රසට කනකොට ඇහැ රැකෙන කෑම

නිවැරදි ආහාර රටාවක් අනුගමනය කිරීම මගින් ඇස්වල සෞඛ්‍යය දිගුකාලීනව ආරක්ෂා කර ගත හැකි බව විශේෂඥයෝ පවසති. විශේෂයෙන්ම විටමින්, ප්‍රතිඔක්සිකාරක සහ කැරොටිනොයිඩ් සංයෝග බහුල ආහාර මගින් දෘෂ්ටිය වැඩිදියුණු කිරීමටත් වයස්ගත වීමත් සමඟ ඇතිවන අක්ෂි රෝග වළක්වා ගැනීමටත් හැකියාව ඇත.

හෝ චි මිං නගරයේ ටැම් අන් රෝහලේ අධි තාක්ෂණික අක්ෂි මධ්‍යස්ථානයේ වෛද්‍ය ඩුවොං මින් ෆුක් පවසන්නේ ඇස්වල සෞඛ්‍යය සඳහා ප්‍රයෝජනවත් පෝෂක අඩංගු ආහාර නිවැරදි ප්‍රමාණවලින් පරිභෝජනය කිරීම අත්‍යවශ්‍ය බවයි.

1. කැරට්

කැරට් බීටා-කැරොටීන් (Beta-carotene) බහුලම ආහාර අතරින් එකකි. ශරීරයට ඇතුළු වූ පසු මෙම සංයෝගය විටමින් A බවට පරිවර්තනය වන අතර, එය දෘෂ්ටි විතානය (Retina) නිරෝගීව පවත්වා ගැනීමට සහ අඳුරු ආලෝක තත්ත්වයන් තුළ දැකීමේ හැකියාව වැඩිදියුණු කිරීමට උපකාරී වේ.

එමෙන්ම කැරට්වල ඇති බීටා-කැරොටීන් වයසට යෑමත් සමඟ ඇතිවන මැකියුලා පිරිහීම (Macular Degeneration) සහ ඇසේ සුද (Cataract) ඇතිවීමේ අවදානම අඩු කිරීමටද දායක වේ.

කෙසේ වෙතත්, අධික ලෙස කැරට් ආහාරයට ගැනීමෙන් ආහාර ජීර්ණ අපහසුතා හෝ සම කහ පැහැ ගැන්වීම වැනි තත්ත්වයන් ඇතිවිය හැකි බැවින්, වැඩිහිටියන් සඳහා සතියකට දෙතුන් වතාවක් ග්‍රෑම් 100ක පමණ ප්‍රමාණයක් ප්‍රමාණවත් වේ.

2. බතල

බතල ද ඇස්වල සෞඛ්‍යයට හිතකර පෝෂක රැසකින් පොහොසත්ය. විශේෂයෙන්ම තැඹිලි පැහැති බතලවල බීටා-කැරොටීන් බහුලව අඩංගු වන අතර, එය ඇස් වියළීම වැළැක්වීමට සහ මැකියුලා පිරිහීමෙන් ආරක්ෂා වීමට උපකාරී වේ.

මීට අමතරව, බතලවල විටමින් C, විටමින් E සහ ඇන්තොසයනින් (Anthocyanins) අඩංගුය. දම් පැහැති බතලවල මෙම සංයෝග විශේෂයෙන්ම වැඩි වන අතර, ඒවා දෘෂ්ටි විතානය ආරක්ෂා කරමින් ඇස් වයසට යෑමේ ක්‍රියාවලිය මන්දගාමී කිරීමට උපකාරී වේ.

කහ සහ දම් බතලවල ඇති ලුටීන් (Lutein) සහ සීඇක්සැන්තින් (Zeaxanthin) මගින් ජංගම දුරකථන, පරිගණක සහ හිරු එළියෙන් නිකුත් වන හානිකර නිල් ආලෝකයෙන් ඇස් ආරක්ෂා කරයි.

3. බීට්රූට්

බීට්රූට්වල ලුටීන් සහ සීඇක්සැන්තින් බහුලව අඩංගු වන අතර, එම සංයෝග දෘෂ්ටි විතානය නිල් ආලෝකය සහ පාරජම්බුල කිරණවලින් ආරක්ෂා කරයි.

