ඇඩ් එකක් නිසා වෙච්ච දෙයක්

ඇය වර්තමාන සිංහල සිනමාවේ ආකර්ෂණීයම රංගන ශිල්පිනිය කිවහොත් වඩාත් නිවැරැදිය. පුංචි තිරයේ සහ රිදී තිරයේ ජනප‍්‍රිය කිරුළ පස්වතාවක් හිස මත දැරූ ඇය ඇයටම අනන්‍ය වූ රංගන ප‍්‍රතිභාවක් ගොඩ නගා අවසන්ය. ඇය උදාරි වර්ණකුලසූරියයි.

මේ දිනවල රිදී තීරයේ දිගහැරෙන සිනමාපට ත‍්‍රිත්වයකින්ම රංගන කුසලතාා විදහා දක්වන ඇය වර්තමාන පරපුරේ සිනමා නිළිය ලෙසද හැඳින්විය හැකිය. උදාරිගේ අලූත්ම තොරතුරු සමඟිනුයි මේ කතාබහ.

 

බඹරේ වැල්ලෙත් කැරකෙන කාලයක් නේද?

ඇත්තටම මේක මට වාසනාවන්ත කාලයක්. මම මේ අත්විඳින්නේ පෙර පිනක්, භාග්‍යයක් සහ මගේ මහන්සියේ කැපවීමේ ප‍්‍රතිඵල කියලා බය නැතුව කියන්න පුළුවන්. චිත‍්‍රපට අටක් සම්පූර්ණයෙන් අවසන් කරලා තියෙනවා. ඒ අතුරින් චිත‍්‍රපට 3 ක් මේ දිනවල තිරගත වෙමින් තියෙනවා. සිවදාසන් මහතාගේ ‘දෙවන යුද්ධය’ චිත‍්‍රපටය සහ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ ‘ක්ෂීර සාගරය කැලඹිණි’ චිත‍්‍රපටය වගේම ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ ‘මිදුණු විශ්වය’ මේ දිනවල තිරගත වෙනවා. මේ වසරේදීම සංජීව පුෂ්පකුමාර මහතාගේ ‘ආසු’ චිත‍්‍රපටය තිරගත වෙන්න නියමිතයි.

ශ්‍රී සද්ධා, එකගෙයි සොකරි, දේවි සම්බුලා වගේ තව චිත‍්‍රපට 5 ක් ඉදිරියට එන්න තියෙනවා. ඒවාගේම චිත‍්‍රපටි හතකම ප‍්‍රධාන චරිතය නිරූපණය කිරීමට ලැබීමත් ලොකු වාසනාවක් විදියට මම දකිනවා. මේ හැම නිර්මාණයක්ම මට හරිම විශේෂයි.

 

බොහෝදෙනා කතා වෙන්නේ මිදුණු විශ්වයේ රාජිනී ගැන. රාජිනීව උදාරිට දැනුණෙ කොහොමද?

මිදුණු විශ්වයේ චිත‍්‍රපටියේ මදිරාක්ෂිගේ චරිතය රංගන ජීවිතේ මට ලැබුණු සුවිශේෂී චරිතයක්. ඉස්සර බොඳ මීදුම් ටෙලි නාට්‍යයේ ‘සංසලා’ කියලා හඳුන්වපු පේ‍්‍රක්ෂකයෝ අද මට කතා කරන්නේ ‘රාජිනී’ කියලා. මුලින්ම ස්තූතිය පුද කරන්න  ඕනෑ ජයන්ත චන්ද්‍රසිරි මහතාට. මොකද මාව විශ්වාස කරලා රාජිනී මදිරාක්ෂි වැනි දැවැන්ත චරිතයක් මට භාරදීම ගැන. රාජිනීගේ චරිතය ස්ක‍්‍රිප්ට් එක කටපාඩම් කරලා දෙබස් මතක තියාගෙන රඟපාන්න පුළුවන් චරිතයක් නෙමෙයි. මම ඒ වෙනුවෙන් හුඟක් පුහුණුවීම් කළා. 60 දශකයේ දෙස් විදෙස් නළු නිළියන් ගැන අධ්‍යයනය කළා. 60 දශකයේ කාන්තාවන්, බිරින්දෑවරුන්ගේ හැසිරීම කොහොමද? අඹුසැමි බැඳීම, මේ සියල්ල අධ්‍යයනය කළා.

