අවුරුදු 30කට පස්සේ අම්මා එක්ක රඟපානවා Paboda Sandeepani

ඇය අපට සිටින දක්ෂ ටෙලි නාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පිනියකි.  කුඩා කාලයේ සිටම රංගනය තුළින් ප්‍රේක්ෂකයන් අතරට ආ ඇය  කලා පසුබිමකින්  යුත් පවුලකින් පැවත එන්නියකි. මෙවර සිරිකත පිළිසඳර ඒ  සුන්දර රංගන ශිල්පිනිය පබෝධා සංදීපනි සමගය.

  • මේ දවස්වල මොකද කරන්නෙ?

මැයි මුල් සතිය වෙනතුරුම ටිකක් කාර්යබහුල වුණා. දැන් පොඩි විවේකයක් අරගෙන ඉන්නවා.  තව සති දෙකකින් විතර ආපහු වැඩ පටන් ගන්නවා.

  • ශ්‍රී සිද්ධ චිත්‍රපටයේ රංගනය සඳහා අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

සරත් වීරසේකර මහත්මයා  මීට පෙර නිර්මාණයක් සඳහාද මාව තෝරාගෙන තිබුණු නමුත් ඒ සඳහා සහභාගී වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ චිත්‍රපටියටත් මට ආරාධනාවක් ලැබුණා. මම ගොඩක් කැමතියි සරත් වීරසේකර මහත්මයා සමග වැඩ කරන්න. මෙවැනි අධ්‍යක්ෂකවරයෙක් සමග වැඩ කරන්න ලැබුණු එක ගැන නම් මට ගොඩක් සතුටුයි.

  • එම චිත්‍රපටිය ගැන කතා කළහොත්

ඉතිහාසගත කතාවක්. විජයබාහු රජ්ජුරුවන්ගෙ කතා වස්තුව ඇසුරෙන් නිර්මාණය කරන ලද චිත්‍රපටයක්.

  • එහි ඔබ රංගනයෙන් දායක වූ චරිතය?

හරිම සුන්දර චරිතයක්. මේ එක  චරිතය ඇතුළෙ චරිත තුනක් තිබෙනවා. තරුණ කාලයේ සිට මහලු කාලය දක්වාම එක් එක් කාලවකවානුවල සිද්ධීන් මේ චරිතයට ඇතුළත් වෙනවා. මෙහිදී මට සහෝදර  රංගන ශිල්පීන්ගෙන් සහ  අධ්‍යක්ෂකතුමාගෙන් ලැබුණු සහයෝගය කියා නිම  කළ නොහැකියි. ඔවුන්ගේ සහයෝගයෙන් තමයි මේ චරිතය හොඳින් කරන්න පුළුවන් වුණේ.

  • වසර ගණනාවකට පසු මවත් සමග රඟපෑමට ලැබීම ගැන මොකද හිතෙන්නේ?

ඒ ගැන නම් ගොඩක් සතුටුයි. මතකෙ විදියට වසර තිහකට පෙර තමයි අම්මත් සමග එකට රංගනයක යෙදුණෙ. ගොඩක්   අය කැමතියි අම්මයි දුවයි රඟපානවා බලන්න. ඒවගේම මේ චරිතයටත් අම්මගෙන් සහයෝගය ලැබුණා. අම්මත් එක්ක ඒ ගත කරපු මොහොත හරිම සුන්දරයි ඒ වගේම හරි සුන්දර ලස්සන මතක සටහනක්.

  • නව පරපුරේ රංගන ශිල්පීන් ශිල්පිනියන් ගැන මොකද හිතෙන්නේ?