එමෙන්ම බීට්රූට් ස්වභාවික නයිට්‍රේට්වලින් පොහොසත්ය. ශරීරය තුළ එය නයිට්‍රික් ඔක්සයිඩ් බවට පරිවර්තනය වී රුධිර නාල පුළුල් කිරීමට සහ රුධිර සංසරණය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මේ හේතුවෙන් ඇස් වෙත ඔක්සිජන් සහ පෝෂක ද්‍රව්‍ය සැපයීම වැඩිදියුණු වන අතර දෘෂ්ටි විතානය හා දෘෂ්ටි ස්නායුවේ ක්‍රියාකාරිත්වය ශක්තිමත් වේ.

4. කහ

කහවල අඩංගු ප්‍රධාන ක්‍රියාකාරී සංයෝගය වන කර්කුමින් (Curcumin) ඇස්වල සෞඛ්‍යයට ඉතා ප්‍රයෝජනවත් බව වෛද්‍ය ෆුක් පෙන්වා දෙයි.

කර්කුමින්වල ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රතිදැවිලි ගුණ ඇති බැවින් ඇස් රතු වීම, යුවියයිටිස් (Uveitis), ග්ලුකෝමා (Glaucoma), දියවැඩියා ආශ්‍රිත දෘෂ්ටි විතාන රෝග සහ මැකියුලා පිරිහීම වැනි තත්ත්වයන් පාලනය කිරීමට සහ ඒවායේ වර්ධනය මන්දගාමී කිරීමට උපකාරී විය හැකිය.

කෙසේ වෙතත්, කර්කුමින් ශරීරයට අවශෝෂණය වීම අඩු බැවින් එය කළු ගම්මිරිස් සමඟ ගැනීම වඩාත් ප්‍රයෝජනවත් වේ. අධික ලෙස කහ භාවිත කිරීමෙන් ඔක්කාරය, බඩේ වේදනාව සහ අක්මා ආශ්‍රිත ගැටලු ඇතිවිය හැකි බැවින් ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් විය යුතුය.

5. ලූනු

ලූනු සෘජුවම දෘෂ්ටිය වැඩිදියුණු නොකළත්, ඇස්වල සෞඛ්‍යය ආරක්ෂා කිරීමට වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

එහි අඩංගු ක්වර්සෙටින් (Quercetin) නම් ප්‍රතිඔක්සිකාරක සංයෝගය ශරීරයේ දැවිල්ල අඩු කරමින් නිදහස් රැඩිකල් මගින් සිදුවන හානි අවම කරයි. මෙම හානි මැකියුලා පිරිහීම සහ ඇසේ සුද ඇතිවීමට ප්‍රධාන හේතු අතර වේ.

එමෙන්ම ක්වර්සෙටින් මගින් රුධිර සංසරණය වැඩිදියුණු වන අතර, ඇස්වලට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂක ද්‍රව්‍ය සැපයීම පහසු කරයි. කෙසේ වෙතත්, ලූනු යුෂ සෘජුවම ඇස්වලට දැමීම කිසිසේත්ම නොකළ යුතුය. එය ඇස්වල දැවිල්ල, කැසීම සහ පිළිස්සුම් තත්ත්වයන් ඇති කළ හැකිය.

ඇස් ආරක්ෂා කර ගැනීමට අමතර උපදෙස්

වෛද්‍ය ෆුක් නිර්දේශ කරන්නේ ලූනු ඇතුළු මෙම ආහාර, විටමින් A, ලුටීන් සහ සීඇක්සැන්තින් බහුල වෙනත් ආහාර සමඟ එකතු කර ආහාරයට ගැනීමයි. කැරට්, කොළ පැහැති එළවළු, සැමන් මාළු සහ බිත්තර වැනි ආහාර මෙම පෝෂකවල හොඳ ප්‍රභවයන් වේ. ඇස් නිරෝගීව තබා ගැනීම සඳහා පෝෂ්‍යදායී ආහාර රටාවක්, ප්‍රමාණවත් නින්දක්, නිතිපතා අක්ෂි පරීක්ෂාවන් සහ ඩිජිටල් තිර භාවිතයේදී ඇස්වලට විවේක ලබාදීම ද අත්‍යවශ්‍ය වේ.

අශන්ති වරුණසුරිය 

සත්‍ය කතාවක් ඇසුරින් ’’ කාමර අංක 106’’  සිනමාවට එක්වෙයි . Read Previous

සත්‍ය කතාවක් ඇසුරින් ’’ කාමර අංක 106’’ සිනමාවට එක්වෙයි .

පාසල් රග්බි පිටියේ ත්‍රිත්ව සිංහයෝ අපරාජිතව ඉදිරියටම Read Next

පාසල් රග්බි පිටියේ ත්‍රිත්ව සිංහයෝ අපරාජිතව ඉදිරියටම

Realted Post

Leave a comment