රාජිනී කියන්නේ සමස්ත සමාජයම නියෝජනය කරන ගැහැනියක්. ඇය කිසිම වෙලාවක පවුල් ප‍්‍රශ්න එළියට ගේන්නේ නැහැ. නිළියක්, බිරිඳක් විදියට පීඩනයක් හංගාගෙන සමාජයේ ඉදිරියේ සැමියාගේ ගරුත්වය රකිනවා. වර්තමාන සමාජයේ ගැහැනියට රාජිනී ගෙන දෙන්නේ හොඳ ආදර්ශයක්. රාජිනී ඇත්තටම ආදර්ශමත් ගැහැනියක්.

ඒවාගේම මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ක්ෂීර සාගරය කැලඹිණි චිත‍්‍රපටයේ පුරම්භිකාගේ චරිතය වෙනුවෙන් මාව දායක කර ගැනීම ගැනත් සුනිල් සර්ට වගේම ජැක්සන් ඇන්තනී මහතාටත් ස්තූතිවන්ත වෙනවා. පෞද්ගලිකවම අනෙක් තැන්වලට වඩා මම මාව ලස්සනට දැක්කේ ක්ෂිර සාගරය කැලඹිණි චිත‍්‍රපටයේ පුරම්භිකාගේ චරිතයෙන්.

 

කොහොමද සිංගප්පූරු ජීවිතේ....

දැන් අවුරුදු 15 ක ඉඳලා පදිංචිය සිංගප්පූරුවේ. ලෝකේ කොහේ හිටියත් ලංකාවේ තරම් සැනසීමක්් ලැබෙන්නේ නැහැ. ඒත් දුව නිසා අපි දැන් එහෙට හුරු වෙලා. මොකද දුව ලංකාවට නවතින්න එන්න කැමැත්තක් නැහැ. රූපගතකිරීම් තියෙන කොට විතරක් මම ඒ වෙනුවෙන් ලංකාවට එනවා. කොරෝනා කාලේ නම් රූගතකිරීම්වලට ලංකංවට ආපු වෙලාවෙ මාව ලංකාවේ කොටු වුණා. අවුරුදු එකහමාරක් විතර දුවව ඇහැටවත් දකින්නේ නැතිව ඉන්න වුණා. ඒ නිසාම මම පසුගිය අවුරුද්දේ කිසිම රූගතකිරීමක් භාර ගන්නේ නැතිව දුව ළඟින්ම හිටියා. මේ අවුරුද්දේ මුල තමයි මම නැවත රූගතකිරීම් පටන් ගත්තේ.

 

දැන් දුවට වයස කීයද...

දැන් දුවට අවුරුදු 11ක්. ඇය අධ්‍යාපනය ලබන්නේ සිංගප්පූරුවේ. දුව ගොඩක්ම තාත්තාගේ පැත්තට යන්න තමයි කැමැති. විද්‍යාව පැත්තෙන් ඉදිරියට යන්න ආසයි කියලා තමයි එයා නිතරම කියන්නේ. ඒවාගේම දුව ගොඩක්ම දක්ෂ චිත‍්‍ර අඳින්න. සියලූම විෂයයන්වලට දුව දක්ෂයි. මවුපියන් හැටියට එයා යන පැත්තට අපි සහයෝගය දෙනවා. මවක් විදියට දුව කුසට ආ දා ඉඳන් මට දැනෙන්නේ ලොකු වගකීම් ගොඩක්. ඇය සමාජයට වැඩදායී දරුවෙක් කරන්නයි මගේ එකම බලාපොරොත්තුව.

