පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්

පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් 

භෞතිකව හා ආධ්‍යාත්මිකව අලුත් වීමේ අපේක්ෂාව සංකේතවත් කරන, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අප මෙවර සමරන්නේ රටක් ලෙස ජයග්‍රහණ රැසක් අත් පත් කර ගනිමින් හා යහපත් හා අලුත් දේශයක් නිර්මාණය කර ගැනීමේ සිහිනය වෙනුවෙන් අනවරත වැඩ අරගලයක යෙදෙමින් සිටින අවස්ථාවකය.


අගාධයට ඇද වැටී තිබු අප රට පසුගිය මාස කිහිපය තුළ නැවත ගොඩනඟමින්, ආර්ථික, සමාජයීය සහ දේශපාලනික වශයෙන් නව තලයකට ඔසවා තැබීමට අපි සමත් වූයෙමු. එම සියලු ජයග්‍රහණයන්හි හිමිකම මෙරට ජනතාව සතු වන අතර පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී  ඔවුන් අප කෙරෙහි තැබූ විශ්වාසය අප රට මෙවන් පරිවර්තනීය ඉසව්වකට කැඳවා ගෙන යාමට හේතු වූ බව අවධාරණය කළ යුතුය.
අභියෝග හමුවේ නොසැලි රට වෙනුවෙන් අපගේ වගකීම තවත් ශක්තිමත්ව ඉටු කිරීමේ ධෛර්ය වගකිව යුතු රජයක් ලෙස අප සතු අතර, භූ දේශපාලනය තුළ මෙන්ම ජාතික වශයෙන්ද රට ඉදිරියේ ඇති සියලු ආකාරයේ අභියෝග ජය ගැනීමට අවශ්‍ය සැලසුම් රජය මේ වන විට ක්‍රියාවට නංවමින් සිටියි.


මිනිසාත්, සොබාදහමත් අතර පවත්නා වූ භෞතික හා ආධ්‍යාත්මික ගනුදෙනුවෙහි අපූර්වත්වය අලුත් අවුරුදු චාරිත්‍ර-වාරිත්‍රවලින් නිරූපිතය. ඒවා සිංහල දෙමළ ජාතීන් අතර පැවති ‌ෙඑතිහාසික බැඳීම හා සහජීවන පැවැත්ම පිළිබඳ ජීවම‌ාන සාක්ෂියකි. වත්මන් සමාජය විවිධ බෙදීම් හේතුවෙන් ඉරි තලා ගොස් ඇතත්, අලුත් අවුරුද්ද වැනි සැමරුම් සංස්කෘතීන් තුළින් යළි පෙන්වා දෙන්නේ එවන් භේද දුරලා එකමුතුකම, සමගිය හා සහජීවනය සුරැකීමට‌ය. එම සහජීවනය දිරිමත් කරමින් අනෙකා පිළිබඳ සංවේදී වන ආචාරධාර්මික පැවැත්මක් අප තුළම නිර්මාණය කර ගැනීම මෙම අලුත් අවුරුද්දේ අපට පැවරී තිබෙන භාරදුර වගකීමයි. 
එසේම, සූර්ය සංක්‍රාන්තියට අනුගාමීව සිදු කෙරෙන සියලු සිරිත්විරිත්හි පොදු අපේක්ෂාව වන්නේ ජන ජීවිත අලුත් කර ගැනීම හා පසුගාමී චින්තනයෙන් සහ ආකල්පවලින් තොර අලුත් මිනිසෙකු නිර්මාණය කර ගැනීමයි. අලුත් අවුරුද්ද සැබැවින්ම අපේ ජිවිතවලට නව ඇරඹුමක් වන්නේ අප එලෙස අලුත්වීම මගිනි.

රටට අවැසි  නව ආර්ථික, සමාජයීය සහ දේශපාලනික පරිවර්තනයක් සාක්ෂාත් කෙරෙන ජාතික වැඩපිළිවෙළ සාර්ථක කර ගනිමින් රටත්, ජනතාවත් දිනවීම පිණිස මේ එළැඹෙන අලුත් අවුරුද්දේ තවත් සවිමත්ව, සහෝදරත්වයෙන් එකම අරමුණකට පෙළගැසෙන්නට මම සියලු දෙනාට ඇරයුම් කරමි. 


ඔබ සැමට “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” කරා යන ගමනේ බලාපොරොත්තු දැල්වෙන, සෞභාග්‍යවත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2025 අප්‍රේල් 14 වන දින

දෙව්නිමෝරි සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරගන්න අද රාත්‍රී 10ට පෙර පෝළිමට එකතු වෙන්න Read Previous

දෙව්නිමෝරි සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරගන්න අද රාත්‍රී 10ට පෙර පෝළිමට එකතු වෙන්න

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ  වැඳ පුදා ගැනීමට ජනපති එක් වෙයි Read Next

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ජනපති එක් වෙයි

Realted Post

Leave a comment