Banana bread ගුණයිද ?
බ්රිතාන්යයේ ජනප්රිය ආහාරයක් වන Banana Bread සෞඛ්යයට හිතකර ආහාරයක් ලෙස බොහෝ දෙනා සැලකුව ද, එහි සීනි, මේදය සහ කැලරි ප්රමාණය අනෙකුත් කේක් වර්ගවලට සමාන විය හැකි බව පෝෂණ විශේෂඥයෝ පෙන්වා දෙති.
පසුගිය සතියේදී, කෙසෙල් දුඹුරු පැහැයට හැරීම ප්රමාද කර දින කිහිපයක් වැඩි කාලයක් නැවුම්ව තබාගත හැකි ජානමය වශයෙන් වෙනස් කළ කෙසෙල් වර්ගයක් හඳුන්වා දීම පිළිබඳව ද අවධානය යොමු විය. බ්රිතාන්යයේ නොර්විච් නගරය පදනම් කරගත් ජෛව තාක්ෂණ සමාගමක් වන Tropic විසින් මෙම නව නිෂ්පාදනය හඳුන්වා දී තිබේ.
එම සමාගම පවසන්නේ මෙම තාක්ෂණය පුළුල් ලෙස භාවිතයට ගැනීමෙන් ආහාර නාස්තිය අවම කිරීමටත්, වාර්ෂික කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ටොන් මිලියන නවයකින් පමණ අඩු කිරීමටත් හැකි වනු ඇති බවයි.
කෙසේ වෙතත්, කෙසෙල් පාන් සකස් කිරීමේදී ඉතා හොඳින් ඉදුණු, දුඹුරු පැහැයට හැරුණු කෙසෙල් භාවිත කිරීම වැදගත් වේ. එසේ නොවුණහොත් එහි රසය අඩු විය හැකි බව ආහාර පිසීමේ නිරත බොහෝ දෙනාගේ අදහසයි.
පෝෂණවේදිනී සහ How Not To Eat Ultra Processed කෘතියේ කතුවරියක වන නිකොලා ලඩ්ලම්-රේන් පවසන්නේ පලතුරු අඩංගු බැවින් කෙසෙල් පාන් සෞඛ්යයට හිතකර ආහාරයක් ලෙස සැලකීම සාමාන්ය දෙයක් වුවද, බොහෝ වට්ටෝරුවල සීනි, මේදය සහ කැලරි ප්රමාණය අනෙකුත් කේක් වර්ගවලට සමාන වන බවයි.
කෙසෙල් පාන් පෙත්තක අඩංගු පෝෂක
කෙසෙල් පාන් සකස් කිරීම සඳහා සාමාන්යයෙන් බටර්, සීනි, බිත්තර, ස්වයං-ඉහළ යන පිටි (Self-raising flour), ලුණු ස්වල්පයක් සහ හොඳින් ඉදුණු කෙසෙල් භාවිත කරයි.
සාමාන්ය කෙසෙල් පාන් පෙත්තක අඩංගු විය හැකි පෝෂක ප්රමාණය මෙසේය.
- කැලරි 268
- මේදය ග්රෑම් 13
- සංතෘප්ත මේදය ග්රෑම් 8
- සීනි ග්රෑම් 24
- ප්රෝටීන් ග්රෑම් 3.8
- ලුණු ග්රෑම් 0.5
- තන්තු ග්රෑම් 1
මෙහි අඩංගු සීනිවලින් කොටසක් කෙසෙල්වල ස්වභාවිකව පවතින සීනි වුවද, සකස් කිරීමේදී එකතු කරන සීනි ද සමස්ත ප්රමාණයට දායක වේ.
කෙසෙල් පාන් 1930 දශකයේ ඇමෙරිකාවේ ආරම්භ වූ බව සැලකේ. එවකට ඉතා හොඳින් ඉදුණු කෙසෙල් අපතේ නොයවා භාවිත කිරීමට එය ප්රයෝජනවත් ක්රමයක් විය. කොවිඩ්-19 වසංගත සමයේ සංචරණ සීමා පැවති කාලයේදී ද එය නිවසේදී සකස් කරන ජනප්රිය ආහාරයක් බවට පත්විය.
සෞඛ්යයට හිතකර ලෙස කෙසෙල් පාන් සකස් කළ හැකිද? බටර් සහ එකතු කරන සීනි ප්රමාණය අඩු කිරීම, සම්පූර්ණ ධාන්ය පිටි භාවිත කිරීම සහ තන්තු ප්රමාණය වැඩි කිරීම මඟින් වට්ටෝරුව වඩාත් පෝෂ්යදායී කරගත හැකිය. කෙසේ වෙතත්, එහි පෝෂණ අගය තීරණය වන්නේ භාවිත කරන අමුද්රව්ය සහ ප්රමාණ අනුවය.
අශන්ති වරුණසූරිය

Leave a comment