අවුරුදු සමරන්න ගමේ යනවා

 

වසර 2023 සිංහල හින්දු අලුත් අවුරුද්ද පිළිගන්නට ලහි ලහියේ සූදානම්වන මොහොතක සිරිකත, අවුරුද්ද හැඩ කරන්න මෙවර ඔබ ආදරය කරන තරු දෙකක් කැඳවාගෙන එන්න හිතුවා. ඒ තමයි රංගනයෙන් පුංචි තිරයේ ආදරය දිනාගත් යොහානි හෙට්ටිආරච්චි සහ ගායනයෙන් නිවේදනයෙන් රසික සිත් දිනූ ගීත් මධුසංඛ.

 

 

අවුරුදු සමරන්න ගමේ යනවා 

යොහානි හෙට්ටිආරච්චි 

අපේ කතාබහට මුලින්ම එකතු වුණේ යොහානී හෙට්ටිආරච්චි. ඇය විවිධ චරිත නිරූපණය කරමින් කලා ක්ෂේත්‍රයට පා තබන ළමා රංගන ශිල්පිනියක්. අද යෞවන රංගන ශිල්පිනියක් ලෙස පුංචි තිරය හැඩකරන ඇය මේ දිනවල හිරු ටී.වී. ඔස්සේ විකාශනය වන සිහින ගෙනෙන කුමාරි ටෙලි නාට්‍යයේ සකුනිගේ චරිතයෙන් මුණගැහෙනවා. 

 


කොහොමද අලුත් අවුරුද්දට ලක ලෑස්තිය?
අපේ ගම මාතර. අවුරුද්ද ලබපු  ගමන් ගමේ යන්න තමයි ආසාවෙන් ඉන්නේ. අවුරුද්දට එක එක කෑම ජාති හදන්න මම හරි ආසයි. වැඩිපුරම කන්න ආස කොකිස්. අවුරුද්දට කැවිලි ජාති ඔක්කොම වගේ අම්මා ගෙදර හදනවා. කොකිස් හදන්නේ මම.

 


මේ දවස්වල මොනවද අලුත් කලා කටයුතු?
මේ දවස්වල අලුත් නිර්මාණ භාර ගත්තේ නැහැ. මොකද මගේ උපාධියේ කටයුතු මම ආරම්භ කළා. ඒ නිසා කලා කටයුතු එක්ක හුඟක් කාර්ය බහුල වෙන්න අමාරුයි. සිහින ගෙනෙන කුමාරි ටෙලි නාට්‍යයේ රූගතකිරීම් කරගෙන යනවා. තව අලුත් ටෙලි නාට්‍යයක් ඉදිරි දිනවල රූගත කිරීම් ආරම්භවෙන්න නියමිතයි. 

 


 යොහානි කලාවට එන්නේ ළමා නිළියක් විදිහට. ඒ ගමනේ ආරම්භය ගැන කතා කළොත්.....
මම කලාවට එන්නේ අවුරුදුු 4 දි. පුංචි පැංචි වැඩසටහන හරහා. ඩිලාන් කියලා අයියා කෙනෙක් මාව වෙඩින් එකකදි දැකලා තමයි පුංචි පැංචි එකේ මහේෂ් මාමාට මාව හඳුින්නලා දෙන්නේ. එතැන ඉඳලා වෙළෙඳ දැන්වීම්වලට දායක වෙන්න මට අවස්ථාව ලැබෙනවා. දැනට වෙළෙඳ දැන්වීම් 60 කට විතර දායකවෙලා තියෙනවා. ටෙලි නාට්‍ය 14කට විතර දායක වෙලා තියෙනවා. ඒවාගේම චිත්‍රපටි 12 ක් විතර කරලා තියෙනවා.

 


ළමා නිළියට සමුදීලා පෙම්වතියගේ චරිතයට අවතීර්ණ වන කාල සීමාවක කොහොමද ලැබෙන ප්‍රතිචාර....
පෙම්වතියගේ චරිතයකට පළමු වතාවට ආරාධනා ලැබෙන්නේ සිහින ගෙනෙන කුමාරි ටෙලි නාට්‍යයේ සකුනිගේ චරිතයට. පෙම්වතියකගේ චරිතයක් ගැන පළමු අත්දැකීම නිසා මුලදී එන්න නුහුරු ගතියක් දැනුණ. පුංචි කාලේ ඉඳලා මම රඟපෑවත් ප්‍රේක්ෂකයින් මාව හඳුනාගත්තේ සිහින කුමාරි ටෙලි නාට්‍යයේ සකුනිගේ චරිතය නිසයි. සකුනිගේ චරිතයට මාව තෝරගත්තාට නිමන්ත ප්‍රසාර මාමා ඇතුළු සියලුදෙනාට මම ස්තූති කරනවා. 

 


 මේ වෙනකොට කොහොමද අධ්‍යාපන කටයුතු?
මම දැනට පෞද්ගලික විශ්ව විද්‍යාලයක තාක්ෂණවේදය පිළිබඳව පළමු වසර ශිෂ්‍යාවක්.

 


 පවුලේ විස්තර...
අම්මයි, තාත්තයි සහෝදරයෝ දෙන්නයි. මම පවුලේ බාලයා. මගේ ජීවිතේ ලොකුම ශක්තිය මගේ අම්මයි තාත්තායි.

