වයසට ගියාම සලකන්න කෙනෙක් නැති වෙයි කියලා දරුවො හදන්න එපා

මේ කතාබහ පුංචි තිරයේ කාගෙත් ආදරය දිනූ ආකර්ෂණීය චරිතයක් එක්ක. මෑතකදී වැඩිපුර ටෙලි නිර්මාණවල  දක්නට නොලැබුණත් මේ දිනවල හුඟදෙනෙක් ඇය ගැන කතාබහ කරන්නේ මවක් විදියට ඇය ගත කරන සුන්දර ජීවිතය ගැනයි. ඇය ජනප‍්‍රිය රංගන ශිල්පිනී නෙහාරා පීරීස්. සුරතල් දියණියන් දෙදෙනකුගේ ආදරණීය මවක් ලෙස ඇය විඳින ඒ සොඳුරු හැඟීම ගැන ඊයෙට යෙදුන (1 වනදා) ලෝක ළමා දිනය වෙනුවෙන් ඔබ සමග බෙදාගන්න අපි හිතුවා.

කොහොමද බබාලත් එක්ක ගෙවෙන ජිවිතේ?

මේ ජීවිතේ නම් ඉතින් මට හරිම සුන්දරයි. කාර්යබහුලයි තමයි. දුවලා දෙන්නෙකුගේ අම්මා කෙනෙක්, බිරිඳක් විදියට මගෙන් ඉටුවෙන්න  ඕනෑ සියල්ල ඉටුකරන්න තමයි උත්සාහ කරන්නේ. 

මවක් වීමේ හැඟීම ඔබට දැනෙන්නේ කොහොමද? 

ඒ හැඟීම මට වචනවලට පෙරළන්න අමාරුයි. ඇත්තටම මවක්වීමේ භාග්‍යය ජීවිතේට එනතුරු බොහොම ඉවසිල්ලෙන් බලන් හිටිය කෙනෙක් මම. කලාවට ආවේ අහම්බෙන්. කොහොම වුණත් මම ප‍්‍රාර්ථනා කරපු ජීවිතේ මට අද ලැබිලා තියනවා. මට මවක් වීමේ හැඟීම දැනෙන්නේ මම හිස මත කිරුළක් තියාගෙන ඉන්නවා වගේ. ඒ තරම් ආඩම්බරයි මට මං ගැන. 

ඔබ හිතන විදියට සමාජයට හො`ද දරුවෙක් දායාද කරන්න  ඕනෑ මොන විදියටද?

විවාහ වුණාට පස්සේ දරුවෙක් හදන්න හොඳ ප්ලෑන් එකක් තියෙන්න  ඕනෑ. එහෙම නැතුව විවාහ වුණාම දරුවෙක්  ඕනි කියන මතය නිසාවත්, මවුපියන්ගේ බල කිරීමටවත්, සමාජයෙන් විවේචන අහන්න ලැබෙයි කියන බය නිසාවත්, වයසට ගියාම සලකන්න කෙනෙක් නැතිවෙයි කියලා හිතන නිසාවත් දරුවෝ හදලා වැඩක් නැහැ. බිරි`ද සහ සැමියට දරුවෙකුගේ අවශ්‍යතාව දැනෙන්න  ඕනෑ. දරුවෝ ලෝකයට එන්නේ මවුපියන්ගේ උවමනාවට. ඒ නිසා දරුවෙක් හදන්න බලාපොරොත්තු වෙනවා නම් අම්මටයි තාත්තටයි ඒ දරුවගේ මූලික අවශ්‍යතා ටික හරි ලබා දෙන්න හැකියාවක් තියෙන්න  ඕනෑ.  එහෙම නැති වුණොත් ඒ දරුවෝ අසරණ වෙනවා. දවසක ඔවුන් සමාජයේ යහපත් අය වෙන්න මේ දේවල් බලපානවා. 

පළවෙනි බබා කුසට ආවම නෙහාරා වෙනස් වුණේ කොහොමද?