 

කලාව නිසා පෞද්ගලික ජීවිතේ මඟ හැරුණු තැන් උදාරිගේ ජීවිතෙත් ඕනෑ තරම් ඇති. ඒ අභියෝගයට සැමියාගෙන් ලැබුණු සහාය කොහොමද?

මවක්, බිරිඳක් විදියට වගකීම් කියන දේවල් මගේ අතින් මඟ හැරුණු අවස්ථා තියෙනවා. පසුගිය අවුරුදු 2ක්ම කලා කටයුතු නිසා මට සැමියාගෙනුත් දුවගෙනුත් ඈත් වෙලා ඉන්න වුණේ ලංකාවේ. දුව අම්මාව හොයන පුංචි කාලේට එයා ළඟ ඉන්න අවස්ථාව ලැබුණේ නැහැ. සමහර දවස්වලට මම ගෙදරින් යද්දි දුව නිදි. මම රෑට එනකොටත් දුව නිදි. දුව මාව ඇහැටවත් නොදැකපු දවස් තිබුණා. මම ලංකාවේ ගෙවපු කාලේ දුවට අම්මායි තාත්තායි දෙන්නාම වුණේ සැමියා. දුවගේ සියලූ වගකීම් සැමියා නොපිරිහෙලා ඉටු කළා. කිසිම වෙලාවක කලාව නතර කරලා සිංගප්පූරුවට එන්න කියලා සැමියා කියලා නැහැ. විශේෂයෙන් සැමියාගේ තේරුම් ගැනීම මට මේ ගමන එන්න විශාල ශක්තියක් වුණා. කිසිම ජයග‍්‍රහණයක් කැපවීමකින් තොරව ලබා ගන්න බැහැ කියන එක මම මගේ ජීවිතේ අත්දැකීමෙන් දන්නවා.

 

උදාරි අත දරුවා කාලේ තාත්තා මවපු හීනය ගැන වගේම ඒ සැබෑ වුණු හීනය ගැන ඔබ අද සතුටින්ද?

ඇත්තටම මම නිළියක්වීම අහඹු සිදුවීමක් නෙමෙයි. මම පුංචි කාලේ ඉඳලාම හීන මැව්වේ හෙදියක් වෙන්න. ඒත් තාත්තාගේ එකම හීනය වුණේ මාව නිළියක් කරන එක. තාත්තා දුවෙකුට හරිම ආසාවෙන් තමයි ඉඳලා තියෙන්නේ. මාව ඉපදිලා අතට දීපු ගමන් තාත්තා කිව්වලූ කවදහරි මගේ දුව මම රූප රාජිණියක් කරනවා කියලා. ඇත්තටම මාව නිළියක් කළේ මගේ තාත්තා. අද සැනසීමෙන් තාත්තා මගේ රඟපෑම විඳිනවා. මම කලාවට එනවාට අම්මා පොඞ්ඩක්වත් කැමැති වුණේ නැහැ. මගේ අම්මා ගුරුවරියක්. ගෑනු දරුවෙක් විදිහට මේ දේවල්වලට ගියාම පිටත සමාජයේ බලපෑම් එයිද, පරෙස්්සම් කරගන්න අමාරු වෙයිද කියන බය මගේ අම්මාටත් තිබුණා. ඒත් ඊට පස්සේ මගේ කලා ගමනට මාව වැඩිපුරම උනන්දු කළේ තාත්තාට වඩා අම්මා.

අද මම මේ ඉන්න තැන ගැන ගොඩක් සතුටු වෙනවා. මගේ ජීවිතේ ලූණු ඇඹුල් දෙකම තියෙනවා. දුක සැප සතුට හැමදේම ලැබිලා තියෙනවා. හැබැයි ජීවිතේ කොතැනක හරි වෙනස් කරන්න කැමතිද කියලා ඇහැව්වොත් මම ජීවිතේ කිසිම තැනක් වෙනස් කරන්න කැමැති නැහැ.

 

රුව රැකගැනීමේ රහස මොකක්ද?