 

 


 

 

රට ගොඩදාන්න පුළුවන් මොළ බිහිවේවා 

ගීත් මධුසංඛ

මීළඟට අපේ කතාබහට එකතු වුණේ ගායනය, රංගනය, නිරූපණය, නිවේදනය ආදී සෑම අංශයකින්ම දක්ෂතා දක්වන කඩවසම් තරුණයෙක්. ඔහු ගීත් මධුසංඛ.
සම්පූර්ණ නම -  ගීත් මධුසංඛ තල්ගහගොඩ.
පාසල - මුලින්මගියේ මහනුවර පිළවල මහා විද්‍යාලයට. ඊට පස්සේ කටුගස්තොට ශාන්ත අන්තෝනි පිරිමි විද්‍යාලයට සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයට ගියා.
පවුලේ විස්තර - පවුලේ ඉන්නේ මමයි අම්මායි නංගිලා දෙන්නයි. තාත්තා මීට අවුරුද්දකට ඉහතදි නැති වුණා. ලොකු නංගි විවාහ වෙලා ඕස්ටේ්‍රලියාවේ ජීවත් වෙන්නේ. පොඩි නංගි තාම පාසල් අධ්‍යාපනය හදාරනවා.

 


 ඉතින් මේ අවුරුදු සරුද?
මෙදා පාර අවුරුදු සරුයි කියලා හිතනවා. මොකද මම පොඩි කාලේ හීන දැක්කා බොහොමයක් දේවල් මේ වෙද්දි ජීවිතේට සමීප වෙලා තියෙනවා. 

 


 කලාවට එන්න ගීත්ට පාර කැපෙන්නේ කොහොමද?
මම පුංචි කාලේ ඉඳලාම ස්ටාර් කෙනෙක් වෙන්න හින දැක්ක කෙනෙක්. ඒ හීනයට මම හරියට ආදරේ කළා. මම කලාවට පිවිසෙන්නේ අවුරුදු 06 දී වගේ පුංචි වයසකදි. ඒ හපන් පැදුරු වැඩසටහනින්. ළමා ගායකයෙක් විදිහට කලාවට එන මට ප්‍රවීණයින්ගේ සහාය, දැනුම ලබා ගන්න මට අවස්ථාව ලැබුණා. ආපු ගමන ලේසි නැහැ. හමුවන මිනිස්සු අතර අත දීපූ වගේම වට්ටපු නැගිට්ටපු බොහෝ දෙනා හිටියා.

 


 ගායකයාට වඩා ප්‍රේක්ෂකයෝ ඔබව හඳුනා ගන්නේ නිවේදකයෙක් විදිහට...
මට නිවේකයෙක් වෙන්න කලින් ගායකයෙක් විදිහට හොඳ බේස් එකක් තිබුණා. ගායන දක්ෂතාව එක්ක මට ලැබුණු විශේෂ වරප්‍රසාදයක් තමයි නිවේදනය. එක්තරා මොහොතක සිරස නාලිකාවේ නිවේදකයෙක් ලෙස සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබෙනවා. ඒක තමයි මගේ ජීවිතේ හැරවුම. සිරසට මම ස්තූතිවන්ත වෙනවා  නිවේදකයෙක් විදියට මාව ගොඩනැගුවාට.

 


 ඒත් ඔබේ ජීවිතේ සුවිශේෂම හැරවුම වෙන්නේ ඔයැ ඩදසජැ වේදිකාව නේද?
අනිවාර්යයෙන්ම  ඔයැ ඩදසජැ තරගාවලියට සහභාගි වෙන්න ගත් තීරණය මම ජීවිතේ ගත් හොඳ තීරණයක්. 

 


 රංගන ජීවිතේ ගැන කතා කළොත්...
මුලින්ම දායක වුණු නිර්මාණය තමයි ටිකිරි රත්නායක අධ්‍යක්ෂණය කළ මුතුකුඩ ටෙලි නාට්‍යය. තුෂාර තෙන්නකෝන් මහතාගේ රාවණා, සහ හර්ෂ උඩකන්ද ගේ ‘ලොක්කි’ නිර්මාණවලට දැයක වෙලා තියෙනවා. ඉදිරියේදී අලුත් නිර්මාණයකින් මාව දැකගන්න පුළුවන් වේවි. ඒවාගේම රුක්මන් අසිත අයියාගේ අලුත්ම මියුසික් වීඩියෝ එකටත් රංගනයෙන් දායක වෙනවා.

 


 මොනවාද අලුත් අවුරුද්දේ බලාපොරොත්තු....
බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ඒවා එකින් එක ඉෂ්ට කරගෙන යන ගමනක් මේක. අලුත් අවුරුද්දේ මගේ ප්‍රාර්ථනය ආකල්පමය වශයෙන් එකා වගේ හිතලා රට ගොඩදාන්න පුළුවන් විදිහේ මොළ බහුතරයක් රට තුළ ගොඩ නැගේවා කියන ප්‍රාර්ථනය යි.

නදීශා අතුකෝරල
ඡායාරූප සජීව ලක්ෂාන්

 

CHUTNEY Read Previous

CHUTNEY

ලග්න පලාඵල Read Next

ලග්න පලාඵල

Realted Post

Leave a comment