අවුරුදු හයයි. මට මාමා පේපර් ආර්ටිකල් එකක් ගෙනත් දීල කිව්වා ගැහැනුු ළමයි ක‍්‍රිකට් සෙල්ලම් කරනවා. ලංකාවේ කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමක් තියෙනවා කියලා. මමත් කවදහරි මේ කණ්ඩායමේ ක‍්‍රිකට් සෙල්ලම් කරනවා කියන බලාපොරොත්තුව මට ඒත් එක්කම ඇතිවුණා. ඒ විදියට ආපු ගමනෙදි 2009 වෙද්දි මම මගේ පළමුවැනි ජාත්‍යන්තර තරගය  නියෝජනය කළා.

ඔබට ඊට පෙර පැවති  ජාත්‍යන්තර තරගය අහිමි වෙනවා නේද?

මට පළමුවැනි ජාත්‍යන්තර තරගය නියෝජනය කරන්න අවස්ථාව ලැබුණෙ 2008 අපේ‍්‍රල් මාසයේදී. මගේ පළමුවැනි තරග සංචාරය වෙන්න තිබුණෙත් එම තරග සංචාරය. ආසියානු කුසලාන තරගාවලියත් දඹුල්ලේදී පැවැත්වුණා. ඒකටත් මට ක‍්‍රීඩා කරන්න ලැබුණෙ නැහැ. ඒකට හේතුව වුණේ අප්පච්චි හදිස්සියේ අපෙන්  සමුගත් නිසා. මම පුහුණුවීම්වලට ඇරලවලා යද්දි ඇතිවුණු හදිසි හෘදයාබාධයකින් තමයි අප්පච්චි නැති වුණේ. ඒක නිසා මට අවුරුද්දක් විතර ක‍්‍රිකට්වලින් ඈත්වෙලා ඉන්න සිද්ධ වුණා. මොකද මට කොළඹ එන්න විදිහක් තිබුණෙ නැහැ. නමුත් මම උත්සාහය අතහැරියේ නැහැ. කුරුණෑගලදී මම පිරිමි ළමයි එක්ක පුහුණුවීම් කළා. එකේ ප‍්‍රතිඵලයක්  විදියට 2009 දී  ජාතික සංචිතයට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබුණා.

කුරුණෑගල කෙල්ලෙක් කොළඹට ඇවිල්ලා මේ ආපු ගමන ගැන ආපහු හැරිලා බලද්දි මොකද හිතෙන්නේ?

ඇත්තටම ගොඩක් සතුටුයි. පුහුණුවීම්වලට උදේ දෙකට විතර තමයි කුරුණෑගලින් පිටත් වෙන්නේ කොළඹ එන්න. ආපහු යද්දි ? 10.30 විතර වෙනවා. එහෙම ඇවිල්ලත් පුහුණුවීම්වලට යනවා. උදේ පාන්දර ලොකු බෑග් එකකුත් අරගෙන කාක්කො කෑගහද්දී බස් එකෙන් බහිද්දී ඒ දැනුණු හැඟීම තාමත් මතකයි. ගොඩක් අමාරුවෙන් ආපු ගමනක්. ඒ නිසා මම ගොඩක් ශක්තිමත් වුණා. එහෙම නොවුණා නම් අද මට මෙහෙම කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නෙත් නැහැ. ඒ කාලෙ තිබුණු බාධක එක්ක හිතද්දි දැන්  ඕනෑම දේකට මුහුණ දෙන්න පුළුවන්.
ඔබ පුංචි කාලයේ පුනර්භවය ගැන සඳහන් කරලා තියෙනවා. දැන් මේ ඉන්න තත්ත්වයට එන්න ඒ දේත් බලපාන්න

ඇති කියලා හිතිලම නැද්ද?