ඒ හැඟීම නම් හරි පුදුමයි. මම හිතන පතන විදිහ හුඟක් වෙනස් වුණා. අම්මා හිතන පතන විදිහ දරුවට බලපාන නිසා මම හැම වෙලාවෙම ධනාත්මක දේවල් හිතුවා. කුස ඇතුළෙ ඉද්දිම හරි ආදරෙන් එයාලත් එක්ක කතා කළා. හැම වෙලාවෙම හොඳ යහපත් දේවල් හිතන්න පුරුදු වුණා. මම අදහන ආගමට වැඩිපුර නැඹුරු වුණා. ඒ වගේම සින්දු අහන්න පුරුදු වුණා. හුඟක් ගීතිකා ඇහුවා. දරුවා බඬේ තියාගෙන නිතරම දරුවට ආශිර්වාද කළා. 

ලොකු බබා හරිම සමාජශීලියි, කොහොමද පුංචි කාලේදිම ඒ ගතිගුණ පුරුදු කළේ? 

මම හිතන්නේ ඒකට නම් වැඩිපුරම බලපාන්නේ අම්මගෙයි තාත්තගෙයි ආකල්ප. සමහර වෙලාවට මම දකිනවා වැඩිය කාත් එක්කවත් කතාබහ නොකරන, කතා කළොත් කතා කරන, හිනා වුනොත් හිනාවෙන අය ඉන්නවා. ඒක නරක ගතිගුණයක් නෙවෙයි. ඒත් බබාලටත් සමහර වෙලාවට ඒ ගතිගුණ පුරුදු වෙනවා. ඉතින් ලොකු බබා ඇත්තටම අපේ ජීවිතවලට ආශිර්වාදයක්. එයා හරීම ආදරණීය කෙනෙක්. ගෙදරට කවුරු හරි කෙනෙක් ආවාම එයා හරි සුහදශීලී විදියට කතා කරනවා.
සාමාන්‍යයෙන් හස්බනුයි මමයි නිතරම පාවිච්චි කරන වචන දෙකක් තමයි සොරි සහ තැන්ක් යූ කියන වචන දෙක. මොනතරම් පුංචි හිත් රිදීමක් තිබුණත් නිදාගන්න ඇඳට යන්න කලින් එයා හරි මම හරි සොරි කියලා තමයි නිදාගන්නේ. ඒ පුරුද්ද ලොකු බබාට තියෙනවා. 

වැඩ වැඩි වෙලාවට තරහ යන්නේ නැද්ද?

තරහ යනවා. හැබැයි මම කේන්ති ආවට ඒක බබාලා පිටින්වත් ගෙදර අය පිටින්වත් යවන්නේ නැහැ.  මම හිතනවා දරුවෝ ලස්සනට හැදෙන්න නම් බැඳීම් වැදගත් කියලා. අම්මලා තාත්තලා වගේම හස්බන්ගෙන් ලැබෙන ආදරය එක්ක මගේ පුංචි කැදැල්ලේ කේන්තියට වඩා සතුට පිරිලා.               
බබාලත් එක්ක මොනතරම් කාර්යබහුල වුණත් නෙහාරා සතුටින්?

ඒ මගේ චරිතේ හැටි. විශේෂම දේ මම මේ හැම වැඩක්ම කරන්නේ ආසාවෙන්. මට අම්මා කෙනෙක් වෙන්න ලොකු ආසාවක් තිබුණනේ. ඒ නිසා මම මේ ජීවිතේ ඇතුළෙ මොනතරම් කාර්යබහුල වුණත් මට ඒක එපා වෙන්නේ නැහැ. මම ආසයි මට තවත් බබාලා ගොඩක් ඉන්නවට. මම මේ ජීවිතේට පුදුම විදියට ආදරෙයි. මම දෙවියන් වහන්සේට ඒ ගැන ස්තූති වෙනවා.  ඕනෑම දෙයක් ආසාවෙන් කරද්දි අපට ඒක එපා වෙන්නේ නැහැ. 

සටහන - නයනා උදයංගනී

ඡායාරූප - සුපුන් උදයංග

කොළඹ බර උසුලන යකඩ හස්ත - මුල් පුටු 16 ම ඉන්නේ කාන්තාවෝ Read Previous

කොළඹ බර උසුලන යකඩ හස්ත - මුල් පුටු 16 ම ඉන්නේ කාන්තාවෝ

කොළඹ බර උසුලන යකඩ හස්ත - මුල් පුටු 16 ම ඉන්නේ කාන්තාවෝ Read Next

කොළඹ බර උසුලන යකඩ හස්ත - මුල් පුටු 16 ම ඉන්නේ කාන්තාවෝ

Realted Post

Leave a comment