උපතින්ම ලැබුණු දේ තමයි මට ලස්සනයි කියලා මම හිතන්නේ. කිව්වාට විශ්වාස කරයිද දන්නේ නැහැ. ජීවිතේ කවදාවත් මම ෆේෂල් එකක්වත්, වැක්ස් එකක්වත් කරලා නැහැ. ඒත් පසුගිය දිනවල මගේ ෆෝටෝ එකක් වයිරල් ගියා ෆේෂල් එකක් කරන ඡායාරූපයක්. ඒ රූපලාවන්‍ය නිෂ්පාදනයක් සඳහා මම සහභාගී වුණු වෙළඳ දැන්වීමක රඟපෑමක් විතරමයි.

 

ඒ කියන්නේ ඔබ රූපයට කිසිම සත්කාරයක් කරලා නැහැ.

අවුරුදු 19- 20 මුණේ කුරුලෑ ආවා. නමුත් ඊට පස්සේ කුරුලෑ ඉබේටම නැතිවෙලා ගියා. ෆේෂල් ක්ලීනප් කරන්න තරම් මගේ සම දුර්වල වෙලා නෑනේ. සමාන්‍ය එදිනෙදා පිරිසුදු කිරීමක් විතරයි මම කරන්නේ. මම මේක්අප් කරන්න හරිම අකමැතියි. හුඟක් වෙලාවට මම කැමැති තනියම හුදෙකලා වෙලා ඉන්න.

 

ඒක ඔබේ ජනප‍්‍රියත්වයට පාඩුවක් නොවෙයිද?

එහෙම පාඩුවෙනවා නම් මේ වෙනකොට මට වැඩ නැතිවෙන්න ඕනැ නේ. අද වෙනකම් ප්‍රේක්ෂක ආදරයෙන් සහ වැඩවලින් මට අඩුවක් නැහැ. ඇත්තම කියනවා නම් මම උපන්දින සාදවලට, මංගල සාදවලට, වෙනත් සාදවලට යන්නේම නැහැ. වෘත්තීය ජීවිතෙන් මම රඟපානවා. එතැනින් එහාට මට ක්ෂේත‍්‍රයේ යාළුවෝ නැහැ.

 

ඔබ ක්ෂේත‍්‍රයට එන්නෙම විවාහ වෙලා. ඒ බැඳීම කලා ගමනට කොතැනකදිවත් බාධාවක් වුණේ නැද්ද?

මට සැමියා මුණ ගැසෙන්නේ මට අවුරුදු 19 දී. උදයකාන්ත මහතාගේ පායා එන්න හිරු සේ චිත‍්‍රපටිය කරනකොට මම විවාහ වෙලා හිටියේ. මම විවාහකයි කියන එක පේ‍්‍රක්ෂකයින්ට කොතැනකදිවත් ගැටලූවක් වුණේ නැහැ. ජනප‍්‍රිය නිළිය සම්මානය එක දිගට වසර 5 ක් ටෙලි, සිනමා ක්ෂේත‍්‍ර දෙකෙන්ම ලැබුණා. ඇත්තටම විවාහය මගේ රංගනයට කොතැනකදිවත් බාධාවක් වෙලා නැහැ. ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. ඔහුගේ වැඩත් කරගෙන, මාවත් රූගතකිරීම්වලට නිදහස් කරලා දුවගේ සියලූ වගකීම ඉටු කරන හොඳ සැමියෙක්.

අපි විවාහ වෙලා අවුරුදු හතරකට පස්සෙයි දුව මගේ කුසට එන්නේ. 2011 දි පළමු ජනප‍්‍රිය නිළිය සම්මානය මට ලැබෙද්දි මගේ කුසට මාස 3 යි. මේ හැමදේම ලැබුණෙ දුවගේ වාසනාවට කියලයි මට හිතෙන්නේ.

නදීශා අතුකෝරාල

ඡායාරූප: සජීව ලක්ෂාන්

සිරිකත පැහැරසණි දුන් දේ බොහොමයි Read Previous

සිරිකත පැහැරසණි දුන් දේ බොහොමයි

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ Read Next

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ

Realted Post

Leave a comment