එහෙම හිතිලම නැත්තෙ නැහැ. මම පුංචි කාලේ මගේ පුනර්භවය ගැන සඳහන් කරලා තියෙනවා. මට දැන් ඒ ගැන ලොකු මතකයක් නැහැ. මම ආමි එකේ ඉඳලා වෙඩි වැදුණා කියලා තමයි කියල තිබුණේ. පිරිමි ළමයෙක් විදියට හිටිය කියල තමා මම කියලා තියෙන්නේ. මම ඒ ගැන වැඩිය සඳහන් කරනවට අප්පච්චි කැමති වුණේ නැහැ. ඒක නිසා තමයි මාමාත් එකතු එකතුවෙලා මාව ක‍්‍රිකට්වලට යොමු කළේ. ඒ ශක්තියත් හේතුවෙන්න ඇති මේ තැනට එන්න.

මිනිස්සුන්ව අතේ දුරින් ආශ‍්‍රය කරන්න විශේෂ හේතුවක් තියෙනවා ද?

ඒකට විශේෂ හේතුව මිනිස්සු ගොඩක් සමීප වුණාම ප‍්‍රශ්න වැඩිවෙනවා. බැඳීම් ගොඩක් එක්ක මම කරන දේට මූලික තැන දෙන්න අමාරුයි. ඒත් මම හැමෝටම උදව් කරනවා. මම මගේ සීමාව තුළ ඉඳන් තමයි හැමදේම කරන්නෙ. මම ප‍්‍රශ්න දාගන්න කැමති කෙනෙක් නෙවෙයි. ඒ නිසා බොහොම සීමිත පිරිසක් තමයි ආශ‍්‍රය කරන්නෙ.

ෆිට්නස්  එක මේන්ටේන් කරන්නෙ කොහොමද?

මම පුංචි කාලේ ඉඳලම ගොඩක් ෆිට්නස්  මේන්ටේන් කරපු කෙනෙක්. වයසත් එක්ක බර වැඩි වෙන දේවල් වෙනවා. හැබැයි මම කෑම ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා සහ දුවනවා, ජිම් යනවා.

ඉදිරියටත් තනිකඩව ඉන්නද බලාපොරොත්තුව?

නැහැ. මම ක‍්‍රිකට් ක‍්‍රීඩාව කරනකම් මෙහෙම ඉදීයි. මොකද මං මගේ මුළු ජීවිතයම සහ ජවයම කැප කරලා තියෙන්නෙ  ක‍්‍රිකට් ක‍්‍රීඩාවට. ක‍්‍රිකට්වලින් පස්සේ මම මගේ පෞද්ගලික ජීවිතයේ තීන්දු තීරණවලට යාවී. දැනට මම මගේ අවධානය යොමු කරලා තියෙන්නේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට.

කණ්ඩායම් නායිකාව විදියට ඔබේ ඉදිරි සැලසුම මොන වගේද?

මගේ එකම බලාපොරොත්තුව මම  ක‍්‍රිකට්වලින් සමුගන්න කලින්  දක්ෂ කණ්ඩායමක් නිර්මාණය කරන එක. ඒකට අවශ්‍ය දේවල් දැනටමත් සකස් කරමින් ඉන්නෙ. ඒ වගේම මම ඉවත් වෙලා යන්න කලින් ලෝක කුසලානයක් ලංකාවට ගෙනත් දෙන එක මගේ තව හීනයක්. අපිට දක්ෂ කණ්ඩායමක් ඉන්නවා. ඒකත් දිනන්න පුළුවන්.

සටහන - නෙත්මි තෂාරා

 

හදිසියක් නැහැ..... හෙමින් යනවා ....  සුප්පා දෙවිය ..  අභිලාෂි Read Previous

හදිසියක් නැහැ..... හෙමින් යනවා .... සුප්පා දෙවිය .. අභිලාෂි

මම ඉපදුණේ  අම්මා මිය ගිහින්  දවස් දහයකට පස්සේ - මොහාන් රාජ් මඩවල Read Next

මම ඉපදුණේ අම්මා මිය ගිහින් දවස් දහයකට පස්සේ - මොහාන් රාජ් මඩවල

Realted Post

Leave a comment