ඔවුන්  දක්ෂතාවලින් හැකියාවන්වලින් එයාලා ගොඩක් අපිට වඩා ඉදිරියේ ඉන්නේ ඒ වගේම එයාලා ගොඩක් උනන්දුයි. දැන් ඉන්න ළමයින්ට ගොඩක් අවස්ථා තිබෙනවා. මේ අයට මඟ පෙන්වීමට ගුරුහරුකම් දීමට පුද්ගලයින් සිටියහොත් ඔවුන්ගෙන් ලොකු වැඩ කොටසක් කලා ක්ෂේත්‍රයට කරගත හැකියි. ඒ වගේම ඔවුන්ගේ දක්ෂතා ඔපමට්ටම් කරගැනීමට අවස්ථා ද තිබිය යුතුයි. 

  • නව පරපුරේ රංගන ශිල්පි ශිල්පිනියන්ට මොනවද කියන්න තියන්නෙ?

අපිට එයාලට කියන්න දෙයක් නැහැ. එයාලගෙන් අපිට ඉගෙන ගන්න  බොහෝ දේවල් තියෙනවා. මොකද අපේ පරම්පරාව වෙනස් විදියකටම ආපු කණ්ඩායමක්. නව පරපුරේ  ළමයි වගේ අපි කාර්යක්ෂම නැහැ.  ඔවුන්ගේ දක්ෂතා, හැකියාව සමග  ඊළඟට එන පරම්පරාවට යම්කිසි දෙයක් මේ ක්ෂේත්‍රය තුළ ඉතුරු කරල යන්න පුළුවන් නම් එය ඉතා වැදගත් වැඩක්. අපේ කාලයේ අපිට මේ කලා ක්ෂේත්‍රයේ ගොඩක් දේවල් අහිමි වුණා. ඉතින් දැන් එන පරම්පරාවට එවැනි අපහසුතා බාධා නැහැ. දැන්  පරම්පරාව ගොඩක් වාසනාවන්තයි.

  • මේ ආපු ගමන් මග ගැන ඔබට දැනෙන්නේ කොහොමද?

කාන්තාවක හෝ වේවා පුරුෂයෙකු හෝ වේවා ජීවිතයේ ගමනක් යද්දි දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙනවා. මේ ගමන් මග ගැන මම ගොඩක් සතුටු වෙනවා. අපේ කාලයේ  සිනමා කර්මාන්තයක් නිසියාකාරව තිබුණේ නැතත් අද වන විට තවමත් මේ ක්ෂේත්‍රයේ රැඳී සිටීමට අවස්ථාව තිබීම ගැන සතුටුයි.

  • ඉදිරියේදී ඔබව දැකගත හැකි නිර්මාණ මොනවාද?

අසංක සායක්කාර මහත්මයාගේ නිර්මාණයක් වන සින්ටො ටෙලිඩ්‍රාමා එක ඉදිරියේදී විකාශනය වීමට නියමිතයි. දරුවන්  ලැබෙන්න ඉන්න අම්මලා පස්දෙනෙකුගේ කතාවක්. හරිම ලස්සනයි මේ නිර්මාණය.  ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්මයාගේ ටෙලි නාට්‍යයකටත් සම්බන්ධ වී සිටිනවා.

  • ඉදිරි බලාපොරොත්තු  මොනවද?

මූලිකම බලාපොරොත්තුව පුතාගේ අනාගතය. ඒ වගේම මගේ පැත්තෙන් නම් හොඳ නිර්මාණවලට  හොඳ චරිතවලට දායකත්වය ලබාදීම. කිසිම දෙයක් කළ නොහැකි චරිත කිරීමට නම් මම කැමති නැහැ . මගේ වයසත් සමග හොඳ නිර්මාණවලට දායකවීමට අවස්ථාව  ලැබෙනවා නම් මම කැමතියි.

සිංහබාහු චිත්‍රපටයේ චරිතයට  මම හරි ආසයි - Radin Randiv Read Previous

සිංහබාහු චිත්‍රපටයේ චරිතයට මම හරි ආසයි - Radin Randiv

හැම තැනම පෑඩ්ස් දාන්න එපා.... Read Next

හැම තැනම පෑඩ්ස් දාන්න එපා....

Realted Post

Leave a comment