සිරිකත ඉදිරිපත් කරන Kitchen Tips - මෙහෙමත් කරලා බලමුද?

කාර්යබහුල ගෘහණියක් ලෙස කුස්සියේ වැඩ කරද්දි පුංචි පුංචි දේවල් ටිකක් දැනගැනීමෙන්, ඔබ කරන කාර්යය පහසු කරගැනීමට පුළුවනි. ගෘහණියන්ට අත්වැලක් ලෙස නිතිපතා සිරිකත ඉදිරිපත් කරන kitchen tips විශේෂාංගයෙ තවත් එක් දිගුවකි මේ,

1. ඔබ පලා සැකසීමේදී පලා කොළ කිහිපයක් මිශ්‍ර කරනවා නම් එයට ඇඹරැල්ලා දළු කිහිපයකුත් එකතු කරන්න. එවිට දෙහි යුෂ කලවම් කිරීමට අවශ්‍ය නොවේ. මෙයින් මැල්ලුමෙ රසය, ගුණය, වැඩිකර ගත හැකියි.

2. ඇඹුල් සහිත පලතුරු වලින් බීම සාදන විට පොල් කිරි ස්වල්පයක් එකතු කරගන්න. එසේ නැත්නම් පොල්කිරි වලින්  සාදාගන්න.

3. ගෝවා සලාදය  ඉතා  රසවත් කෑමක්. ළපටි ගෝවා ගෙඩියක් හීනියට කපා, එයට ලියාගත් ලූණු ,මිරිස් සහ උම්බලකඩ කුඩු, දෙහි බිංදු කිහිපයක්  , රස අනුව ලුණු , හීනියට ඇඹරූ අබ ස්වල්පයක් එකතුකර හොඳින් අනාගන්න. එවිට සලාදයෙහි රස තවත් වැඩි වේ. 

4. බිත්තර ඔම්ලට් සාදන විට තක්කාලි කෑලි, කරපිංචා, අමු මිරිස් ආදිය දමා සාදාගන්න. කෑමට ගැනීමට පෙර ලුණු ස්වල්පයක් දමාගන්න එයින් ඔම්ලට් වඩා රසවත් කර ගැනීමට පුළුවනි. 

5. රතුලූණු කපන විට පිහියේ අග අර්තාපල් පෙත්තක් රඳවා ගැනීමෙන් කඳුළු ගැලීම වළක්වා ගත හැකියි.

6. බීට්රූට් අල පසේ වළලා තැබීමෙන් සති දෙකක් පමණ නරක් නොවී කල් තබා ගත හැකියි.

7. බීට්රූට් මාළුව  පිරිමසා ගැනීම ප්‍රමාණවත් නොවේ නම් එයට අර්තාපල් අල දෙක තුනක් එක් කර පිසගන්න. 

8. වම්බටු තුනී පෙති කපා අව්වේ වේලා  ටින් එකක අසුරා තබා ගැනීමෙන් අවශ්‍ය විටෙක ගැඹුරු තෙලේ බැද  ගැනීමට පුළුවනි.

9. තක්කාලි දමා සුප් සාදන විට ලිපෙන් බා ගත් විගස දොඩම් පෙති දෙක තුනක් එයට කලවම් කිරීමෙන් රසය වැඩි කර ගත හැකියි. 

10. ඇලුමිනියම් භාජන  ඇතුළත කිලිටි වූ විට එයට අර්තාපල් දමා තම්බන්න. පසුව ඒ වතුරෙන්ම හොඳින් අතුල්ලා සෝදා හැරීමෙන් භාජනය පහසුවෙන් පිරිසිදු වෙයි. 

11. මිරිස් බැදීමට පෙර කබලට පොල්තෙල් බින්දු කිහිපයක් දැමීමෙන් කැස්ස ඇතිවීම වළක්වා ගත හැකියි.

12. දෙහි ගෙඩියක යුෂ වැඩිකර ගැනීමට නම් කපන්නට පෙර තද උණු වතුරට දෙහි ගෙඩිය දමා ටික වෙලාවකින් කපා ගන්න. 

13. කෝපි ඇට බදින විට බාර්ලි ඇට කිහිපයක් එක් කිරීමෙන් රසය වැඩිවෙයි. 

14. මස් වර්ග මෙලෙක් ස්වභාවයෙන් පිසගැනීමට ඔබට අවශ්‍ය නම් ගස්ලබු කැබැල්ලක් එක් කරන්න. නැතිනම් බේකින් පවුඩර් ස්වල්පයක් මිශ්‍ර කරන්න. 

15. අමු අර්තාපල් පෙත්තක් ඇතිල්ලීමෙන් පිහියේ පිළී ගඳ නැති වී යයි.

16. මාළු පෙති කපා තම්බන විට විනාකිරි ස්වල්පයක් මිශ්‍ර කිරීමෙන් මාළු පෙති කැඩී යාම වළක්වා ගත හැකියි.

17. බණ්ඩක්කා බැද පිසූ විට සෙවල ගතිය නැති වේ.

18. බණ්ඩක්කා කරවිල මෙන් පෙති කපා ගැඹුරු තෙලේ බැද, කරවිල සම්බෝලය සාදන ආකාරයටම සම්බෝල සාදාගත හැකියි.

19. පතෝල පිසීමට පෙර විනාඩි පහක් පමණ ලුණු වතුරේ දමා තැබීමෙන් වඩාත් රසවත් බවක් ලබා ගැනීමට පුළුවනි.  

20. අමු මිරිස් කපන විට පොල්තෙල් ස්වල්පයක් අත්ලේ තවරා ගැනීමෙන් දැවිල්ල ඇති නොවේ. 

21. තැලුණු තක්කාලි කැපීමට පෙර සිසිල් ජලයේ බහා තබන්න. නැත්නම් ශීතකරණය තබන්න.

 

සටහන මහේෂානි මීගහපොල.

උපදෙස් 
ප්‍රවීණ සූපවේදිනී. 
දිලුක්ෂි කුමාරසිරි.

18න් පහළ ආසියානු යොවුන් මළල ක්‍රීඩා ශූරතාවලියෙන් තරුෂි කප් ගසයි Read Previous

18න් පහළ ආසියානු යොවුන් මළල ක්‍රීඩා ශූරතාවලියෙන් තරුෂි කප් ගසයි

සුවයට ඔසු Read Next

සුවයට ඔසු

Realted Post

Leave a comment